ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුමට අනුගාමිකයන් හෙවත් followers මිලියන 41.7 ක් සිටින අතර, ඔහු තම දේශපාලන මතයේ පටන් විරුද්ධවාදීන්ට අසික්කිත අයුරින් ...
ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුමට අනුගාමිකයන් හෙවත් followers මිලියන 41.7 ක් සිටින අතර, ඔහු තම දේශපාලන මතයේ පටන් විරුද්ධවාදීන්ට අසික්කිත අයුරින් බැණ වැදීමට පාවිච්චි කරන්නේ ද @realDonaldTrump නමැති මෙම ට්විටර් ගිණුමයි.
ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම භාවිතා කරන නොදැමුණු ස්වරූපය නිසා මුලින් විශ්වාස කෙරුණේ එක්කෝ මෙය ට්විටර් විසින්ම තහනම් කරන්නට ඇති බවයි. ඔහුගේ ට්විටර් ගිණුම හැක් කර ඇති බවට ද කට කතා පැතිරිණි.
මෙම ට්විටර් ගිණුම හිටිහැටියේම සයිබර් අවකාශයෙන් අතුරුදන් වීම සිදුවුණේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ 11ට පමණ ය. කිසිදු සටහනකින් හෝ දැනුම් දීමකින් තොරව සිදුවූ මෙම අබිරහස් සිදුවීම අන්තර්ජාලයේ මහත් කැළඹීමක් ඇති කළේය.
කෙසේ නමුත් විනාඩි 11 ක් ඇතුළත ගිණුම නැවත යථා තත්වයට පත් කෙරුණු අතර ට්විටර් සේවා සපයන්නන් විසින් වහාම ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ මෙය අතිශයින්ම ‘හියුමන් එරර්’ එකක් හෙවත් ‘මිනිස් අත්වැරදීමකින්’ සිදුවූවක් බවයි. නමුත් දෙවැනි ට්විටර් පණිවුඩයක් මගින් ඔවුන් කියා තිබුණේ එම ගිණුම අක්‍රිය කිරීම පාරිභෝගික සේවා අංශයේ සේවකයෙකු විසින් සිය සේවයේ අවසන් දිනයේදී මෙසේ කර ඇති බවයි. මේ සම්බන්ධව විමර්ශනයක් පවත්වන බවට ද ඔවුන් සහතික වී තිබේ.
ට්විටර් ගිණුම යථා තත්වයට පත් වීමෙන් අනතුරුව ඒ පිළිබඳ ට්වීට් කරන්නටත් ඩොනල්ඩ් ට්‍රම්ප් අමතක කළේ නැත. ඔහු එහිදී කියා තිබුණේ, “මගෙ ට්විටර් එක තක්කඩි සේවකයෙක් විසින් විනාඩි 11කට අක්‍රිය කරලා..” යනුවෙනි.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ට්විටර් ගිණුම භාවිතා කළ ආකාරය, විශේෂයෙන්ම මාධ්‍යයට තර්ජනය කිරීම සහ මාධ්‍යයට අපහාස කිරීම සඳහා එය යොදාගත් ආකාරය පිළිබඳ දැනටමත් තිබෙන්නේ අපකීර්තිමත් ඉතිහාසයකි. 2017 ජුලි 2වැනිදා ඔහු ට්වීට් කර තිබුණේ CNN ලාංඡනය සහිත අයෙකුට මල්ලවරපොර පිටිය අසලදී බිම දමාගෙන පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමගිනි.
එසේම නිව්යෝක් ටයිම්ස් පුවත්පත බොරු නිව්ස් පළ කරන පුවත්පතක් බව ද ඔහු කියා තිබුණේ ටිවිටර් පණිවුඩයක් මගිනි. වොෂින්ටන් පෝස්ට්,NBC, ABC ආදී ඇමරිකාවේ සියලුම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට ද ඔහු මෙම චෝදනාව එල්ල කළේ ඔහුගේ අපරිණත දේශපාලන හැසිරීම් එම මාධ්‍යවලින් විවේචනයට ලක් කළ හෙයිනි.
එයට අමතරව හොලිවුඩ් නළු නිළියන්, ගායක ගායිකාවන්, දෙස් විදෙස් දේශපාලකයන් ඇතුළු බොහෝ දෙනෙකුට අපහාසාත්මක සහ උපහාසාත්මක ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම මෙහෙයවමින් සිටියි.
සිය ට්විටර් ගිණුම ඔස්සේ ට්‍රම්ප් ලෝකයට විහිළු සපයමින් සිටින බව අන්තර්ජාතික දේශපාලන විචාරකයන්ගේ මතයයි. ට්‍රම්ප් නිසා Twitter, අන්තර්ජාලයේ හොඳම දේශපාලන කොමඩි සයිට් එක (World's best political comedy site) බවට පත්වී ඇති බව ද ඔවුන් අතරින් ඇතැම්හු පවසති.
- අමාලි ජයවීර
COMMENTS