මෙම සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් එම මීයන් ජනාවාසය අතහැර පලා ගොස් අවට තිබෙන ආයතන සහ නිවාසවලට රිංගා ගැනීමේ අවදානමක් උද්ගතව ඇත. මෙම මීයන් ගහ...
මෙම සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් එම මීයන් ජනාවාසය අතහැර පලා ගොස් අවට තිබෙන ආයතන සහ නිවාසවලට රිංගා ගැනීමේ අවදානමක් උද්ගතව ඇත. මෙම මීයන් ගහනය තක්සේරු කර ඇති ප්‍රමාණයට වඩා ඉතා වැඩි බැවින් ඉක්මන් පියවර නොගතහොත් එම ආයතන, පාසල් සහ නිවාසවලට මීයන්ගෙන් දැඩි තර්ජන එල්ල විය හැකි බවට නාගරික සංවර්ධන පිළිබඳ විශේෂඥයෝ අනතුරු අඟවා ඇත. ඊට අමතරව මීයන්ගෙන් බෝ වන රෝග වන මී උණ සහ මහාමාරිය යන රෝග පැතිරීම හේතුවෙන් වසංගත රෝග තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ද පවතියි.
මීයා යනු ඕනෑම පරිසරයකට ඔරොත්තු දෙන සේ වෙනස් වීමට සමත් සත්වයෙකි. මී ගැහැනු සතෙකුට වර්ෂ තුනක් තුළ දී දසලක්ෂයක පමණ පරපුරක් බිහි කළ හැකි බව වාර්තා වේ. යම් ප්‍රදේශයක මෙසේ බිහි වන මී පරපුරෙන් 95%ක් විනාශ කළ ද වර්ෂයක් තුළ දී එය පළමු තත්ත්වයට වර්ධනය වේ.
අප කළ විමසීමක දී කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසුවේ තර්ජනයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය මී නාශක සහ ඖෂධ කොළඹ නගර සභාව සතුව පවතින බවයි. ඊට අමතරව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ දැනටත් මී මර්දන කටයුතු සිදු කරමින් තිබෙන අතරම එවැනි තර්ජනයක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, කෘමි මර්දන අංශය ඇතුළු කාර්යමණ්ඩලයක් කොළඹ නගර සභාව සතුව පවතින බවයි.
මීට පෙර බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව යන රටවල් කිහිපයකටම මීයන්ගෙන් තර්ජන එල්ල වූ පුවත් අසන්නට දකින්නට ලැබුණි. බංග්ලාදේශයේ චිංගොං කඳු ආශ්‍රිත ප්‍රදේශවල දිගුකාලීන සාගතයක් සහ වසංගත තත්ත්වයක් පවා ඇති විය. එම අවස්ථාවල දී මී ගහනය පාලනය කිරීම සඳහා අතිවිශාල ශ්‍රමයක් සහ පිරිවැයක් දරන්නට සිදු වූ බව ද වාර්තා විය.
සිතාරා කුලරත්න - සත්හඬ
COMMENTS