ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රජාව සහ නීති ප්‍රජාව, දහඅට වසරක් මුලුල්ලේ ගෙන ගිය අනවරත අරගලයක කූටප්‍රාප්තිය 2017 පෙබරවාරි 04 වැනිදා සටහන් වුණේ...
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රජාව සහ නීති ප්‍රජාව, දහඅට වසරක් මුලුල්ලේ ගෙන ගිය අනවරත අරගලයක කූටප්‍රාප්තිය 2017 පෙබරවාරි 04 වැනිදා සටහන් වුණේ ලෝකයේ හොඳම තොරතුරු නීතියක් ලංකාව තුළ ජනගත වෙමිනි. නමුත් එය ලංකාවේ දකුණට දැනිය යුතුව තිබූ ලෙසින් දැනුණාද සහ, එසේ නොවීමට බලපෑ ගැටලු මොනවාද යන්න දැනට පසෙකින් තබා, ලංකාවේ සැබෑ තොරතුරු වීරවරියන් සොයා, යා යුතුම තැනකට යමු.
ඔවුන් සිටින්නේ කොළඹ නොවේ. දකුණේ ද නොවේ. මඩකලපුවේ ය. සකල ලංකාවම තොරතුරු අයිතිය සහ නිදහස එකට ඈඳාගෙන 'හේතුවක් නැතිව ආඩම්බර වෙද්දී' මේ නිර්භය ගැහැණු, පෙබරවාරි 03 වැනිදාම, මහ අව්ව සහ දුහුවිල්ල නොතකා උදේ අටහමාරේ පටන් මඩකලපුවේ පොදු අධිකාරීන් පහක් වෙත පා ගමනින් ගොස් තිබුණේ සිය තොරතුරු ඉල්ලීම් භාර දෙන්නට ය.
ඒ තොරතුරු ඉල්ලීම්වල තිබුණේ මොනවාද? ඉතා සරලව අසනවා නම් ඔවුන් තොරතුරු ඉල්ලන්නේ මොනවා ගැනද..? පිළිතුර සරල ය. යුධ සමයේ අතුරුදන් වූ ඔවුන්ගේ ඥාතීන් කෝ..? ඔවුන් අසන මූලික ප්‍රශ්නය එයයි. ඒ වටා ඇස් අරවන ආනුෂංගික ප්‍රශ්න රැසකි. ඒ කාලයේ ඒ සම්බන්ධයෙන් ඔවුන් දැමූ පොලිස් පැමිණිලිවලට සිදුවූයේ කුමක්ද? තම ස්වාමිපුරුෂයන් අසුවල් ආරක්ෂක අංශය විසින් රඳවාගෙන සිටි බවට තොරතුරු තිබෙනවාද? ඔවුන් දැන් ජීවතුන් අතරද? නැතිනම් මළවුන් අතරද? මේ ගැහැනු ලංකාවේ තිස් අවුරුදු යුද්ධයේ සාපයෙන්, කාන්තා ගෘහමූලිකයන් බවට පත්වූ අය ය. දරුවන් සමග තනි වූ දමිල සහ මුස්ලිම් කාන්තාවෝ ය. ඔවුන් ගණනින් දහතුන් දෙනෙකි. දිරියෙන් නම් මහ සෙනගකි.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මානව හිමිකම් කොමිසමේ ප්‍රාදේශීය ශාඛා කාර්යාලය, මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, මඩකලපුව බන්ධනාගාරය සහ සෙසු පොලිස් ස්ථාන වෙත ඔවුහු ගියහ.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඔවුන්ගේ තොරතුරු ඉල්ලීම් භාරගන්නට තොරතුරු නිලධාරියෙක් සිටියේ නැත. පනතේ පස්වන කොටසේ සඳහන් ''තොරතුරු නිලධාරීන් පත්කිරීම සහ තොරතුරුවලට ප්‍රවේශය ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය'' යටතේ 23(1)(අ) උපවන්තියේ සඳහන් වන්නේ සෑම පොදු අධිකාරියක්ම පනත ක්‍රියාත්මක වීමෙන් මාස 3 ක් ඇතුළත තොරතුරු නිලධාරීන් පත් කළ යුතු බවය. මේ කාන්තාවන් අදාළ පොදු අධිකාරීන් වෙත යන විට පනත ක්‍රියාත්මක වී මාස 6 ක් ඉක්ම ගොස් ඇත. යම් හෙයකින් තොරතුරු නිලධාරියෙක් නොමැති නම්, එසේ පත්කරන තෙක්, එම ආයතනයේ ප්‍රධානියා හෝ ප්‍රධාන විධායක නිලධාරියා ස්වයංක්‍රීයව තොරතුරු නිලධාරියා බවට පත්වන බව පනතේ 23(1)(ආ) වගන්තියේම දක්වා ඇති නමුත්, මේ කතුන්ගේ තොරතුරු ඉල්ලීම, තොරතුරු ඉල්ලීමක් ලෙසින් භාරගන්නට දිසාලේකම්වරයා මැලිකරන බවක් පෙනුණි. පනතේ 24(3) වගන්තිය මගින් පැහැදිලිවම දක්වන්නේ තොරතුරු ඉල්ලීම ලද බවට ලිඛිත දැනුම් දීම ඒ මොහොතේම පුරවැසියාට දැනුම් දිය යුතු බව ය. සරල බසින් පවසන්නේ නම් අදාළ කුවිතාන්සියක් හෝ රිසිට්පතක් වහාම නිකුත් කළ යුතු බව ය. නමුත් ඒ වෙනුවට සිදුවූයේ කුමක්ද?
''දවස් තුනකින් එන්න!''
තවම ඒ තුන් දින උදා වී නැති සෙයකි.
චින්න උප්පෝඩයි මාවතේ පිහිටා තිබෙන ජාතික මානව හිමිකම් කොමිසමේ මඩකලපු කලාපීය කාර්යාලයේද තොරතුරු නිලධාරියෙක් සිටියේ නැත. නමුත් මේ කාර්යාලය ප්‍රශංසනීය ලෙස හැසිරෙමින් ඔවුන්ගේ තොරතුරු ඉල්ලීම් භාරගත්තේය. නිල රිසිට්පතක් සඳහා ආකෘතිපත්‍ර නොතිබූ හෙයින් එම තොරතුරු ඉල්ලීම්වලම ඡායාපිටපත් ගෙන ඒවා අත්සන් කර භාරදුන්නේය. ප්‍රශංසනීය ය. පසුව කොළඹ ජාතික මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන කාර්යාලයෙන් මේ නිලධාරීන්ට දැනුම් දුන්නේ කොළඹ කාර්යාලයේ තොරතුරු නිලධාරීන් තිදෙනෙක් පත් කර ඇති හෙයින් එම තොරතුරු ඉල්ලීම් කොළඹට යොමුකරන ලෙසට ය.මේ ලිපිය ලියන මොහොත වන විටත් අදාළ තොරතුරු ලැබී නොමැත.
මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ගේට්ුටව අසලදී සිංහල බස කතා කරන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ දමිල කතුන්ව නතර කරන ලදී. මේ කණ්ඩායමේ සිංහල බස කතා කළ හැකි ස්ත්‍රීහු කිහිප දෙනෙක් ද වෙති. නමුත් ඔවුන් ගත් සාමූහික තීරණයක් වූයේ දමිල බසින් පමණක් පොලිස් නිලධාරීන් සමග කතා බස් කරන්නට ය. දැන් මෙය පොලිස් නිලධාරීන්ට හිසරදයකි. සියල්ලටම ප්‍රථම දමිල බස දන්නා පොලිස් නිලධාරියෙක් සොයාගැනීමට සිදු විය. දමිල බසින් පැමිණි කාරණය විස්තර කර දෙනු ලැබීය. එවිට පෙනීගියේ එම පොලිස් නිලධාරීන් තොරතුරු පනත කියා දෙයක් ගැන නොදන්නා බව ය! පිරිස අතර සිටි කාන්තාවන් දෙදෙනෙකුට ජේ්‍යෂ්ඨ නිලධාරියෙක් ගොස් හමුවන ලෙසට ඔවුහු පැවසූහ . එවිට නැවතත් මේ නිර්භය ගැහැනු, එක හඬින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. තමන් පැමිණියේ සාමූහික ලෙස තොරතුරු ඉල්ලීම් භාරදෙන්නට බවත්, එනිසා පුද්ගලිකව ගොස් නිලධාරීන් හමුවීමේ අවශ්‍යතාවක් නැති බවත් ඔවුහු විනීත ලෙසින් කියා සිටියහ. දමිල බස දත් පොලිස් නිලධාරියා පොලිස් ස්ථානය තුළට ගොස් තවත් නිලධාරියෙක් කැඳවාගෙන ආවේය. තමන් උසස් නිලධාරියෙක් බව හඟවන තරු සලකුණු ඔහුගේ නිල ඇඳුමේ විය. ඔහු ද කතා කළේ සිංහල පමණි. එම කාන්තාවන්ට තමන් දන්නා අයුරින් තමන් පැමිණි කාරණය ඔහුට පැහැදිලි කරදෙන්නට සිදුවිය. එපමණක් නොව, ඉංග්‍රීසි බසින් ලියැවුණු තොරතුරු පනත ද මේ කාන්තාවෝ නිලධාරියාට දුන්හ. ඔහු එය පිළිගත්තේය. පනත ගැන වැඩි විස්තරයක් ඔහු ද නොදන්නා බවක් පෙනුණේය. තමන් පැමිණියේ තොරතුරු නිලධාරියා හමුවීමට යැයි කාන්තාවෝ ඔහුට ඉවසිල්ලෙන් යුතුව දැනුම් දුන්හ. මේ වන විට සන්නිවේදනය සිදුවෙමින් පැවතියේ භාෂා පරිවර්තනය හරහා ය. තමන්ට කියන්නට අවශ්‍ය දෙය, තමන් පැමිණියේ කුමකට ද යන්න මේ කාන්තාවෝ වදන්වලින් පමණක් නොව සිරුරු භාෂාවෙන් ද විදහා දක්වමින්, හැකි උපරිමයෙන් විස්තර කළහ. දමිල නිලධාරියා, ඒ සියල්ල උකහා ගෙන සිය උසස් නිලධාරියාට කරුණු පහදා දෙන්නට මහත් වෑයමක් ගත්තේය. නමුත් මේ සිදුවෙමින් පවතින සිද්ධියේ ගැඹුර සහ හරය, මේ ගැහැනුන් තොරතුරු ඉල්ලමින් ආවේ තොරතුරු පනතක් අනුව සිය අයිතියක් ක්‍රියාත්මක කිරීමට බව ඔහු වටහාගැනීමට සමත් වී ද යන්න ගැටලුවකි. ජේ්‍යෂ්ඨ නිලධාරියා දමිල දත් පොලිස් නිලධාරියාට පැවසුවේ කාන්තාවන් කියමින් සිටින සියලුම දේවල් තමන්ට සිංහලට පරිවර්තනය කර දෙන ලෙසට ය. එසේම තමන් පවසන සියලුම දේ දමිල බසට පරිවර්තනය කර කියන ලෙසටත් ඔහු එම නිලධාරියාට පැවසුවේය. නමුත් අවසානයේ පෙනී ගියේ, එම ජේ්‍යෂ්ඨ නිලධාරියා ද එම ගැහැනුන්ට කුමක් කිවයුතුදැයි නොදැන වික්ෂිප්තව සිටිනා බවයි.
''දෙන්නෙක් ඇවිත් ඩී.අයි.ජී. මහත්තයට කතාකරන්න''
එම නිලධාරියා කීය.
කාන්තාවෝ නැවතත් ඉතා විනීත අයුරින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.
ජේ්‍යෂ්ඨ නිලධාරියා දෙලොවක අතරමං විය. ''හොඳයි කමක් නෑ... හැමෝම එන්න..!'' අවසානයේ ඔහු කීය.
මේ වනාහී මේ සත්‍ය කතාවේ 'බලය සහ බලධාරියා' නමැති සංකල්පය ඉදිරියටත් පසුපසටත් දෝලනය වූ තැනෙකි. විටෙක තීරණ ගැනීමේ බලය නිලධාරියා සතු විය. අවනත වීම ගැහැනුන් සතුවිය. නමුත් ඊළඟ නිමේෂයේ එය දෝලනය විය. දෙපැත්ත මාරු විය. මේ උසස් පොලිස් නිලධාරියා, අසාමාන්‍ය කෙනෙක් යැයිද, ව්‍යාතිරේඛයක් යැයි ද ඔබ යෝජනා කරන්නට ඉඩ තිබේ. නැගෙනහිර පළාතේ පොලිස් ස්ථානයක, සිංහල පමණක් දත් පොලිස් නිලධාරියෙක් මෙසේ හැසිරෙන්නේ නැතැයි තර්ක කරන්නට ද ඉඩ තිබේ. නමුත් මෙහි වැදගත් වන්නේ කාන්තාවන් විසින් 'ගේම නොඉල්ලා' පොලිස් නිලධාරීන් සමග මිත්‍රශීලී වාතාවරණයක් ඇතිකරගැනීමට සමත් වීමයි. එය තර්ජනාත්මක එකක් නොවිණි.
කාන්තාවෝ නියෝජ්‍ය පොලිස්පතිවරයා ව මුණගැසුණහ. නැවතත්, ඔහු ද සිංහල බස පමණක් දන්නා පොලිස් නිලධාරියෙකි. කෙසේ නමුත් ඔහු ඔවුන්ගේ කතාන්දරයට දමිල බස දත් පොලිස් නිලධාරියා හරහා සැලකිල්ලෙන් ඇහුම්කන් දුන්නේය. පනතේ ෆොටෝකොපියක් පවා ගත්තේය. තොරතුරු ඉල්ලීම් ද භාරගත්තේය. කුවිතාන්සි ද දමිල බසින් නිකුත් කෙරුණේය. ඔවුන් ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන බව ද පෙනෙන්නට තිබේ. ප්‍රශංසනීය ය. නමුත් ගැටලු නැතිවා ද නොවේ. ප්‍රධානතම කාර්යපටිපාටික ගැටලුව වන්නේ ඔවුන් ක්‍රියාත්මක වන්නේ පනතෙන් නියම කරන කාර්යපටිපාටිය අනුගමනය කරමින් ද යන්නයි. පෙබරවාරි 16 වැනිදා වනවිට තොරතුරු ඉල්ලීම් යොමුකළ අදාළ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් එම තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කළ ස්ත්‍රීන්ගේ ගෘහයන් වෙත යන්නට පටන් ගෙන තිබිණි. ඒ, 'පොලිස් පැමිණිල්ල' විභාග කරන ලෙසට දැනුම් දෙන්නට ය! ඒ අනුව ඇතැම් කාන්තාවන්ට, ඒ කාලයේ තමන් දැමූ පොලිස් පැමිණිලි ගැන පොලිසියට ගොස් නව කටඋත්තරය ලබාදෙන්නට සිදුවූ බවත් අපට දැනගන්නට ලැබේ. මේ සියල්ලෙන් ගෙන හැර පාන යථාර්ථය තොරතුරු ඉල්ලීමක සහ සාමාන්‍ය පොලිස් පැමිණිල්ලක් අතර වෙනස පිළිබඳ මේ නිලධාරීන් තවමත් දැනුවත් නැති බව ද? එය එසේ නම් පැහැදිලිවම මෙය අදාළ පොලිස් නිලධාරීන් පුද්ගලික වශයෙන් වගකිව යුතු ගැටලුවක් නොව, පොලිස් දෙපාර්තමේන්තුව හරහා ඔවුන්ට ලබාදී ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පුහුණුවේ හෝ අධ්‍යාපනයේ ගැටලුවක් විය යුතු බව ද මෙහිදී ලියා තබමු. මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 11 ක් තිබේ. කෙසේ නමුත් නැවතත් කිව යුතුව තිබෙන්නේ පොලිස් නිලධාරීන් සැලකිය යුතු උනන්දුවකින් යුතුව කටයුතු කළ බව ය. ඇතැම්විට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උනන්දුව ඔවුන්ට බෝවුණා වන්නට ඇත. එය එසේ නම්, එය පවා සාධනීය ය.
මඩකලපුව බන්ධනාගාරය මේ කාන්තාවන්ගේ තොරතුරු ඉල්ලීම් භාරගත්තේ නැත. එහි නිලධාරීන් පසු වී ඇත්තේ ව්‍යාකූල ස්වභාවයකිනි. අද වන විට ද ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිටින්නේ එක් තොරතුරු නිලධාරියෙක් පමණි. ඔහු ද ස්ථානගත වී සිටින්නේ කොළඹ ය. මේ අනුව ප්‍රාදේශීය බන්ධනාගාරවලට, උදාහරණයක් වශයෙන් අපේ කථානායිකාවන් ජීවත් වන ප්‍රදේශය අයත් මඩකලපුව බන්ධනාගාරයට ලැබෙන තොරතුරු අයදුම්පත් සම්බන්ධයෙන් අනුගමනය කරන්නට නියම වී තිබෙන්නේ දුරස්ථ ක්‍රියාදාමයකි.
පැහැදිලිවම පෙනී යන්නේ මඩකලපු කතුන්ගේ තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන් පනතෙන් නියම කරන ලද කාලසීමාවන් මේ වන විටත් ඉක්මගොස් තිබෙන බවයි. නමුත්මේ ඉවසිලිමත් ගැහැනු කිසිවෙකුටත් චෝදනා නොකරති. ප්‍රමාදය තවම ඉවසති.
එක්තරා අර්ථයකින් මේ වනාහී ස්වකීය දුක්ඛ දෝමනස්සයන්, තොරතුරු පනත හරහා යුක්තික ක්‍රමය සමග ගළපාගෙන, ඒ සමග ඒකාබද්ධ වීමට දරණ උත්සාහයකි. තවත් අර්ථයකින් ප්‍රජාව සමග එය ඒකාබද්ධ කිරීමේ උත්සාහයකි.
රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, මිටින් ගත හැකි තරම් කුඩා මූලික අයිතිවාසිකම් පරිච්ඡ්දයේ ජීවත් වීමේ අයිතිය පවා ව්‍යවස්ථාපිත අයිතියක් නොවූ රටක, ඒ නිසා ජීවත් වීමේ අයිතිය සම්බන්ධයෙන් 'නඩු නැති රටක' තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන්, තමන්ගේ පවුල වෙනුවෙන් ඔවුන් යුක්තිය ඉල්ලා සිටින අවසන් නවාතැන මෙයයි. ඔවුන් පිහිට අයදින අවසන් මෙවලම තොරතුරු නීතියයි. කුමක් වේදැයි ඔවුහු බලා සිටිති. ඉල්ලා සිටින තොරතුරු ලැබෙන තෙක් ඔවුන් නිදි නැත. අපිදු අවදියෙනි. අසාධාරණය, කෝපය සහ වේදනාව නිසා උපදින බලවේගය සහ ඉවසිලිමත් කල් බැලීම කිසිදා නොනිදන්නේය.
රදිකා ගුණරත්න
තොරතුරු අයිතිය සහ මානව හිමිකම් පිළිබඳ නීතීඥ
COMMENTS