ඒබීසී පුවත් සේවයට ඔහු ලබාදුන් ප්‍රකාශයකට අනුව එසේ ලැබුණු දුරකථන ඇමතුම්, විධායකය සහ ස්වාධීන අපරාධ විමර්ශකයෙකු අතර තිබෙන සීමාව බොහෝ සෙයින් ...
ඒබීසී පුවත් සේවයට ඔහු ලබාදුන් ප්‍රකාශයකට අනුව එසේ ලැබුණු දුරකථන ඇමතුම්, විධායකය සහ ස්වාධීන අපරාධ විමර්ශකයෙකු අතර තිබෙන සීමාව බොහෝ සෙයින් ඉක්මවනසුලු විය. භාරරා පළමුවෙනි දුරකථන ඇමතුමත් ඉවසාගත්තේය. දෙවැන්නත් ඉවසාගත්තේය. එනම් ට්‍රම්ප් කියන හෑලි අසාගෙන හිඳ අවම පිළිතුරු ලබාදුන්නේය. එකම සතියේ තුන්වැනි වතාවටත් ට්‍රම්ප් ඔහුට කතා කරන විට දුරකථන රැහැන දිගේ තවත් මේ එන්නේ ආලවන්ත ඇමතුමක් නොවන බව යුක්තිගරුක මිනිසාට වැටහුණේය. එනිසා ඔහු ඒ තුන්වැනි දුරකතන ඇමතුමට පිළිතුරු දුන්නේ නැත. සරල බසින් කියනවා නම් ‘කෝල් එක ආන්සර් කළේ නැත’.
එයින් දින කිහිපයක් ගත වුණු තැන, බොහෝ සේ දුක් විඳ ඉගෙන ගෙන හිමිකරගත්, කරමින් හිටිය රස්සාවත් නැති වෙලාය !!
ප්‍රීත් භාරරා ඉන්දියානුවෙකි. තවද රජයේ අභිචෝදකයෙකු වශයෙන් හෙවත් රජයේ නීතීඥයෙකු වශයෙන් ඔහුට පත්වීම ලබාදුන්නේ හිටපු ඇමරිකානු ජනපති බරාක් ඔබාමාය. අනතුරුව ඔහු මැන්හැටන් ජනපදයේ ප්‍රධාන අභිචෝදකයා වශයෙන් කටයුතු කළේය. ප්‍රීත් භාරාරා හට මුලින්ම ට්‍රම්ප්ව හමුවන්නේ 2016 වසරේදීය. එනම් ජනාධිපති වෙන්නට කලින්ය. තමන්ට දැනටමත් තිබෙන ‘නඩු ගොඩ’ සහ ඉදිරියේදී වැටෙන්නට නියමිත ‘නඩු වැල’ අනුව, මෙවැනි නීති මොළයක් ‘බාවාගෙන තිබීම’ ඇඟට ගුණ යැයි ට්‍රම්ප් සිතන්නට ඇත. නමුත් මෙහිදී ඔහු එක් දෙයක් අමතක කරන්නේය. ඒ භාරාරා වැනි ධනයට බලයට නොනැමෙන නීතියේ මිනිසුන් ද මේ ලෝකයේ ජීවත් වන බවය.
ඉතින් අප්පච්චිගේ පින්තූරවලට තවමත් උදේ හවා දුම් අල්ලන ශ්‍රී ලාංකේය ගැත්තන්ට නම් මේ මිනිසා පල් මෝඩයෙක් සේ පෙනෙන්ට තිබේ. “ඇයි ඕකට ආන්සර් කරල තානාපති කමක්වත් ලැබුණොත් එපා කියන්නද?” වැනි දේවල් සිතෙන්නට ඉඩ තිබේ. අපේ රටේ ජනාධිපති මහතා ජනවාරි පළමුවැනිදාට එවන ‘ඇස්ඇම්ඇස් සුබපැතුම’ දකිනකල් උදේ රැයින් නිදි වරාගෙන බලා සිටිනා දේශපාලනික වශයෙන් කොඳු පණ නැති මිනිසුන් එමට ය. එහෙව් අයට, ජනාධිපති සතියකට කිහිප වරක් කෝල් කළොත් ශ්‍රද්ධාව වැඩිකමටම කලාන්තය දාන්නටත් ඉඩ තිබේ. එසේ ශ්‍රද්ධාව වැඩිකමට භක්තියෙන් එකත්පස්ව හිඳ දෙන දෙන විධාන ඉටු කළ තරු පහේ ලොකු මහත්තුරුන් තවම බන්ධනාගාර රෝහලේ විවේක සුවයෙන් පසුවන බවත් අපට වරින් වර අසන්නට ලැබේ.
මේ සියලු කරුණු අනුව පැහැදිලි වන එක කාරණයක් තිබේ. ඇත්තෙන්ම ට්‍රම්ප් ඇමරිකාව පාලනය කරන්නේ ලංකාවේ ‘ටිපිකල්’ දේශපාලකයෙක් විසින් ලංකාව පාලනය කරන ක්‍රමයට ය. නමුත් ප්‍රශ්නය වන්නේ ඇමරිකාවේ බහුතරය ටිපිකල් නැත. ලංකාවේ මෙන් ‘චින්තනමය ගොම ගතියෙන්’ අඩු ය. එනිසා බහුතරය එහෙම පාලනය වන්නට කැමති නැත. ඔන්න, හිතෙන් ට්‍රම්ප් මවාගෙන ලංකාවේ සරම කැහැපට ගසාගත් දේශපාලකයන්ගෙන් ට්‍රම්ප් සොයන ට්‍රම්ප්වාදීන්ට දැන් හොඳ අවස්ථාවක් උදා වී තිබේ. දැන් ඔවුන්ගේ ආදර්ශ පාඨය විය යුත්තේ මෙය නොවේද?
“ට්‍රම්පච්චිට එන්න කියමු - අපේ රට කරන්න කියමු...???”
- ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS