2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත 2017 පෙබරවාරි 3 වැනිදා ක්‍රියාත්මකභාවයට පත්කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව ඉදිරියේ...
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත 2017 පෙබරවාරි 3 වැනිදා ක්‍රියාත්මකභාවයට පත්කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව ඉදිරියේ පළමු අභියාචනය විභාගයට ගැනීම 2017 අප්‍රේල් අගභාගයේදී සිදුවිය. මෙහිදී පානදුර, හිරණ පදිංචිකරුවෙක් පානදුර නගර සභාව විසින් ලබාදුන් බලපත්‍රයක් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටියේය. මෙහිදී අදාළ පහත් බිම ගොඩකිරීම සඳහා එම බලපත්‍රය ලබා දී තිබුණ ද අවට ඉඩම්වලට වැසි ජලය පිටාර ගැලීම සිදුවී තිබිණි. නගර සභාව, කොමිෂන් සභාවේ නියෝගය මත ඉල්ලා සිටි තොරතුර නිකුත් කළේය.
එතැන් පටන් ප්‍රධාන අභියාචන පණස් හතරක් (දින ගණනාවක් විභාග කළ ඇතැම් අභියාචන ද මේ අතර වේ) විභාග කර අවසන් කිරීම හෝ අවසන් තීරණය ලබාදීම සඳහා නියමිතව ඇත. මේ හැරුණු විට වෙනත් නියෝග/මගපෙන්වීම් සැලකිය යුතු සංඛ්‍යාවක් නිකුත් කිරීම ද කොමිෂන් සභාව විසින් සිදුකෙරිණි. කොමිසම ඉදිරියේ දැනට විභාග වෙමින් පවතින අභියාචනා, අතර, මහජනයා වෙත නිකුත් නොකළ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා සහ දේශපාලනඥයන්ගේ වත්කම් ප්‍රකාශ පිළිබඳ තොරතුරු ඉල්ලීම් ඇතුළත් වේ. අභියාචන පිළිබඳ වැඩිදුර විස්තර කොමිෂන් සභා වෙබ් අඩවියෙහි අන්තර්ගත ය. (http://ift.tt/2w7bTK9) පොදු අධිකාරීන් විසින් මෙන්ම පුරවැසියන් විසින් ද කොමිෂන් සභාව වෙත එවනු ලැබූ ලිපි/ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ද මේ වන විට සලකා බලා ඇත.
විභාගය අවසන් කළ තොරතුරු අභියාචනා අතර උතුරේ උදයන් පුවත්පත විසින්, පළාත් සභා සේවකයන් බඳවාගැනීමට අදාළ තොරතුරු ලබාදීම වරප්‍රසාද මත පදනම් වී ප්‍රතික්ෂේප කිරීමට හේතුවෙන් උතුරු පළාත් සභාවට එරෙහිව ගොනු කළ අභියාචනය ද වේ. එම තොරතුරු මුදාහරින ලෙස නියෝග කරමින් කොමිසම නිරීක්ෂණය කළේ “පොදු අධිකාරිය විසින් දක්වන ආකාරයට වරප්‍රසාද, තොරතුරු පනත යටතේ අදාළ වන්නේ පළාත් සභාවට මිස තනි පුද්ගලයන්ට නොවන බව”යි. (http://ift.tt/2wr3VhHíl-sinhala-dileep-amuthan-17.pdf)
වරප්‍රසාද යන්න හුදු වශයෙන් සඳහන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ද එහිදී පෙන්වා දෙන ලදී. අදාළ තොරතුරු ඉල්ලීම තෘප්ත කිරීම මගින් එම අවස්ථාවේ එකී පළාත් සභා වරප්‍රසාදය උල්ලංඝනය වන්නේ කුමන ආකාරයෙන් ද යන්න පෙන්වාදීමේ භාරය රැඳී පවතින්නේ තොරතුරු නිලධාරියා /නම් කළ නිලධාරියා මත ය. මෙකී බඳවාගැනීම් සිදුකරන්නේ මහජන මුදල්වලින් බවත්, එනිසා එම තොරතුර ඉල්ලා සිටීමට පුරවැසියෙකුට අයිතියක් ඇති බවත් එහිදී අවධාරණය කෙරිණි. පළාත් සභා සාමාජිකයන්ගේ විදෙස් ගමන් පිළිබඳව ආණ්ඩුකාරවරයා විසින් ලබාදුන් අවසර සම්බන්ධයෙන් ද එයට සමාන නියෝගයක් නිකුත් කෙරිණි.
විභාග කර අවසන් කළ සෙසු අභියාචනා අතරට, කොළඹ රාජකීය විද්‍යාලයේ 2016 මාර්තු සිට 2017 පෙබරවාරි දක්වා පාසල් සංවර්ධන සමිතියේ සවිස්තරාත්මක මාසික ගිණුම් පිළිබඳ විස්තර (http://ift.tt/2w7r1ak ) මුදා හැරීම ඇතුළත් ය. තවද මැතිවරණ කොමිෂන් සභාවේ තොරතුරු නිලධාරියාට සහ නම් කළ නිලධාරියාට තොරතුරු කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසට නොතීසි කර, මැතිවරණ නිලධාරීන්ගේ පරිපාලන උපදෙස් සහිත අභ්‍යන්තර චක්‍රලේඛයක් මුදා හරින ලෙසට නියෝග කරනු ලැබීය. (http://ift.tt/2wqKF3N)
තවද, හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ, දැනට සිදුකෙරෙමින් යන මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ඉඩම් පවරාගත් ඉඩම් හිමියන් වෙත ලබාදුන් වන්දි මුදල් පිළිබඳ තීරණ ඇතුළත් වාර්තා නිකුත් කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට ද විභාගයට ගෙන අවසන් කළ අභියාචනයකදී නියෝග කරනු ලැබීය. තවද “පාසල් අධ්‍යාපනයට සෘජුවම බලපාන ආයතනවල සේවය කරන තැනැත්තන්ගේ දරුවන්” නමැති කාණ්ඩය යටතේ පාසල්වලට ඇතුළත් කර ගත් ළමුන්ගේ පදිංචිය පිළිබඳ වැඩිදුර විස්තර අඩංගු ලිපිගොනු සපයන ලෙසට ද කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කරන ලදී. පාසල්වල පළමු පන්තියට සිසුන් ඇතුළත් කර ගැනීම පිළිබඳ සාමාන්‍ය තොරතුරු ද මේ අනුව සැපයිය යුතුය.
මේ අතර මහජන ප්‍රතිපෝෂණ ලැබීමෙන් අනතුරුව සහ පොදු අධිකාරීන් සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින්, ප්‍රගාමී තොරතුරු හෙළිදරව් කිරීමේ මූලධර්මය ට අනුව අමාත්‍යවරුන් විසින් අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් පනතේ 8/9 වගන්ති යටතේ මාර්ගෝපදේශන ද 42(1)(ආ) යටතේ පරීක්ෂණ රීති ද සකස් කර ඇති අතර ඒවා ගැසට් කිරීමට නියමිත ය. මෙහිදී ප්‍රගාමීව හෙළිදරව් කළ යුතු තොරතුරු අතර අයවැය ලේඛන විස්තර සහ ප්‍රසම්පාදන තොරතුරු ද ඇතුළත් වේ. ඇමරිකානු ඩොලර් ලක්ෂය ඉක්වමන විදෙස් ව්‍යාපෘති සම්බන්ධයෙන් හෝ රුපියල් ලක්ෂ පහ ඉක්මවන දේශීය ව්‍යාපෘති සම්බන්ධයෙන්, නියාමන අනුමැතීන් සහ පාරිසරික තක්සේරු වාර්තා ඇතුළත් තොරතුරු අමාත්‍යවරුන් විසින් ප්‍රසිද්ධ කළ යුතු බවට ද අනිවාර්‍ය කර තිබේ. තොරතුරු පනත යටතේ පොදු අධිකාරීන් විසින් ඉදිරිපත් කළ යුතු වාර්තා ආකෘති සහ 7 වැනි වගන්තිය යටතේ වාර්තා කළමනාකරණය කිරීම සම්බන්ධ මාර්ගෝපදේශන ද සකස් කිරීම මේ වන විට අවසන් අදියරෙහි තිබේ.
ශ්‍රී ලංකාව තුළ තොරතුරු පනත ක්‍රියාවට නැංවීම පිණිස මුල පටන්ම සම්බන්ධ වී සිටි ජේ්‍යෂ්ඨ පරිපාලන සේවා නිලධාරී පියතිස්ස රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් බඳවාගත් බව ද තොරතුරු කොමිෂන් සභාව සතුටින් දැනුම් දෙයි. ඔහුගේ දායකත්වය, තොරතුරු පනත යටතේ පිහිටුවා ඇති ස්වාධීන අධීක්ෂක සහ අභියාචන අධිකාරිය වන තොරතුරු කොමිෂන් සභාවට සුවිශේෂී වනු ඇත.
- ශ්‍රී ලංකා තොරතුරු කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනයකි.
2017/08/24
COMMENTS