දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ප්‍රංශය ඔබට ස්තූතියි !! - ලන්ඩන් පබ්

බ්‍රෙක්සිට්, ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක ඊළඟ තර්කානුකූල ප්‍රතිඵලය තමයි මාරි ලි පේන්. නමුත් ප්‍රංශුවෝ මහා බ්‍රිතාන්‍ය යේ මෝඩ සුද්දෝ වගේවත්, කදබ...

ප්‍රංශය ඔබට ස්තූතියි !! - ලන්ඩන් පබ්

බ්‍රෙක්සිට්, ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක ඊළඟ තර්කානුකූල ප්‍රතිඵලය තමයි මාරි ලි පේන්.

නමුත් ප්‍රංශුවෝ මහා බ්‍රිතාන්‍ය යේ මෝඩ සුද්දෝ වගේවත්, කදබඩ මහත මොලේ නැති ඇමරිකානුවන් වගේවත් නෙමෙයි උන්ට අනිත් දෙගොල්ලන්ටම වඩා මොලේ තියෙනවා කියල ඔප්පු කලේ 66% ක ඡන්ද ප්‍රතිශතයකින් මීට කලින් හරිහමන් විදිහට දන්නෙ නැති එමානුවල් මැක්රෝන්ව ජයග්‍රහණය කිරීම තුලින්.

ජනප්‍රියවාදයේ (Populism) ඉඩෝරය නිමා කරමින් ප්‍රංශයෙන් යන්තම් පොද වැස්සක් වැටුණා. ඒත් මතක තියා ගත යුතු එකම කාරණය තමයි ප්‍රංශයේ ඡන්ද දායකයන් තුන්දෙනෙක්ගෙන් එක්කෙනෙක් ඡන්දෙ දුන්නෙ මාරි ලි පේන්ට බව. එ් කියන්නෙ ප්‍රංශයේ තුනෙන් එකක් අන්ත දක්ෂිණාංශිකයි කියන එක. බැරිවෙලාවත් එමානුවෙල් මැකරෝන්ට තමන්ගේ ඇක්ෂන් ප්ලෑන් එක හරිහැටි ක්‍රියාත්මක කර ගන්ඩ බැරි වුනොත් ප්‍රංශයේ ජනප්‍රියවාදය නැවත හිස ඔසවන්නෙ ඩබල් ට්‍රිබල් වෙලා.

‘ඒකත් හරියට මැයි පලවෙනිදා ගෝල්ෆේස් පිට්ටනියට ආපු ජන ගඟ වගේ' එහෙම කිව්වෙ ගෝල්ෆේස් එකේ ජනතාව දැකල මේ වෙනකොට ලන්ඩන්වලට වෙලා මාර චූන් එකේ ඉන්න ගාල්ලෙ අමරෙ අයියා.

මැයි පලවෙනිදා ලන්ඩන්වලත් බෑන්ක් හොලිඩේ එකක් නිසා අපේ කට්ටිය පයින්ට් එකකට සෙට් වුනා. ඒ වෙලාවෙ තමයි ගාල්ලෙ අමරෙ අයියා තමන්ගෙ අතේ තිබිච්ච ස්මාට් ෆෝන් එකෙන් ගෝල්ෆේස් එකේ සෙනඟ පබ් එකේ කට්ටියට පෙන්නුවෙ. ඒක දැකපු ගොඩක් අයගේ උගුර කට වේලුනා. විශ්‍රාමික දොස්තර ඇන්ඩෘ බර්නාඩ් හෙල කුමාර මහත්තයා එයාගෙ ගානෙ බියර් රවුමක් අපේ කට්ටියට අරන් දුන්නා.මොකද එයා අංක එකේ සිංහල බෞද්ධ දේශප්‍රේමියෙක් නිසා. ලන්ඩන් නුවර කොටින්ට විරුද්ධව පවත්වන සිංහල රැලි වලට මුදල් ආධාර සපයන්නෙ දොස්තර හෙලකුමාර. හැබැයි මනුස්සයා කවදාක්වත් ඒ විරෝධතා රැලිවල සිංහ කොඩි වනන්න යන්නෑ. රැලිය තියෙන දවස්වල දොස්තර හෙල කුමාර සම්පූර්ණ දවසම ඉන්නෙ ලන්ඩන් පබ් එකේ. එතැන ඉදගෙන එයාගෙ ප්‍රියතම පානය වන ජින් ඇන්ඩ් ටොනික් පානය කරමින් පැයෙන් පැයට රැලියේ සංවිධායකයන්ගෙන් අප්ඩේට් එක ගන්නවා. කීදෙනෙක් ඇවිල්ලා ඉන්නවද? අහල පහල දෙමල මිනිස්සු එහෙම නැත්ද? පොලිසියේ කීදෙනෙක් ඉන්නවද? යනාදී වශයෙන්. දොස්තර හෙල කුමාර මහින්ද රාජපක්ෂව අදහන පුද්ගලයෙක්. මනුස්සයා ඉතිහාසයයේ වැඩිපුරම කැමතිම චරිතය තමයි ‘ මහරජ - දුටුගැමුණු'
පබ් එකේ අය කියන්නෙ දුටු ගැමුණු දොස්තර හෙල කුමාරගෙ ක්ලාස්මේට් කියල. දවසක් දුටුගැමුණු ගැන පබ් එකේදි බාර් මෑනුයි දොස්තර හෙල කුමාරයි සංවාදයක නිරත වුණා.

‘මහ රජ - දුටුගැමුණුයි එයාගෙ තාත්තා කාවන්තිස්සයි තාම ලංකාවෙ ජීවත් වෙනවා' බාර් මෑන් කියද්දි දොස්තර හෙලකුමාර තමන්ගෙ ජින් වීදුරුව පැත්තක තියලා පහලට රූරා වැටෙන උපැස් යුවළ අතරින් තියුණු බැල්මක් හෙලුවා.

‘මොකක් ........... ! දුටුගැමුණුයි කාවන්තිස්සයි තාම ලංකාවෙ ඉන්නවා?'

‘ඔව් වෙන නම් දෙකකින්'

‘මොකක්ද නම්?'

‘දුටුගැමුණුගෙ වත්මන් නම මහින්ද රාජපක්ෂ. කාවන්තිස්සගෙ වත්මන් නම රනිල් වික්‍රමසිංහ' බාර් මෑන් පිළිතුරු දුන්නා.

‘ හහ් හහ්.... මහින්ද රාජපක්ෂ නම් හිටපු දුටුගැමුණු කියල පිළිගන්න පුළුවන්. ඒත් රනිල් වික්‍රමසිංහ?' දොස්තර හෙලකුමාර මදක් කල්පනාවට වැටුණා.

‘හරි මට දැන් වැඩේ තේරුණා. කාවන්තිස්ස කියන්නෙ භය ගුල්ලෙක්. දුටුගැමුණු යුද්ධයට අවසර ඉල්ලපු වෙලාවෙ කාවන්තිස්ස ඒකට ඉඩ දුන්නෑ. එතකොට දුටුගැමුණු කලේ ස්ත්‍රී පළදනා තමන්ගෙ පියාට යවලා අපහාස කරපු එක. ඇත්තටම කියනවනම් දුටුගැමුණුගෙ කකුලෙන් ඇද්දෙ කාවන්තිස්ස. ඒකත් හරියට රනිල් මහින්දට යුද්ධ කරන්න නොදුන්නා වගේ වැඩක්'

‘කාවන්තිස්ස දන්නවා තමන්ගෙ වැඩිමහල් පුතා අධිවේගී චරිතයක් කියල. යුද්දෙට කලින් කරන්ඩ ඕන වැඩ තොගයක් තියෙනවා. කාවන්තිස්ස ඉතා දුරදක්නා නුවණක් ඇති රාජ්‍ය පාලකයෙක්. එයාට මුහුණ දෙන්න අභියෝග රැසක් තිබ්බා. කැළණිය, ගිරිනුවර, කතරගම, සේරුනුවර හිටපු ක්ෂත්‍රිය යො එහෙමත් නැත්නම් රජපාලනයට උදව් කරපු අය කාවන්තිස්සව මහරජු හැටියට පිලිගන්න සූදානම් වුනේ නැහැ. ඒ අස්සෙ එළාරත් උපක්‍රමශීලීව රුහුණෙ බලවතුන් තමන්ගෙ පක්ෂෙට හරව ගන්න උත්සාහ කළා. නමුත් කාවන්තිස්සගෙ රාජතාන්ත්‍රික උපාය මාර්ග හැමෝටම වඩා ඉහළයි. එයා කලේ දසමහා යෝධයො කියල සාමාන්‍ය ජනතාව හදුන්වපු බලසම්පන්න සෙන්පතියන් දස දෙනෙකු යටතේ සේනාව සංවිධානය කිරීම. මාගම් පොළොවෙන් ලැබෙන ලෝහ යොදාගෙන යුධ ආයුධ තැනීම් වගේ දේවල්. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය එක් රැස් කිරීම. තාත්තා එහෙම කරන වෙලාවෙ දුටු ගැමුණු කලේ මීඩියා සංදර්ශණ. සයනයේ වකුටුවෙලා නිදා ගෙන දකුණෙන් මහමුහුද උතුරෙන් හැඩි දෙමළු කියල විහාර මහා දේවියට වොයිස් කට් දීම. ඒ වොයිස්කට් එක එහෙම්පිටින්ම මහාවංශයෙ තියෙනවා.'

‘ මාධ්‍ය සංදර්ශණ අද විතරක් නෙමෙයි එදත් තිබිලා තියෙනවා එහෙනම්' කියමින් දොස්තර හෙලකුමාර තම ජින් වීදුරුව නැවත අතට ගත්තා.

‘ඔන්න ඕක තමයි දොස්තර මහත්තයො කියන්නෙ යුද්ධ කරන්න ඕන බූරුවෙක්ට පුළුවන් කියල. එහෙම කරන්ඩ අවශ්‍ය පසුබිම සකස් කරන්ඩ පුළුවන් මොලේ තියෙන කෙනෙක්ට විතරයි. ඒ අර්ථයෙන් රනිල්ට කාවන්තිස්ස කියන එක ඉතා නිවැරදියි. රනිල් 2002 ගහපු සාම ගිවිසුම එහෙම්පිටින්ම කොටි සංවිධානයට බොරු වලක් වුනා. මතුපිටින් පමණක් හැමදේම බලන ජනතාව රනිල්ට බැන්නෙ ඊනියා සාමගිවිසුම හරහා කොටින්ට රට පාවාදුන්නා කියලා. රනිල් කපපු වලේ කොටි වැටුණා. මහින්ද කලේ ඒක පස් දාලා වහපු එක. ඉතිහාසයේ හැම සිදුවීමකම මතුපිට අරුතට වඩා ගැඹුරු අරුතක් තියෙනවා. අන්න ඒක මතු කර ගන්න අපි බුද්ධිමත් විය යුතුයි. ඉතිහාසය මතුපිටින් බැලුවොත් දුටුගැමුණු මහා වීරයෙක්. කාවන්තිස්ස යුද්දෙට බය වෙච්ච බිය ගුල්ලෙක්' බාර් මෑන්ගෙ පැහැදිලි කිරීම දොස්තර හෙල කුමාර සාවදානව අහන් හිටියා.

ඔන්න ඔය වෙලාවෙ තමයි ජර්මනියෙ රංජන් අයියා ‘ගෝල්ෆේස් පිටියේ මහින්දාගමනය' ගැන තමන්ගෙ අදහස් පළකලේ.
‘ අපි කියමුකො මෙතන සෙනග ලක්ෂයක් ඉන්නවා කියල. ඔතනින් මහින්දවාදීන් ඉන්නෙ දහ දාහයි. මහින්දට අන්නවන්න ගෝල්ෆේස් පිට්ටනිය දෙන්න කියල නියෝග කලේ ජනාධිපතිතුමා. අන්තිමට ඇන ගත්තෙ එතුමමයි. ඉතුරු අනූ දාහම ගෝල්ෆේස් යැව්වෙ සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව. ඔතන තියෙන්නෙ ආණ්ඩු විරෝධය මිසක් මහින්දගේ ආකර්ශණය නෙමෙයි. පහුගිය අවුරුදු දෙකටම යහපාලන ආණ්ඩුව හොරු අල්ල අල්ල හිටියා මිසක් රටේ ජනතාවට දැනෙන දෙයක් කලේ නැහැ. අන්තිමට අල්ලපු හොරෙකුත් නෑ. කරපු මගුලකුත් නෑ. අඩුගානෙ මේ සෙනග දැකල හරි බයවෙලා හරි හමන් දෙයක් නොකොලොත් ලබන අවුරුද්දෙ මැයි පලවෙනිදා වෙනකොට මහින්දගෙ හොර නඩේට රට භාරදීලා ගෙදර යන්න පුළුවන්'

‘ගෝල්ෆේස් එකේ මේ රැස්වුණු සෙනග තමයි ශ්‍රී ලංකාවත් ජනප්‍රියවාදයට නතුවීම පිළිබඳ හොඳම සාක්ෂිය. ඉතිහාසය පුරාම ශ්‍රී ලංකාව ලිබරල් චින්තනයක් සහිත රටක්. ශ්‍රී ලංකාව ලිබරල් චින්තනය ඉගෙන ගත්තේ ලංකාවට බුදුදහම ගෙනාපු මහින්ද මහරහතන් වහන්සේගෙන්. ලෝකෙ ඉන්න පැරණිම ලිබරල් චින්තකයා හොදම ජාත්‍යන්තරවාදියා බුදුහාමුදුරුවො. උන් වහන්සේ ඒක ක්‍රියාවෙන් ඔප්පු කළ මහා පුරුෂයෙක්. ජෙරමි බෙන්තම්ලා, ජෝන් ලෝක්ලා, ස්ටුවර්ට් මිල්ලා ඊයෙ පෙරේදා කට්ටිය. ෆැන්සිස් ෆුකුයාමාලත් එහෙමයි' කියමින් කතාවට ඈදුනේ පසන් ජයතිලක සහෝදරයා.

පබ් එකේ කට්ටිය ඔය වගේ විවිධ දේ කතාකරමින් ඉන්න අතරතුර තමයි ලංකාවෙ අපේ දෙමළ සහෝදරවරු කීප දෙනෙක් ලන්ඩන් පබ් එකට ගොඩ වුනේ. ඔවුන්ගෙ අතේ මැයි 18 වෙනිදා මළවුන් සැමරීමේ අටවෙනි සංවත්සරය පිළිබඳ අත්පත්‍රිකා තිබුණා. ඔවුන් ඒවා පබ් එකේ කවුන්ටරය මත තිබ්බෙ පබ් එකට යන එන ඕන කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට. ඒක දැකපු දොස්තර හෙලකුමාරයි ගාල්ලෙ අමරෙ අයියායි හෙමින්ම වෙනත් පැත්තකට ගියා. දමිළ සහෝදරයන්ගෙන් කෙනෙක් වන තංගා කවුන්ටරය ලගට ඇවිල්ලා බාර් මෑන්ට අතට අත දුන්නා. ඒක දැකපු රංජන් අය්යයි පසන් ජයතිලකයි කවුන්ටරේ අසළට ඇවිත් අත්පත්‍රිකා දෙකක් අරන් කියවන්න පටන් ගත්තා. අත්පත්‍රිකාවෙ එක පැත්තක් දෙමළ භාෂාවෙනුත් අනෙක් පැත්ත ඉංග්‍රීසි භාෂාවෙනුත් මුද්‍රණය කර තිබුණා.

ජර්මනියේ බර්ලින්වල ජීවත්වෙන රංජන් අය්යාගෙ මව් භාෂාව සිංහල. මේ වෙනකොට අවුරුදු 30 ක් විතර ජර්මනියෙ ජීවත්වෙලා ජර්මන් භාෂාවත් ලියන්න කියන්න ඔහුට හොදට පුළුවන්. ඉංග්‍රීසි භාෂාව ගැන ඔහුට තියෙන්නෙ මූලික අවබෝධයක් විතරයි. අත්පත්‍රිකාව අතට ගත්ත රංජන් අය්යා දෙපැත්ත බලලා නැවතත් ඒක තිබ්බ විදහටම තිබ්බා. ඒක දැකපු තංගා
‘ අනිත් පැත්ත ඉංග්ලිෂ්වලින් තියෙනවා' කියල කිව්වා.
‘මට ඉංග්ලිෂ් එච්චරම බෑ. මට දෙවෙනියට කතා කරන්න පුළුවන් ජර්මන්. ඉංග්‍රීසි බැරි එක මට ලැජ්ජාවක් නෙමෙයි. මට තියෙන ලොකුම ලැජ්ජාව තමයි මට දෙමළ බැරි එක. අඩු ගානෙ ඕගොල්ලො කැඩිච්ච සිංහලනේ හරි අපිත් එක්ක කතා කරනවා. අපිට එහෙමවත් බෑ. සංහිදියාව කියන්නෙ එකෙක් අනිකාව තේරුම් ගැනීම. ඔගොල්ලො ලග තියෙන සංහිදියාව අපි ලග නෑ. අපි ලග තියෙන්නෙ බොදු බල සේනාවෙ ඤාණසාරගෙ සංහිදියාව. උඹලා අපි කියන විදිහට ඉන්ඩ ඕනෙ. ඒක තමයි බොදු බල සේනා සංහිදියාව. ඒ සංහිදියාවෙ අවසානය තමයි ආයිත් මරා ගැනීම' රංජන් අයියාගේ වචන තේරුම් ගත්ත තංගා දෑතින්ම ඔහුගේ අත තදකර අල්ලා ගත්තා.

අන්තිමට බාර් මෑන් කට හඬ අවදි කළා.

‘තංගලා දෙමළ විදිහට හිතනකම් අපි සිංහල විදිහට හිතනකම් මොහොමඩ්ලා මුස්ලිම් විදිහට හිතනකම් මේ ප්‍රශ්නෙ විසදෙන්නෑ. අපි හැමෝම මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් ශ්‍රී ලංකන්ස්ලා විදිහට හිතන්න ඕනෙ. ඒක තේරුම් ගන්න මේ වගුරපු ලේ කන්දරාව ඇති. ශ්‍රී ලංකාවෙ කවද හරි දෙමළ කෙනෙක්ට රටේ නායකයා වීමට හැකි වාතාවරණයක් ඇති විය යුතුයි. මුස්ලිම් කෙනෙක්ට රටේ නායකයා වීමට හැකි පසුබිමක් ඇති විය යුතුයි. අපි හැමෝම බුදුන් වදාළ ධර්මය හරියට ගුරු කොට ගන්නව නම් ඒක අමාරු කාරියක් නෙමෙයි. බුදුන් කිව්වෙ ලොව ඇත්තේ එකම එක ජාතියයි. ඒ මනුස්ස ජාතිය කියල. අන්න ඒ මනුස්ස ජාතිය ඇති වෙන්ඩ නම් ලෝකය තනි යායක් විය යුතුයි. එදාට අපි හැමෝම එකයි. තංගා පෙරුම් පුරලා දෙමළ වුනේවත් මම පෙරුම්පුරලා සිංහල වුනේවත් මොහොමඩ් පෙරුම්පුරලා මුස්ලිම් වුනේවත් නැහැ. අපි උපදින කොට ඔක්කොම එකයි. ලේබල් එක වදින්නෙ ඉපදිලා පැය කීපයක් යනකොට. අන්තිමට ඒ ලේබල් එක වෙනුවෙන් අපි ගහ මරා ගන්නවා. අවසානයේ පොලොවට පස් වෙන්නෙ උපන්න විදිහට ලේබල් නැතුව. අපි ඔය ටික තේරුම් ගත්තොත් හොදයි නේද? '

බාර් මෑන්ගෙ කතාවට හැමෝම තම වීදුරු ඉහළට ඔසවලා ‘චියර්ස් ' කිව්වා.

වෙසක් දා රෑ වෙසක් කූඩු බකට් එල්ලලා තාප්ප වැට කඩොලු රහිතව මුළු ලෝකය තනි යායක් විදිහට දැක්ක මහගමසේකර ගේ හිතේ අසිරිය ලන්ඩන්නුවර තේම්ස් ගඟ ඉහලින් දැල්වෙන වෙසක් සදේ ආලෝකයෙන් ලන්ඩන් පබ් වාසීන්ටත් දැක ගත හැකි වුනා.

ඒ වගත් මෙ‍ෙස්මැයි

සබැඳි සටහන්

'දැන්නම් අඩු රාජපක්ෂ විතරයි'

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29544,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රංශය ඔබට ස්තූතියි !! - ලන්ඩන් පබ්
ප්‍රංශය ඔබට ස්තූතියි !! - ලන්ඩන් පබ්
http://ift.tt/2qBDuC0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_950.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_950.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy