මහනුවර විෂ්ණූ දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා විසින් වාන්නක්කු රාළ වෙත රිදී පොරව භාර දී පනස වෘක්ෂය කැපීම සදහා අවසරය ලබා දෙ...
මහනුවර විෂ්ණූ දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා විසින් වාන්නක්කු රාළ වෙත රිදී පොරව භාර දී පනස වෘක්ෂය කැපීම සදහා අවසරය ලබා දෙන ලදී. මහා සංඝරත්නයේ පිරිත් සඤ්ඤායන මධ්‍යයේ අලුයම හතරපසුවී මිනිත්තු හතළිස්හතරට යෙදුණූ සුභ මොහොතින් දකුණු දිශාව බලා පනස වෘක්ෂය කැපීම සිදුවිය.
අනතුරුව සකස් කරන ලද එම කප සුදු රෙදි කඩින් ඔතා සුදු උඩු වියන් සහිත මහ පෙරහැරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය කරා ඇතු පිටින් වැඩම කිරිම සිදුකෙරිණි.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සදහා කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය හෙට (23) පෙරවරු 6.58ට නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාලයන්හිදී උතුරු දිශාභිමුඛව සිදුවේ.
කප් සිටුවීමෙන් අනතුරුව පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ. 29 වන දින කුඹල් පෙරහැර ආරම්භ වී දින පහක් වීදි සංචාරය කරන අතර අගෝස්තු 03 වන දින රන්දෝලි පෙරහැර ආරම්භ වේ.
අගෝස්තු 07 වන දින නිකිණි පුරපසළොස්වක පෝය දින අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන අතර පසුදින දහවල් පෙරහැර සමගින් මෙවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS