මෙම තරගය ආරම්භවීමට පෙර ඒ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටියේ ලකුණු 4 ක් ලබාගෙන සිටි එංගලන්තයයි. ලකුණු 3 ක් සමග බංග්ලාදේශ...
මෙම තරගය ආරම්භවීමට පෙර ඒ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටියේ ලකුණු 4 ක් ලබාගෙන සිටි එංගලන්තයයි. ලකුණු 3 ක් සමග බංග්ලාදේශය දෙවැනි ස්ථානය ද ලකුණු දෙකක් සමග ඕස්ට්‍රේලියාව තෙවැනි ස්ථානය ද හිමිකරගෙන සිටියේය. ඒ අනුව අවසන් පූර්ව තරගයට යාම සඳහා ඕස්ට්‍රේලියාවට මෙම තරගය ජයගැනීම අනිවාර්ය වූ අතර මෙම තරග පරාජයත් සමගින් ඔවුන් තවදුරටත් තුන්වැනි ස්ථානයේ රැඳී සිටී. පළමු ස්ථානයේ සිටින එංගලනත්ය තවත් ප්‍රසාද ලකුණු 2 ක් දිනාගැනීමට අද සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා මුලින් පන්දු යැවීම තෝරාගත් අතර ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට පන්දුවාර 50 අවසානයේ ලබාගැනීමට හැකි වූයේ ලකුණු 277 ක් පමණි. ඒ සඳහා ඔවුන්ට කඩුලු 9 ක් අහිමි කරගැනීමට සිදුවිය. ඒරොන් ෆින්ච් ලකුණු 68 ක් සහ නායක ස්මිත් ලකුණු 56 ක් ලබාගත් අතර සෙසු කඩුලු බිඳවැටෙද්දී සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් නොදැවී ක්‍රීඩාකළ ට්‍රාවිස් හෙඩ් ලකුණු 71 ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී මාක් වුඩ් සහ අදිල් රෂීඩ් කඩුලු 4 බැගින් බිඳහෙළූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 35 ක් ඇතුළත දවාගැනීමට ස්ටාක් සහ හෙස්ල්වුඩ් සමත් වූයේ කැන්ගරුවන්ගේ අවසන් පූර්ව තරග බලාපොරොත්තු ඉහළ දමමිනි. ලකුණු 35 දී පිටියේ එක්වූ නායක මෝගන් සහ බෙන් ස්ටෝක්ස් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 159 ක සබඳතාවයක් පැවැත්වූයේ කැන්ගරුවන්ගේ බලාපොරොත්තු බිඳ දමමිනි. මෝගන් ලකුණු 87 ක් ලබා සිටියදී දුවද්දී දැවීයාමකට ලක්විය. 41 වැනි පන්දුවාරයේදී වර්ෂාව පතිතවන විට එංගලන්තය කඩලු 4 කට ලකුනු 240 ක් ලබාගෙන සිටියේය. ඒ වනවිට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්තයට ලබාගැනීමට තිබූ ලකුණු ප්‍රමාණය 200 කි. ඒ අනුව එංගලන්තය ලකුණු 40 කින් ජයගත්තේ බංග්ලාදේශයට අවසන් පූර්ව තරග වරම් හිමිකර දෙමිනි.
බෙන් ස්ටොක්ස් ශතකයක් වාර්තා කළ අතර ඒ නිසාම ඔහු තරගයේ වීරයා සම්මානයට පාත්‍ර විය.
මෙම තරගයත් සමගින් ඒ කාණ්ඩයේ ලීග් තරග අවසන් වන අතර බී කාණඩයේ තරග දෙකක් හෙට සහ අනිද්දා පැවැත්වේ. හෙට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව හමුවන අතර අනිද්දා ශ්‍රී ලංකාව සමගින් පකිස්ථානය තරග වදී. බී කාණ්ඩයෙන් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් මොනවාද යන්න එම තරග දෙකේ තීරණවලින් දැකගත හැකි වනු ඇත.
COMMENTS