Hot!

දෙකොන ඇවිළෙන උතුරු කොරියානු විලක්කුවේ හරිමැද නටන රයිගමයයි- ගම්පලයයි

දෙකොන ඇවිළෙන උතුරු කොරියානු විලක්කුවේ හරිමැද නටන රයිගමයයි- ගම්පලයයි

න්‍යෂ්ටික අර්බුදය පමණක් සැලකුවද ලෝකය දැන් පසුකරමින් සිටින්නේ බරපතළ සංක්‍රාන්ති අවධියකි. එක් පසෙකින් බල උන්මාදයෙන් වියරු වැටුණු සහ රටවැසියන්ගේ හිස්ටීරියා අත්පොළසන් නාදයක් පාසා ත්‍රිල් එකෙන් සිනා පාන උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ය. අනෙක් පසින් ගොල්ෆ් නිවාඩුවට ගොස් සිටින, ප්‍රතිවාදී කාට හෝ කුඩු වෙන්නට පහර දෙන්නට දත මැදගෙන බලා සිටින ඇමරිකාවේ ට්‍රම්ප් ය. ට්‍රම්ප් සහ කිම් ජොන් මේ නරුමවාදී යුධ මානසිකත්වයේදී ‘තකට තක’ ය. ‘රයිගමයා සහ ගම්පලයා’ ය. ලෝකයට ඉදිරි දිනවලදී කැමැත්තෙන් වුණත්, අකමැත්තෙන් වුණත් සිද්ධ වී තිබෙන්නේ මේ නාටකයේ නරඹන්නන් බවට වෙන්නට ය.

උතුරු කොරියාව ගැන සෝබන ට්‍රම්ප්ගේ අලුත්ම වහසි බස්වලින් සමහරක් මෙසේ ය.

“උතුරු කොරියාව කාට ගැහුවත් ඇමරිකාව ඒ ගැන බලාගන්නවා..”

“සමහරවිට මගෙ ‘Fire and Fury’ තර්ජනය සැර මදි ඇති..!

එවිට මාධ්‍යවේදීහු මෙසේ අසති.
“මිස්ට ප්‍රසිඩන්ට්, තර්ජනය සැර මදි ඇති කියන එකේ තේරුම මොකක්ද?”

ට්‍රම්ප් සුපුරුදු උදාරම් ලීලාවෙන් එවිට මෙසේ කියයි.
“බලන් ඉන්ටකෝ.. බලන් ඉන්ටකෝ..”!!

දෙවියන් වහන්සේ OK ලු!

මේ අතර ට්‍රම්ප්ගේ ඉවැන්ජලික ජනාධිපති උපදේශකයා වන රොබට් ජෙෆ්රිස් පැවසුවේ “උතුරු කොරියාවට බෝම්බ දානවාට දෙවියන් වහන්සේ ඕකේ’‘ (God's OK with U.S. bombing North Korea
) කියා ය!! ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් කියා තිබෙන්නේ “මොනවා වුණත් ඇමරිකානුවන් රෑට සුවසේ නිදාගත යුතුයි” කියා ය.

මේ ප්‍රකාශ දෙකට මැදිව ඇමරිකාව උතුරු කොරියාව සම්බන්ධයෙන් අතීතයේ කළ කී දෑ ගැන සොයාබලමු.

1950-53 කොරියානු යුද්ධයේදී ඇමරිකාව, දෙවන ලෝක යුද්ධයේදී සම්පූර්ණ පැසිෆික් කලාපයටම හෙලූ බෝම්බවලටත් වඩා වැඩි බෝම්බ ප්‍රමාණයක් උතුරු කොරියාවට දැමුවේය. කාපට් බෝම්බිං ලෙස එය යුධ විරෝධීන් හැඳින්වූයේ ඒවා කළාලයක් එලුවාක් මෙන් අතොරක් නැතිව එක පෙළට දැමූ නිසා ය. 1953 වසf්ර්දී ඇමරිකාවේ පහරදීම් නිසා උතුරු කොරියාවේ ගම් පිටින් සංහාරය විය. ගම් පිටින් සමතලා විය. නාපාම් හෙවත් ඒජන්ට් ඔරෙන්ජ් පවා මෙහිදී යොදාගත් බවට සාධක තිබේ. මෙකී බෝම්බ දැමූ ප්‍රධානතම ඉලක්ක වූයේ සිවිල් වැසියන් ය. උතුරු කොරියාව වැසුණු රටක් වීම සහ ඔවුන්ගේ පාලකයන්ගේ උමතුව ඇමරිකාවේ උමතුවට වඩා ඉදිරියෙන් සිටි හෙයින් අදටත් ලෝකය ඇමරිකාව වියට්නාමයේදී කළ යුධ අපරාධ ගැන විනා උතුරු කොරියාවේදී කළ යුධ අපරාධ ගැන වැඩිදුර කතා කරන්නේ නැත. ඒ ගැන අවබෝධයක් ද නැත. නමුත් උතුරු කොරියානු දේශපාලනය තුළ ඇමරිකානු විරෝධී න්‍යායපත්‍රය සදා ස්ථාපිත වීමට මෙම කොරියානු යුද්ධයේදී ඇමරිකාව කළ කැත කම් සදාකාලික බලපෑමක් ඇති කළේය. විශේෂයෙන් ම උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන ඔවුන් සාධාරණීකරණය කර ගන්නේ “පණස් ගණන්වල ඇමරිකාව බෝමබ ගැසූ අන්දම අමතක කළ නොහැක” යැයි කියමිනි. ලක්ෂ 30 ක් හෙවත් මිලියන 3 ක උතුරු කොරියානුවන්ට එදා ඇමරිකානු ප්‍රහාර නිසා දිවි අහිමි විය.

ඇමරිකාව මේ සියල්ලම කළේ දකුණු කොරියාව වෙනුවෙනි. දකුණු කොරියාව නමැති තමන්ගේ හොඳම වෙළඳපොළ ගැනුම්කරුවා රැක ගැනීම වෙනුවෙනි. අදටද මේ දෙරට තාක්ෂණික වශයෙන් සිටින්නේ යුද්ධයක ය. අදටත් දේශසීමාව දෙපස, එකිනෙකාට රවාගත් දෙරට සොල්දාදුවන් ය. මීට අමතරව ඇමරිකාව දකුණු කොරියාව තුළ අදටත් 28500 ක ඇමරිකානු සොල්දාදුවන්, නාවියන් සහ මැරීන් භටයන් පිරිසක් රැඳී සිටිති. උතුරු කොරියාවේ යෝජිත ප්‍රහාරයත් සමග ඔවුන් සියලුම දෙනා විනාඩි කිහිපයක් ඇතුළත උතුරු කොරියාවට කඩා වදිනු ඇත. සෙස්ස පස්සට ය.

‘සර්ප්‍රයිස් කිරීම’ සහ ‘සර්ප්‍රයිස් වීම’

අවසානයේ උතුරු කොරියාව ගත්තේ ජපානය ගත් මග නොවේ. එය සැබවින්ම න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනයට අත පෙව්වේය. ඒ අනුව උතුරු කොරියාව එදා මෙදාතුර ඉතිහාසය තුළ ‘වෙපන්ස් ඔෆ් ඩිස්ට්‍රක්ෂන්’ හෙවත් ‘මහා පරිමාණ නාශක අවි’ යොදාගෙන ලෝකය ‘සර්ප්‍රයිස්’ කර තිබෙන්නේ වරක් දෙවරක් නොවේ. නමුත් ඒ සියල්ලම මේ තාක් කාලයකට අනතුරු ඇඟවීම් පමණක් විය. “අත තියන්නෙ පරිස්සමෙන්” නමැති පණිවුඩය විදහා දැක්වීම් පමණක් විය. මේ නිසාම ඇතැම් බටහිර මාධ්‍යයක් උතුරු කොරියානු මිසයිලවලට කියන්නේ ‘සර්ප්‍රයිස් මිසයිල’ කියා ය. කොහොම වුණත් රයිගමයා හදන්නේ ගම්පලයාව ‘සර්ප්‍රයිස්’ කරන්නට ය. ගම්පලයා හදන්නේ රයිගමයා ව සර්ප්‍රයිස් කරන්නට ය.

ගැටලුව වන්නේ මෙය, මේ දෙදෙනාගේ ‘ස්වයං සර්ප්‍රයිස් වීම’කට පමණක් සීමා නොවන්නට හැම ඉඩකඩක්ම පැවතීමයි. දකුණු කොරියාව ඇමරිකාවේ හයියෙන් උතුරු කොරියාවට දත නියවන්නට පටන් ගනු ඇත. පරණ සැහැසි කම් යළි කරළියට එනු ඇත. යම් හෙයකින් මෙය මෙසේ සිදුවුවහොත් එය ආසියාවේ අප දකින බිහිසුණුම රෑ සිහිනය සැබෑවීමක් වනු ඇත. ඉතාම සරල උදාහරණයක් දක්වන්නේ නම් ලංකාවෙන් දකුණු කොරියාවට රැකියා සඳහා ගොස් සිටින කොල්ලන්ට-කෙල්ලන්ට යන එන මං නැතිවනු ඇත. ඇමරිකාව සුවසේ නිදාගැනීම කෙසේ වෙතත් ලෝකයට සුව නින්ද අහිමි වනු ඇත. සකල ආසියාවම දෙකොණ ඇවිළෙන විලක්කුවක් වනු ඇත.

-ක්‍රිෂාන්ති රාජපක්ෂ

0 comments:

Post a Comment