පසු කළෙක මේ ආකාරයෙන් ලෙමන් පෆ් විස්කෝතුවක් තම ජීවිතය යලිත් වරක් ගලවා දෙනු ඇති බව හෝ තමා අනාගතයේ සීරියල් මාරාන්තික උපවාස කාරයෙක් වන බව ව...
පසු කළෙක මේ ආකාරයෙන් ලෙමන් පෆ් විස්කෝතුවක් තම ජීවිතය යලිත් වරක් ගලවා දෙනු ඇති බව හෝ තමා අනාගතයේ සීරියල් මාරාන්තික උපවාස කාරයෙක් වන බව විප්ලවවාදී තරුණ නායකයා තබා ඔහුගේ කමීසය වත් දැන නොසිටියා නිසැකය.......
එදා වැටේ කමීසය තියා ආ අපේ ගම්ලත් සහෝදරයා අද හැඳින්වෙන්නේ සදාදර විමල් වීරවංශ උතුමා ලෙසිනි. ඔහුට වෙඩි තැබුවෝ නම් විශේෂ කාර්ය සාධක බලකායේ - STF රණ විරුවෝ වම්හ. මේ රණ විරු හමුදාව බිහි කළෝ නම් අන් කිසිවෙක් නොව පහුගියදා පරලෝ සැපත්, මරණ පොලේ මාජ්ජ කතා අනුව බලද්දී බෝසත් ළමා ලපැටියෙක් වන රවී ජයවර්ධනයෝ වන්නේය.
පසු ගියදා අප රට බිහි වූ මහා සිනමාකරු වසන්ත ඔබේසේකරයෝ අප හැර ගියහ. එතුමෝ වෙත පකට පුඟුලා ගේ ප්‍රණාමය පුද කරන අතරවාරයේ මියගිය සැබෑ මහා කළාකරු නම් වෙනත් කිසිවකු නොව රවී ජයවර්ධන බව නොකියා නොහැකිය.
අලාජ්ජී ජඩ පත්තර කාරයන් ‘සරල දිවියක් ගත කළ නිහතමානී ජනපති පැටියා’ ලෙස හඳුන්වන රවී, ශ්‍රී ලංකාව තුල අළුත් කළාවක් බිහි කළ මහා කළා කරුවෙකි. ඝාතක කල්ලි, පැහැරගෙන යාම්, රාජ්‍ය ත්‍රස්තවාදය, වධ කඳවුරු බිහි කිරීමට මුල් වෙමින්, රාජ්‍ය අනුග්‍රහයෙන් මිනී මැරීමේ කළාව නව ආරකට හඳුන්වා දුන් පුරෝගාමී කළා කරු ඔහුය.
ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව කැරැල්ල මෙහෙයුවේ රටින් කොටසක් ඉල්ලා නොව, මුළු රටේ බලය අල්ලා ගැනීමටය. ඒත් විජේවීර ඝාතනය කළ දා (රටෙන් කෑල්ලක් ඉල්ලා කැරළි ගැසු ප්‍රභාකරන් මරා දැමූ දා මෙන්) රට පුරා රතිඤ්ඤා පුපුරවමින් දහස් ගණන් ජනතාව වීදි දිගේ කිරිබත් කෑවේ නැත්තේ ඇයි? උතුරේ දමිළ ජනතාවට මෙන්ම දකුණේ සිංහලයාටත් තමන්ගේ එවුන් මරා ලද ජය සමරන්නට නොහැකි වීම පුදුමයක් නොවේ. ඒත් රජයේ හමුදා රණ විරුවන් මෙහෙයවූ ආරක්ෂක උපදේශක වරුනට මේ කොයි එකාත් එකය.
ලෙමන් පෆ් කන්නන් ගේ සහෝදර සටන් කරුවන්ගේ වෘෂණ කෝෂ ලාච්චුවට දැම්මේ, අනෙකුත් ඉන්ද්‍රියයනට විදුලි සැර දුන්නේ, ඔළුවට පරාල ඇණ ගැසුවේ, මහාචාර්ය සරත්චන්ද්‍ර යන් කාණුවේ දමාගෙන එතුමනට ගුටි ලබාදුන්නේ සරල ජීවිතයක් ගතකළ නිහතමානී රවී ආරක්ෂක උපදේශක ලෙස කටයතු කොරමින් සිටි ධර්මිෂ්ඨ රාජ්‍යයේ දීය.
අසූචි, උණු තාර වැනි මෙකී නොකී දේ අඩංගු බැරල් බෝම්බ උතුරේ ජනතාව වෙත පතිත වුණේත් රන්ජන් විජේරත්න හා රවී උපදෙස් හා නායකත්වය ලබා දුන් කාලයේදී බව අපේ හුරේ මාධ්‍ය කල්ලියට අමතකය. ඩඩ්ලි සේනානායක අභාවයෙන් පසු දැදිගම අසුනට අපේක්ෂකයකු තෝරා ගැනීම පිළිබඳ කථිකාවකට වෝර්ඩ් පෙදෙසේ ජයවර්ධන නිවෙසට ආ ගිහි පැවිදි පිරිසට බයිසිකල් චේන් සහ යකඩ පොලු වලින් පහරදෙමින් රාජ්‍ය අනුග්‍රාහය සහිත මැරයෝ බෞතීස්මය ලැබුවේත් එකලය.
යලිත් වරක් මාරන්තිකවී ආත්ම ගරුත්වය කිරිපල්ලෙන් බේරෙන විමල් වීරවංශ සහෝදරයා ගේ දේශපාලන ජීවිතය අවසන් ගමන් යාමත්, මහා සිනාමාකරු ඔබේසේකරයන් අප හැර යාම සහ රවී ජයවර්ධන බෝ - සතා දිවංගත වීමත් පසුගියදා සිදුවූ මරණ තුනයි.
වසන්ත ඔබේසේකර ප්‍රංශයේ සිනමා ආයතනයේ අධ්‍යක්ෂණය, තිර රචනය, කැමරාකරණය, සංස්කරණය හැදෑරූ අතර ඊශ්‍රායලයට ගිය රවී, රාජ්‍ය ත්‍රස්තවාදයේ මුදුන් මල්කඩ බඳු ෂින් බෙට් ආයතනයේ උස්සා පිළිස්සීම, වධ හිංසා දී නොමරා මැරීම, කුඩා ඝාතන කණ්ඩායම් පිහිටුවීම, වධකාගාර වල අරුමය, ද්‍රෝහීන් ගෝනි බිල්ලන් බිලී බා ගැනීම ආදිය හදාරා පෙරලා පැමිණියේය.
The art of war ලෙස ඉංග්‍රීසියට පරිවර්තිත ‘යුධ කළාව’ පස් වැනි සියවසේදී රචනා කළ ට්සුන් සු නම් චීන සෙන්පතියා, “යුධ කළාව ප්‍රගුණ කිරීම රාජ්‍යයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යය, එය ජීවිතයත් මරණයත්, පැවැත්ම සහ විනාශය අතරත්, තීන්දුව ලබා දෙන තීරකය බවට පත් වන්නේය” යන්න ප්‍රකාශ කර සිටියේය. ට්සුන් සූ ට අනුව මේ කළාව ප්‍රගුණ කළ රවී මහා කළා කරුවෙකි.
තරුණ විමලයා අඩු තරමින් උතුරේ උපවාසයෙන් මියගිය තිලීපන් දෙස හෝ බලා හරියට කොරන හැටි උගෙන නොගත්තේ අපේම අවාසනාවටය. මහත්මා ගාන්ධි මාරාන්තික උපවාස කරද්දී එවක ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ප්‍රතිරාජ ලින්ලිත්ගොව් ආදිපාද වරයා ලන්ඩනයට යැවු පණිවුඩයක කියවුනේ “ගාන්ධිට සාගින්නේ මියයාමට ඉඩහැර සිටිය යුතු”, බවයි.
එර්නෙස්ටෝ චේ ගෙවාරා ලියූ Gurrilla Warfare ගරිල්ලා සටනට අත් පොත මුල සිට අගට කියවා බැලුවත් මාරාන්තික උපවාස අවසන් කරන්නාවූ ක්‍රම සොයාගන්නට පකට පුඟුලාට නොහැකි විය. “ඉක්මනින් ස්ථාන මාරු කරමින් පහර දීමේ සහ පලා යාමේ සැහැල්ලුවක් හා ජංගම වීමේ හැකියාවක් ගරිල්ලා සටන්කාමීන් හට තිබිය යුතු බව” චේ ගේ පොතේ සඳහන් වේ. අපේ සහෝදරයා පලා යද්දී සැහැල්ලුවට කමීසය කටු කම්බි වැටේ දමා ගියේ මේ අනුවදැයි කුකුසක් ඇති නොවන්නේ නොවේ. එදා දුවන්නට පටන් ගත් උපවාස විමලේ දුවලා දුවලා ගිහිං නැවතුනේ රාජපක්ෂගේ පරිවාසයේ ය. මේ බල්ටි, චේ ගේ පොතේ පමණක් නොව හිතේ වත් නොතිබුණු ඒවාය.
ප්‍රංශයෙන් ආ වසන්ත ‘වෙස්ගත්තෝ’ නිර්මාණය කළ අතර ඊශ්‍රායලය පලස්තීන ජාතිකයනට සලකන අන්දම හැදෑරූ රවී බිහි කළේ ‘විශේෂ කාර්ය බලකාය’යි. මේ ආරක්ෂක හමුදා ‘කොළ කොටි’ ‘බ්ලැක් පැන්තර්’ ආදී ඝාතක කණ්ඩායම් ලෙස නොයෙක් වෙස් ගත්තෝය.
එදා කඹුරුපිටියේදී ඉලක්කයට වෙඩි තියා මාරාන්තික උපවාස රැල්ලෙන් රට බේරාගන්නට තිබූ අවස්ථාව පැහැර හැරියේද මේ රණ විරු පිරිසමය.
අපේ දේශ මාමක පත්‍ර මිත්‍ර ජනතාවට දිවංගත රවී ජයවර්ධන නිවන් ම නොයා වෙන දිහා වක යාමට ඉඩ ඇති බව මතක් කිරීමෙන් යම් සිත් තැවුලක් වී නම් පකට පුඟුලා ඒ ගැන කණගාටුව පළ කර සිටින්නමු.
මින් පසු මිය ගිය ජාතික වීරයන් පිළිබඳ ලියද්දී අඩු ගණනේ ඔවුනගේ වැසිකිලියේ වාසය කරන නිළ මැස්සා ගෙන් වත් හරි හැටි විස්තර ලබා ගැනීමට යුහුසුළු විය යුතු බව පකට පුඟුලා ගේ අවවාදයයි.
COMMENTS