බාබට් ෂරෝඩර්, උගන්ඩාවේ ඒකාධිපති නායක ඉඩි අමීන් බලයේ උපරිමයේ සිටි කාලයේ ඉඩි අමීන් සමග මාස ගණනාවක් කල් ගත කළේය. එකල හැම උදෑසනකම වික්ටෝරියා...
බාබට් ෂරෝඩර්, උගන්ඩාවේ ඒකාධිපති නායක ඉඩි අමීන් බලයේ උපරිමයේ සිටි කාලයේ ඉඩි අමීන් සමග මාස ගණනාවක් කල් ගත කළේය. එකල හැම උදෑසනකම වික්ටෝරියා විලේ ඉවුරුවලට මළ කඳන් ගසාගෙන ආවේය. කම්පාලා අගනුවර පැතිර ගිය කටකතාවලින් කියැවුණේ ඉඩි අමීන් සිය සතුරන්ගේ මිනී මස් බුදිමින් සිටින බවයි. නමුත් නපුර සහ දුෂ්ට කම කැමරා කාචයට හසුකර ගනිමින් ගත කළ දශක කිහිපයක සිනමා ජීවිතය තුළ මේ ස්විස් ජාතික සිනමාකරුවා විරතු භික්ෂුවට තරම් කිසිවෙකුට බිය වුණේ නැත. “මම ඔහුට විරතු කියන්නත් බයයි. මොකද ඒ නම පවා මාව බියපත් කරනවා.” ලෝක සිනමාවේ ඉහළ පිළිගැනීමක් ඇති මේ කලාකරුවා කියයි. “ඒ නිසා මම ඔහුට ඩබ්ලිව් කියා විතරක් කිව්වා” මෙම චිත්‍රපටයේ නම වන්නේ “ද වෙනරබල් ඩබ්ලිව් (The Venerable W)” ය.
තම සතුරන්ගේ ගෙළෙන් වෙන් කළ හිස ශීතකරණයේ තබාගෙන ටිකෙන් ටික රස බලන බව කියූ ඉඩි අමීන්ටවත් මේ සම්මානනීය සිනමාකරුවා මෙතරම් බිය වුණේ නැත. මෙම වාර්තා චිත්‍රපටය තුළින් “වාර්ගික ශෝධනය ක්‍රියාදාම වශයෙන් ආලෝලනය වේ”යැයි විචාරකයෝ මහත් පැසසුම් නගති. එය මෙවර කෑන්ස් සිනමා උළෙලේදී විශේෂ දර්ශන වාරයක් ලෙසින් ප්‍රදර්ශනය කෙරිණි.
2013 වසරේදී ජාත්‍යන්තර ටයිම් සඟරාව සිය කවරයේ කතාව වෙන් කළේ විරතු භික්ෂුව සඳහා ය. ඔවුන් එම කවරයේ කතාව නම් කර තිබුණේ “බෞද්ධ භීෂණයේ මුහුණුවර” යනුවෙනි. විරතු භික්ෂුව ජාත්‍යන්තරයේ හැඳින්වෙන්නේ “බෞද්ධ බින් ලාඩන්” යනුවෙනි.
මේ ස්විස් ජාතික කැමරාකරුවා බුදු දහම ගැන සොයන්නට පෙළඹුණේ ඉන්දියාවට ගොස් බුදු දහම ඇසුරු කරන්නට තීරණය කිරීමත් සමග ය. ජීවිතයේ යම් කලෙක තමන් ඊර්ෂ්‍යාව නමැති රෝගයෙන් පෙළුණු බවත්” එය සුවපත් කර ගැනීම සඳහා තමන් ඉන්දියාවේ බුදු දහම සොයායන්නට තීරණය කළ බවත් ඔහු කියයි. මේ ගවේෂණය ඔහුගේ ගමන්මග සපුරාම වෙනත් අතකට යොමු කළේය. එනිසාම නිර්මල බුදු දහම කෙබඳු එකක් වේදැයි ඔහුගේ සිතේ අදහසක් තිබුණේය. විරතු හිමි විසින් වපුරන වෛරය ගැන පුවත් මැවෙන්නට ගත්තේ ඉන් පසුව ය. මන්ඩාලේ ආශ්‍රමයෙන් නිකුත් වන මුස්ලිම් විරෝධී ව්‍යාජ පුවත් නිසා තමන්ගේ හිස බමන්නට පටන් ගත්තේ යැයි මේ සිනමාකරු කියයි. එයින් සමහරකින් කියැවුණේ මියැන්මාරයේ ජනගහනයෙන් 4% ක් පමණක් වන මුසල්මානුවන් විසින් මැෂින් සේ දරුවන් හදා, 90% ක් වන බෞද්ධයන්ගේ ජනගහනය ඉක්මවන්නට වෙර දරන බව ය22 ඔහුගේ ආශ්‍රමයේ 2500කට ආසන්න ‘භික්ෂු හමුදාවක්’ වැඩ වාසය කරති.
රහස් පොලිසියේ අවධානයට ලක් වන තෙක්ම මේ සිනමාකරුවා මියැන්මාරයේ සිට රහසේ විරතු කරන කියන දෑ රූගත කළේය. “ඔහු මා සිතුවාට වඩා බුද්ධිමත්. තමන්ව හොඳින් පාලනය කරගන්නට දන්නවා. බුද්ධිමත් යක්ෂයෙක් සේ දක්ෂයි..” යැයි බාබට් කියයි. ඔහු තවදුරටත් පවසන්නේ අතීතයේ විසූ යම් ඉතාම දක්ෂ නමුත් පටු මනසැති කොමියුනිස්ට් නායකයෙකුට හෝ ක්‍රිස්තියානි සභාවක නායකයෙකුට මුහුණ දුන් විට දැනෙන නිරුත්තර හැඟීම මේ භික්ෂුව නිසා ඇති වූ බවයි.
මෙම භික්ෂුව මුණ ගැසුණු විට බාබට් ඔහුව මාධ්‍යවේදියෙකු සේ ප්‍රශ්න කරන්නට ගියේ නැත. ඒ වෙනුවට ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් සේ අනං මනං කතා කරන්නට පටන් ගත්තේය. උදාහරණයක් වශයෙන් 1974 වසරේ ‘ජනරාල් ඉඩි අමීන් ඩැඩා’ චිත්‍රපටයෙන් ආරම්භ කළ, ඉඩි අමීන් පිළිබඳ තැනූ චිත්‍රපට ත්‍රිත්වය ගැන විරතු සමග කතා බස් කළේය. නාසි යුධ අපරාධකරුවන් වූ ක්ලෝස් බාබි සහ සර්බියානු නායක ස්ලොබොදාන් මිලොසෙවික් වෙනුවෙන් පෙනී සිටි ප්‍රංශ නීතීඥයා වූ ජේකස් වර්ගස් (ජැක් වර්ජ්) පිළිබඳ තැනූ “ටෙරර්‘ස් ඇඩ්වකේට්’ චිත්‍රපටය ගැන දිගින් දිගටම කතා කළේය. “ඉවසීමෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් යම් මොහොතක ඔවුන් කතා කරන්න පටන් ගන්නවා.” බාබට් කියයි. “ඉඩි අමීන් සම්බන්ධයෙන් මෙන්ම ජේකස් සම්බන්ධයෙනුත් මම කළේ ඒකයි. ඔවුන් ලවා කතා කරවීමයි.”
“ඔහු බොරුවක් කියන විට මම ඔහුට මෙහෙම කියනවා” “මට තවත් ඒ ගැන විස්තර කියන්න. හරිම උනන්දු සහගතයි. ඒ කියන්නෙ රොහින්ගියා මුස්ලිම්කාරයො එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සල්ලි ගන්න තමන්ගෙම ගෙවල් ගිනි තියාගත්තා...? ඒක නම් නියම කතාවක්...!!”
තුන් දහසකට අධික පිරිසක් අන්ත අසරණයන් සේ දිවගියේ ‘තමන් විහින්ම ගෙවල් ගිනි තියාගැනීමෙන්’ පසුව යැයි විරතු භික්ෂුව කීවේය. දැන් බලාගෙන යන විට ‘තමන් විහින්ම ගස් බැඳගන්නා’ රට වන ලංකාවේ සිදුවන දේවල්වලට සමාන දේවල් මියැන්මාරයේ ද සිදුවන සෙයකි.
අද වන විට 969 ව්‍යාපාරය යනු මියැන්මාරයේ තිබෙන බෞද්ධ ජාතිවාදී ව්‍යාපාරයකි. විරතු එහි නායකයා ය. මේ වාර්තා චිත්‍රපටයට ලබාදෙන එක් වොයිස් කට් එකක තිබෙන්නේ 2013 වසරේ ඔහු වෙසෙන මන්ඩලායි අසල මෙයික්ටිලා හිදී මුස්ලිම් ජාතිකයන්ට පහර දී මරාදමන තෙක් මේ ව්‍යාපාරයේ සාමාජිකයන් වට වී බලා සිටි බවයි! විරතු හිමි මේ ප්‍රදේශයට ගොස් ඉතාම සංවිධානාත්මක මුස්ලිම් විරෝධී කතාවක් පවත්වා තිබුණේ එයට මසකට පමණ පෙර ය.
බාබට් පවසන්නේ මියැන්මාරයේ සිදුවන බොහෝ මුස්ලිම් විරෝධී අන්තවාදී ක්‍රියාවන්ට විරතු භික්ෂුව වක්‍ර ලෙස සම්බන්ධ බවයි. මියැන්මාරයේ රොහින්ගියා මුස්ලිම් කලබල ඇති වුණේ මුස්ලිමුන් විසින් බෞද්ධ භික්ෂුවක් මරාදැමීමෙන් පසුව යැයි විරතු එක් අවස්ථාවක කියයි. නමුත් කලබල ඇති කිරීමට තුඩු දුන් පත්‍රිකාවක් කියැවූ විට බාබට් හට හැඟී ගොස් තිබෙන්නේ ඒ පත්‍රිකා පවා විරතු විසින්ම වෛරී භාෂණයෙන් ලියන්නට ඇති බවකි. අද වන විට නිල වාර්තාවලට අනුව පමණක් රොහින්ගියා මුස්ලිම් සුළුතරයෙන් සියගණන් දෙනා බෞද්ධාගමට නිගරු දෙන විරතුලාගේ අනුබලය මත කෝපාවිෂ්ට පිරිස් විසින් භීෂණය හටගත් 2012 වසරේ පමණක් කපා කොටා මරා දමා තිබේ. හැත්තෑදහසකට අධික පිරිසක් බංග්ලාදේශය ඇතුලු අසල්වැසි රටවලට පළාගොස් තිබේ.
මියැන්මාරයේ ඉහළම සංඝසභාව විසින් 2017 මාර්තු මාසයේ විරතු භික්ෂුවට (අ)ධර්මය දේශනා කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය. නමුත් පිස්සු බල්ලන් බැඳ දමන තෙක් සපා කෑම් නතර වන්නේ නැත. තහනම නොතකා විරතු” අතිශයින්ම සංවේදී රඛීනේ ප්‍රාන්තය ඇතුලු මුස්ලිම් ප්‍රදේශ ගණනාවක සංචාරය කළේය. රඛීනේ ප්‍රාන්තය යනු රොහින්ගියා මුස්ලිම් සුළුතරය” ජනගහනය අනුව බහුතරයක් ජීවත් වන ආදිවාසික කලාපයකි.
සිය වාර්තා චිත්‍රපටයේදී බාබට් ෂ්රෝඩර් විරතුගේ ඉස්ලාමෆෝබියාවේ (ඉස්ලාම් ආගමට දක්වන භීිතිකාව) අක්මුල් සොයා ගවේෂණයක ද නිතර වෙයි. එහිදී විරතුගේ උපන් ගම වන ක්යායුස්කේ හි දී බෞද්ධ කාන්තාවක් මුසල්මානුවෙක් විසින් දූෂණය කර මරා දමන ලදැයි පැවසෙන සිද්ධිය කෙරෙහි ද ඔහු අවධානය යොමු කරයි. නමුත් බාබට් කියන්නේ මේ කතාව බොරුවක් යැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවයි. විරතුගේ මුස්ලිම් වෛරයට හේතු සාධක සපයන බව කියන තවත් කතන්දර දෙකක් ද බාබට් හට මියැන්මාරයෙදී අසන්නට ලැබුණේය. එයින් එකකට අනුව ඔහුගේ මව ඔහු කුඩා කාලයේදී පියා අතහැර ගොස් මුස්ලිම් ජාතිකයෙකු සමග විවාහ වී ඇත. හිට්ලර්ගේ යුදෙව් වෛරයට හේතුව ඔහුගේ මව ගණිකාවක් වී යුදෙව්වන් සමග යහන් ගත වීම බවට පවතින මතය සමග මේ කතාව කොතරම් සමපතාදැයි ඔබට පෙනී යනවා ඇත. විරතු පිළිබඳ තවත් කතාවකට අනුව වයස අවුරුදු 14 දී ඔහු සිටි ආශ්‍රමය ඉස්ලාම් ආගමිකයන් විසින් පුළුස්සා දමා තිබෙන අතර” එයද මුස්ලිමුන් සම්බන්ධයෙන් පවතින ඔහුගේ පුද්ගලික ඇරියස් එකට තවත් හේතුවකි. නමුත් මේ එක කතාවක්වත් සනාථ කරගන්නට සාක්ෂි නැතැයි මේ සිනමාකරු පවසයි. “විරතුගේ සිතේ තව කොතරම් කුණු කන්දල් එකතු වී තිබෙනවාදැයි අපි දන්නේ නැහැ” යැයි බාබට් ප්‍රංශ පුවත්සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසන්නේ ඒ නිසා ය.
අන්තවාදීන්ට මේ සමාජයේ වෛරය වපුරන්නට එක රැයක් පමණක් සෑහෙයි. කොහොමටත් යක්ෂයන් සහ පිසාචයන් ට, උපත සඳහා, එක රැයක් සෑහෙයි. මෙයට දස වසරකට පෙර බුරුමයේ කිසිම අයෙක් විරතු නමැති කෙනෙක් ගැන අසා තිබුණේ නැත. 1968 වසරේ උපන් ඔහු, වයස අවුරුදු 14 දී පාසල හැර ගොස් සසුන්ගත වන්නේ අෂීන් විරතු හිමි යනුවෙනි. 2001 වසරේදී මුස්ලිම් විරෝධී ‘696 කණ්ඩායම’ සමග එක්වීමෙන් අනතුරුව අෂීන් විරතුගේ නම දිගින් දිගටම කියැවෙන්නට පටන් ගත්තේය. මේ කණ්ඩායම තමන්ව හඳුන්වාගත්තේම ජාතිවාදීන් සහ අන්තවාදීන් යනුවෙනි. 2003 වසරේදී වෛරය වැපිරීම වෙනුවෙන්ම විරතු 25 වසරක සිර දඬුවමකට නියම වෙයි. නමුත් 2010 වසරේදී තවත් දේශපාලන සිරකරුවන් කණ්ඩායමක් සමග ඔහු ද නිදහස ලබයි. මෙයින් පෙනී යන්නේ ඉතිහාසයේ යම් කලෙක අපේ රටේ ද සිදුවුණා සේ අන්තවාදී භික්ෂූන් රටේ ඉහළම දේශපාලන ප්‍රභූන්ගේ ආරක්ෂාව ලබන බව ද?
ඉතින් මෙය, ආසියාවේ පොදු කරුමයද? පසුගිය සතියක ලංකාවේ ජාතික සංහිඳියා” සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශයට කඩා වැදුණු, මියැන්මාරයේ විරතුට වඩා දැනට ටිකක් හොඳ ‘ලංකාවේ විරතු’ ඇතුලු පිරිස “මේ රට අයිති බෞද්ධයන්ට” යැයි කියමින් පාරම් බාන අයුරුත් සිවුරට නොගැළපෙන සේ දඟලන අයුරුත් අපි දුටුවෙමු. ඒ අවස්ථාවේ අදාළ විෂයභාර ඇමති මනෝ ගනේෂන් හැසිරුණු ආකාරය සහ ලංකාවේ විරතු හැසිරෙන ආකාරය යූ ටියුබයෙන් නරඹන විට එතැන සිටි “බෞද්ධයා කවුදැයි” පැහැදිලි වෙයි. “මේ රට අයිති බෞද්ධයන්ට” යැයි පාරම් බානා ආගමික අන්තවාදීන් නිසා අවසානයේ කෙළෙසෙන්නේ බුදු දහමයි. බුදුන් දෙසූ දහමේ රටක අයිතියක් ගැන කියැවෙන වෙනම වගන්ති නැත. අඩුම ගණනේ මේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා මේ රට අයිති බෞද්ධයන්ට කියා වගන්තියක් නැත. නමුත් මෙවැනි චීවරධාරීන් නොහොත් සංඝවේෂධාරීහු ‘රට නමැති ඉඩමේ’ අයිතිකාරයා සොයති. එයට සින්කක්කර ඔප්පු ලියන්නට තතනති. කාලාවරෝධයෙන් ඉඩම අත්පත් කර ගන්නට දත කති. මෙහිදී ‘පස මත ඇති දේ පස සමග යන්නේය’ යන චිරාගත ලෝක සම්ප්‍රදාය අමතක කරති. යම් රටක උපන් යම් කෙනෙක් වේද, ඒ රට ඒ කෙනාගේ මව් රට වේ යන සරල සුගම නීතිය මුන්වහන්සේලාට මෙතරම් ලෙහෙසියෙන් අමතක වන්නේ, ඒ ඒ රටේ කරුමයේ දිග පළල නිසා මිස වෙන යම් අරුමයක් නිසා නොවේ.
-ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS