මෙසේ “රටේ ජනප්‍රිය ඡන්දයෙන්” පැරදුණු ඩොනල්ඞ් ට්‍රම්ප් හට “ගෙදර ජනප්‍රිය ඡන්දයත්’ අහිමි වී ඇති බවට ලකුණු පසුගිය දෙසතිය තුළම දක්නට ලැබුණේය....
මෙසේ “රටේ ජනප්‍රිය ඡන්දයෙන්” පැරදුණු ඩොනල්ඞ් ට්‍රම්ප් හට “ගෙදර ජනප්‍රිය ඡන්දයත්’ අහිමි වී ඇති බවට ලකුණු පසුගිය දෙසතිය තුළම දක්නට ලැබුණේය. ඒ, මහත් සද්දයක් දමමින් සිදුකළ මැදපෙරදිග සංචාරයේදී ට්‍රම්ප් විසින් ඔහුගේ බිරිඳ වන මලානියා ට්‍රම්ප්ගේ අත ස්පර්ශ කරන්නට හෝ ඇයව අතින් අල්ලාගන්නට තැත්කළ අවස්ථා දෙකකදීම ඇය විසින් ඉතාම පැහැදිලිව ට්‍රම්ප්ගේ අත ගසා දැමූ නිසාය!
මෙය කොතරම් දුරට ලොව කැළඹුවේදැයි කියනවා නම් අවසානයේ මැයි 25 වැනිදා මලානියා සහ ට්‍රම්ප් සිසිලි දූපතේදී එකිනෙකාගේ අත් ස්පර්ශවන සේ සිටින විට වොෂින්ටන් පෝස්ට් ඇතුලු ප්‍රධාන පෙළේ මාධ්‍යවලට,“අවසානයේ මලානියා, ට්‍රම්ප්ට අතින් අල්ලන්නට ඉඩ දෙයි” යනාදී වශයෙන් 'බේ්‍රකින් නිව්ස්'' ස්වරූපයේ පුවත් පවා ප්‍රකාශයට පත් කරන්නට සිද්ධ වුණේය!!
මේ අතර අතිඋතුම් පාප් වහන්සේ දැක බලාගැනීමට වතිකානයට පැමිණ සිටි ඩොනල්ඞ් ට්‍රම්ප් එහිදී පාප් වහන්සේගේ ද අතින් අල්ලන්නට තැත් කළ බවත්, ඒ අසමසම මොහොත, සීඑන්එන් පුවත්සේවයේ කැමරා ශිල්පියා විසින් කලින්ම බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් රූගත කර තිබෙන බවටත් සාක්ෂි අන්තර්ජාලය සිසාරා දක්නට ලැබුණේය. ට්‍රම්ප්ගේ නිර්දය විවෙච්නයට නිතර ලක්වන මාධ්‍යයක් වශයෙන් සීඑන්එන් පුවත්සේවය 'සතාගේ හැටි දන්නා නිසා'', ඔහු විසින් කැමරාව ඒ දෙසටම මානාගෙන, එපමණකින් නොනැවතී සූම් කරගෙන ද සිටියා වන්නට පුළුවන් බවත් ඒ සමහර පුවතකින් කියැවුණේය. ඇත්තෙන්ම සමාජ ජාල වෙබ් අඩවිවල ගින්දර මෙන් පැතිරුණු ඒ වීඩියෝවේ සටහන් වූ දේ කෙසේද යත්, ට්‍රම්ප්ගේ සුරත විසින් අති උතුම් පාප් වහන්සේගේ වමත පහුරු ගාන්නා සේ මුලින්ම පෙනේ. නාට්‍යය මෙතැනින් හමාර නැත. එසේ අති උතුම් පාප්වහන්සේගේ වමතට සිය සුළැඟිල්ලෙන් අවිනීත සහ ගරු සරු නැති ලීලාවෙන් තට්ටු කරන ට්‍රම්ප්,එතෙකින් නොනැවතී තම සුරත උන්වහන්සේගේ වමත තුළට රිංගවන්නටද හදයි!!
මේ අවිනීත හැසිරීමෙන් මහත් අපහසුතාවට පත්වන පාප් වහන්සේ, ගින්නකට ළං වූ විට අත ඉවතට ඇද ගන්නා සේ ප්‍රතීක ක්‍රියාවක් දක්වමින්, එසැණින් තම අත ඉවත් කර ගනිති. එසේ ඉවත් කරගැනීමේදී ඒ වමත විසින් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සුරත ගසා දමන බව ත් පාප් වහන්සේ අප්‍රසාදය පිරුණු මුහුණක් දක්වමින් මදක් පසෙකට වන ආකාරයත් පැහැදිලිව පෙනේ. අවස්ථාවේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සලකා බලමින් පාප් වහන්සේ විසින් ඉතාම අපහසුවෙන් මුවින් නොබැණ මේ තත්වය ඉවසා දරාගෙන සිටින සෙයකි.
නමුත් මේ වීඩියෝව අනුව ට්‍රම්ප්ට ගානක් නැත. කෙටියෙන් කියනවා නම් ලැජ්ජාවක් කියා නාමයක්වත් නැත. එනිසා ඔහු කිසිත් නොදන්නා පඹයෙක් සේ තවදුරටත් පාප් වහන්සේ සමීපයේම සිය හැඟීම් විරහිත මුහුණේ ඒකාකාර සිනාවක් මවාගෙන සිටියේය. මාධ්‍යය ෆොටෝ ගසන තෙක් මුහුණ අල්ලාගෙන සිටියේය.
නමුත් මේ වීඩියෝව සත්‍ය එකක්ද? නැතිනම් බොරුවක්ද...? බැලූ බැල්මට එහි කිසිදු බොරුවක් නැති සේ පෙනේ. රූපරාමුවල පහළ කෙළවරේ සීඑන්එන් පුවත්සේවයේ ලාංඡනය ඉතාම පැහැදිලිව දක්නට ලැබීම නිසා ඒ බව තවත් තහවුරු වුණේය. නමුත් සීඑන්එන් පුවත්සේවයේ නිල වෙබ් අඩවියේ කිසිදු විටෙක ප්‍රවෘත්ති ස්වරූපයෙන් මේ වීඩියෝව පළ වන්නේ නැත. සැකය උපදින්නේ එතැනිනි.
ඇත්තෙන්ම මේ ෆේක් වීඩියෝව සහ සීඑන්එන් පුවත්සේවය අතර ලොකු සම්බන්ධයක් තිබේ. මැයි 24 වැනිදා සමාජ ජාල කැළඹූ මේ වීඩියෝව ජීමී කිමෙල් නමැති අතිශය ජනප්‍රිය සහ ප්‍රසිද්ධ ප්‍රහසන ශිල්පියා විසින් සිය රූපවාහිනී වැඩසටහනේදී විකාශය කරන්නට කල් තබාම එඩිට් කරගෙන සිටි එකකි. තවද එයටම නොදෙවෙනිව ‘ද ටුනයිට් ෂෝ’ ඉදිරිපත් කරන ජිමී ෆැලොන් විසින් ද මේ දේශපාලන ප්‍රහසනය මගින් සිය වැඩසටහනට කුළුබඩු එක්කරගෙන තිබිණි.
දැන් ඔබ මේ වීඩියෝව දෙස ඉතා විමසිල්ලෙන් බැලුවහොත් එය ෆේක් එකක් බවට හඳුනාගත හැකි ඉතා සියුම් සාධක දැකගත හැකිය. ඒ සඳහා ඉඟි කිහිපයක් මෙන්න.
-වීඩියෝවේ පුළුල් දර්ශනයේදී පාප් වහන්සේගේ ඇඳුමේ අත, එතුමාගේ ඇඟිලි ආවරණය වන තරමටම දිගු ය. නමුත් අත ගසා දමන අවස්ථාවේ ඇඳුමේ අත එතරම් දිගු නැත.
-ට්‍රම්ප්ගේ කබායේ අත ද එසේ ය. පුළුල් දර්ශනයේදී එය ඔහුගේ අත් දිග කමිසය සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ පිහිටයි. නමුත් සමීප දසුනේදී ට්‍රම්ප්ගේ කමිස අත ද පැහැදිලිව පෙනේ.
‘ජිමී කිමෙල් ලයිව්’ වැඩසටහනේදී ප්‍රහසන ශිල්පී ජිමී කිමෙල් පැහැදිලිවම කියා තිබෙන්නේ තමන් මේ වීඩියෝ ක්ලිපය ඉදිරිපත් කරන්නේ හුදෙක්ම හාස්‍ය රසය සඳහා බවයි. එසේ තිබියදීත් සමාජ ජාල ඇතුලු අන්තර්ජාල ලෝකය මෙය ඉතා කැමැත්තෙන්ම ‘සිීරියස්’ ලෙස ගණන් ගැනීමෙන්ම පෙනී යන්නේ, එය එසේ වුවත්පුදුම වෙන්නට දෙයක් නැති බව නොවේද? තවද එය එසේ වන්නේ ට්‍රම්ප්ව පාප්වහන්සේ තබා ගෙදර බිරිඳවත් ගණන් නොගන්නා බව දැන් ලෝකයම දන්නා නිසා ය. එක් සමාජ ජාල ක්‍රියාකාරිකයෙක් පාප් වහන්සේගේ අතින් අල්ලන්නට යන ට්‍රම්ප්ව දැක්වෙන මේ වීඩියෝව ගැන කියා තිබුණේ මේ වනාහී ඒ කතාව ඔහුගේ ''අතින්ම’ සනාථ වීමක් ලෙස ය!!
ක්‍රිෂාන්ති රාජපක්ෂ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=Q8AQler0Dq0[/youtube]
COMMENTS