නමුත් ඊයේ වන විට අපේ කතා නායකයා වන එම්මානුවෙල් මැක්රොන්ගේ ජනාධිපතිවරණ ඡන්ද සටන හැකරුන්ගේ ප්‍රහාරයකට ලක්ව තිබේ. අද වන විට දැනගන්නට ලැබෙන්න...
එම්ලීක් නමැති හැකරා විසින්, පැස්ටෙබින් නමැති, නිර්නාමිකව ලිපි ලේඛන ෂෙයා කළ හැකි වෙබ් අඩවියක ගිගාබයිට් 9 ක අතිදැවැන්ත ඊ මේල් සම්භාරයක් මැක්රොන්ගෙන් සොරාගෙන පළ කර තිබේ. මේ පළකිරීම සිදුවන්නේ ප්‍රංශ ජනතාව තමන්ගේ නායකයා විය යුත්තේ කවුදැයි තීරණය කරන අද දිනයට දවස් එකහමාරක් තිබියදී ය.
නරකම දෙය මෙයත් නොවේ. එම්මානුවල් මැක්රෝන් සිය මධ්‍යස්ථ මැතිවරණ වේදිකාව තනාගන්නේ එන් මාචේ ව්‍යාපාරය යන නමිනි. මෙම මැතිවරණ ව්‍යාපාරය නිල නිවේදනයක් නිකුත් කරමින් මේ සිද්ධියෙන් පසුව කියා සිටියේ එසේ හැක් කළා යැයි කියමින් පළ කර තිබෙන තොරතුරු අතර සත්‍ය තොරතුරු මෙන්ම අසත්‍ය තොරතුරු ද සම්භාරයක් තිබෙන බවයි!
සාමාන්‍යයෙන් තොරතුරු 'ලීක්' කර ගැනීම සහ එසේ ලීක් වන තොරතුරු පළකිරීම සඳහා ලෝකයේ චිර ප්‍රසිද්ධියක් උසුළන්නේ විකිලීක්ස් වෙබ් අඩවියයි. ඔවුන් පවසා තිබුණේ මේ 'ලීක්වීම' තුළ අසත්‍ය තොරතුරු ද තිබේදැයි තමන් සොයාබලමින් සිටින බවයි. ඔවුන්ට පවා මේ ගැන එතරම්ම 'ෂුවර්' නැති සෙයකි!
දැනට පළ කෙරෙන අනුමානයන්ට අනුව ප්‍රංශ ජනාධිපතිවරණ සටනේ ඉදිරි පෙළ අපේක්ෂකයන් දෙදෙනා අතරින් දෙවැනි වටයේදී අද දිනයේ වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනාගනු ඇත්තේ එම්මානුවෙල් මැක්රොන් විසින් ය. ඔහු විසින් 48% ක් පමණ දිනාගනු ඇතැයි ද, මරී ලී පෙන් ගේ ඡන්ද ප්‍රතිශතය 35% ක් දක්වා පහළ බසිනු ඇතැයි ද විචාරකයන් පවසා තිබේ. ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතට අනුව මේ අනුව දෙවැනි වටයේ ජයග්‍රහණය සහ ජනාධිපති ධුරයේ වැඩි වාසිය එම්මානුවෙල් සතුවෙද්දී ප්‍රංශ ජනතාවගෙන් 17% ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ඉඩ ඇත.
එම්මානුවෙල් මැක්රොන් සහ ලී පෙන් අතර මෙයට දින කිහිපයකට පෙර උණුසුම් රූපවාහිනී විවාදයක් පැවැත්විණි. එහිදී මැක්රොන් ලී පෙන්ට කළ එක් ප්‍රධාන චෝදනාවක් වූයේ 'ෆේක් නිව්ස්' හෙවත් ව්‍යාජ ප්රවෘත්ති ය. ඇය ව්‍යාජ පුවත් මවන්නියක බවට මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ එල්ල වූ චෝදනා රැසකි. ඉතින් එය පුදුම වන්නට දෙයක්ද? අන්වර්ථ නාමය අනුව ඇය ට්‍රම්ප්ගේ නංගී ය!!
මේ අතර, ජපන් පරිගණක විශේෂඥයන් පිරිසකට අනුව මේ මධ්‍යස්ථ මතධාරී තරුණ දේශපාලනඥයා ගොදුරු වී තිබෙන්නේ රුසියානු හැකර් ප්‍රහාරයකට ය.!!! මේ පුවතේ නිලය අල්ලාගත යුත්තේ මෙතැනිනි. මදක් ආපස්සට සිතා බලමු. මරීන ලු පෙන් යනු, ඇමරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙමින් තිබියදී අලුයම නිදි වරා ප්‍රතිඵල නැරඹූ තැනැත්තියයි. ඩොනල්ඞ් ට්‍රම්ප් මැතිවරණ විද්‍යාල ක්‍රමයෙන් දිනාගෙන එන බව හැඟුණු විට ''දක්ෂිණාංශික යුරෝපයට අරුණෝදය උදා වෙමින් තිබේ'' යනුවෙන් සාහසික ට්විටර් සටහනක් තැබූ තැනැත්තියයි. එපමණක් නොව ට්‍රම්පා දිනූ පසු ඔහුගේ රත්තරන් එලිවේටරය සහිත ට්‍රම්ප් ටවරයට පියඹා ගොස් සිපාචාර පවත්වා සුබ පැතූ දක්ෂිණාංශික ගැහැනියයි. ප්‍රංශ ජනපති සටනේ මැක්රෝන්ගේ ප්රබලතම තරගකාරියයි.
අනෙක් පසින් ට්‍රම්ප්ට ජනාධිපතිවරණයේදී කරට කර තරගයක් දෙමින් සිටි ගැහැනිය වූ හිලරි ක්ලින්ටන් හට අත්වූ ඉරණම බලමු. අවසාන මොහොත වන තෙක්ම ඇය පැරදෙන බවක් බොහෝ අය සිතුවේ නැත. එසේම සාපේක්ෂතාවාදය අනුව සහ ට්‍රම්පා කියමින් සිටි ෆැසිස්ට්වාදී නරුම කතා ගොන්න අතර මධ්‍යස්ථ ඇමරිකානුවාට හිලරි හැර වෙනත් විසඳුමක් හෝ විකල්පයක් තිබුණේ ද නැත. නමුත් අවසාන මොහොතේ කුමන හෝ දේවල් සම්භාරයක් සිදුවිය. එසේ සිදුවූ එක් ප්‍රධානතම දෙයක් වූයේ හිලරිගේ ඊමේල් ගිණුම හැක් කිරීමයි. ඇගේ පරණ කිල්ලෝටයක හුණු රැසක් ඇති බව එයින් කියැවිණි. පරම අරමුණ වී තිබුණේ ඇගේ ජනප්‍රියත්වය අවසන් මොහොතේ විනාශ කර ඇගේ ඡන්ද පදනම බිඳදැමීමයි. අවසානයේ හිලරි නොසිතූ විරූ ලෙස පැරදී 'රට පිස්සෙකුට' ගියේය. තමන්ගේ පරාජයට එෆ්බීඅයි ප්‍රධානී කොමී සහ ඊමේල් හැක් කිරීම බෙහෙවින් බලපෑ බව හිලරි මෙයට දින දෙකකට පෙර ද කියා තිබේ. මෙයට සමාන්තරව මෙකී හැක් කිරීමට සහ ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරයට රුසියාව විසින් අසමාන සහයෝගයක් ලබාදුන් බව දනන් තුඩ තුඩ රැව්දෙන්නට පටන් ගත්තේය!! රුසියාවේ පුටින් ට්‍රම්ප්ගේ මැතිවරණ වේදිකාව මත 'එළිපිට මිතුරා' විය. ඔහු රුසියාව තමන්ගේ මිතුරෙකු බව ප්‍රසිද්ධියේ පවසා තිබුණේ වරක් දෙවරක් නොවේ. දැන් එම්මානුවෙල් මැක්රොන්ගේ ඊමේල් ගිණුම් ද හැක් කර තිබෙන්නේ රුසියාව විසින්මලු. ඉතින්, ට්‍රම්ප්- මරී ලුපෙන් වැනි අන්තවාදී සන්ධාන වලට රුසියාවේ හැකරුන් උත්ප්‍රේරක සපයන බවට තවත් පැහැදිලිකිරීම් අවශ්‍යද?
මහත්වරුනි, මේ ලෝකයේ අලුතෙන්ම සිද්ධ වෙන දේවල් තිබෙන්නේ ඉතා අඩුවෙනි. බොහෝ දේවල් සිදුවී අවසන්ව ඇති අතර, අලුතෙන් සිද්ධ වෙනවා යැයි කියන බොහෝ දේවල් ද පරණ දේවල්ම ය. සමහරවිට ඒ බව වටහාගැනීමට පමණක් කාලයක් ගත වෙයි. එම්මානුවෙල් මැක්රොන්, මරීනගේ ආනුභාවය නිසා රුසියානු බලපෑමකට හසුවීද? අපි බලා සිටිමු.
-ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS