ලබන මස 1 වැනි දින සිට ලොතරැයි පත් වර්ග දෙකක් අලෙවියෙන් වැළැකී සිටීමට ගත් තීරණයෙහි වෙනසක් නැතත් නව මුදල් ඇමැති මංගල සමරවීර මහතා සිය ගැටලුවල...
ලබන මස 1 වැනි දින සිට ලොතරැයි පත් වර්ග දෙකක් අලෙවියෙන් වැළැකී සිටීමට ගත් තීරණයෙහි වෙනසක් නැතත් නව මුදල් ඇමැති මංගල සමරවීර මහතා සිය ගැටලුවලට විසඳුම් ලබා දෙනු ඇතැයි විශ්වාසයෙන් පසු වෙන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පවසයි.
දිනකට දිනුම් අදින ලොතරැයිපත් වර්ග සංඛ්‍යාව පහකට සීමා කරන ලෙස සහ සියලුම වර්ගවල එක් ටිකට් පතකින් ලැබෙන කොමිස් මුදල සත 50කින් ඉහළ දැමීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් ලොතරැයි අලෙවි නියෝජිතයන් විසින් ටිකට් පත් අලෙවි කිරීමෙන් වැළැකීමේ විරෝධතාවක් දියත් කිරීමට සැලැසුම් කර තිබේ. ඒ අනුව ලබන මස 1 වැනි දින සිට සම්පත් රේඛා සහ ගැලැක්සි යන ලොතරැයි වර්ග දෙක අලෙවි කිරීමෙන් වළකින බව ක්‍රිෂාන්ත මාරඹගේ මහතා සඳහන් කරයි.
මේ වන විට ලොතරැයිපත් වර්ග 18ක් තිබෙන අතර ඉදිරියේදී හඳුන්වාදීමට යන නව ලොතරැයිපත් වර්ග දෙකත් සමඟ තමන්ට ලොතරැයිපත් වර්ග 20ක් අලෙවි කිරීමට සිදුවනු ඇතැයි සංගමයේ සභාපතිවරයා කියා සිටී. ලොතරැයිපත් වර්ග සංඛ්‍යාව වැඩිවීම නිසා පාරිභෝගික ජනතාව මෙන්ම අලෙවි නියෝජිත මහත්වරුද අපහසුතාවට පත්වෙන බව මාරඹගේ මහතා පවසයි.
තම සංගමය මේ ඉල්ලීම් ඉදිරිපත් කරමින් විරෝධතාවක් ක්‍රියාත්මක කරන්නේ පවතින ආණ්ඩුවට එරෙහිවීමට නොව ලොතරැයි කර්මාන්තය රැකගැනීමට බව ක්‍රිෂාන්ත මාරඹගේ මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS