නිධාන කතාව යටගිය දවස ලන්ඩන් නුවර එලිසබෙත් රැජිණ රජ කරන සමයෙහි. චිසික් නම් දනව්වක බුදුන් වදාළ උතුම්වූ ශ්‍රී සත් ධර්ම අධ්‍යයනය අරමුණු ක...
නිධාන කතාව
යටගිය දවස ලන්ඩන් නුවර එලිසබෙත් රැජිණ රජ කරන සමයෙහි. චිසික් නම් දනව්වක බුදුන් වදාළ උතුම්වූ ශ්‍රී සත් ධර්ම අධ්‍යයනය අරමුණු කර විහාරස්ථානයට ආ එක්තරා නව හැවිරිදි දැරියක් කැඳවූ භික්ෂුව ‘එව බුදු මැදුරේ ආශ්චර්යයක් පෙන්වන්නෙමි’ වදාළ කල්හි පහන් සිතින් එවදන් ඇසු සිඟිති මානවිකා තොමෝ ශ්‍රමණ භවත් ගෞතමයාණෝ පියවර පිටුපස වැඩි රහල් කුමරුන්සේ හිමි නම කැටුව යන්නී එහිමි හා බුද්ධ කුටියට වන්හ. එහි වැඩ හුන් බුදු රුව වන්දනාවට, ධර්මශ්‍රවනයට, සර්වඥ ධාතු වනදනාවට සේම බෝධි අංකුරය වන්දනාවට නැදි මයිලන් හා වරින්වර එහි පැමිණ තිබූ ඕ තොමෝ මහත් වූ භක්තියෙන් යුතු වන්නී සිඟිති දෙඅත් එක්කර වන්දනාවට සැරසෙත්, ඕ ඇමතූ ශ්‍රමණ තෙම ‘බලව මුනිවරයානෝ මහා කරුණාවෙන් ඔබ දෙස නෙත යොමා සිටිනු දුටුවෝදැයි’ අසා සිටි තන්හි මහත් භක්තියෙන් නෙත් දල්වා බුදු පිළිරුවට සාධු කාරයෙන් වන්දනයේ යෙදෙන්නී මහත් ආනන්දයෙන් තමන් කැටුව ආ බුද්ධ පුත්‍රයන් දෙපා වැඳ කෘතඥා පළකර සිටින්නීය.
බුද්ධාලංභන ප්‍රීතියෙන් සුපන් කුඩා මානවිකාවිය කල්පයක් ක්ෂුද්‍රා ගින්නෙන් උදරය කකියමින් මරු විකල්වූ පිඹුරු පෝතකයකු දරණ ගසමින් අසරණවූ කුඩා මුව පොව්වකු ග්‍රහණයට ගන්නාසේ වෙලා ගත් ශ්‍රමණ තෙම, රාගයෙන් ගිනිගත් යසුනු මෙන් කකියන දෙනෙතින් සිඟිති උපාසිකාවී දවාලමින් අහිංසකාවිය හැඳි සළු විවර කරමින් ගිනියම් යගදාවක් ගෙන සටනට වන් යක්ෂයකු මෙන් ඇය සියුමැලි දෙවටොර වියරුවෙන් තෙරපන්නේය. පාපිෂ්ඨ ශිෂ්න පීඩනයෙන් ඉරී පුපුරා යන මල් පියලි වන් චර්මය හා පේශීන් ගෙන දුන් වේදනාව හෝ සිනිදු වටොර රූරා ගැලු රුධිර දහර කාමාවේශයෙන් උම්මත්තක බවට පත් පවිටු කාමාතුර බුද්ධ පුත්‍ර මනසට නොදැනිණ.
බුදු කුටියේ සිදුවූ මිහි මව් නුඋහුලන අපරාධය සිදුකළ පාපිෂ්ඨ චීවරධාරීයෝ, කුඩා කිරිල්ලියක රුධිරය උරා බී ඔජවඩන සිඟාලයකු මෙන් දැරිය වඩාත් භීෂණයට පත් කරමින් තම දෙනෙත් ඉදිරියේ සිදුවූ පාපිෂ්ඨ අපරාධය උපේක්ෂාවෙන් ඉවසා වදාළ භාග්‍යවතුන් වෙත අවධානය යොමුකරමින් ‘ඔබ කළ ක්‍රියාවන් බුදුන් බලා සිටි බව දන්නේද?’ යැයි වේදනාවෙන් හා භීතියෙන් සන්ත්‍රාසයට ලක්ව සිටින්නීය වෙත පැනයක් යොමු කරන්නේ, ‘සිදුවූ දේ පිළිබඳ මව හෝ පියාණන් වෙත දැනුම් දුනහොත් එසැණින් මව හෝ පියා මිය පරලොව යැවීමට බුදුන් පියවර ගනු ඇතී’ බව වදාලෝය.
දශක දෙකක් ගත වී යද්දී දෛනික අපහරනයේ යෙදෙමින් රාජ රාජ මහාමාත්‍යය බුහුමන් මධ්‍යයේ විහාරාධිපති, සංඝනායක පදවි ලැබූ පාපතරයන් වහන්සේ අතින් තමනට සිදුවූ අපරාධය වෙනුවෙන් යුක්තිය ඉල්ලා කළ සටනකින් ජය ලබන්නට මේ වන විට වෛද්‍ය වරියක ලෙස ජීවිතය ජයගෙන සිටි ඒ විරු දැරියට හැකි විය. චීවර ධාරියා සිපිරිගෙයි වැඩ සිටිමින් මහා රැජිනගේ දන් වැළඳීම ඇරඹිණි.
වත්මන් කථාව
පසුගිය ඉරිදාවක ලංකාදීප පුවත් පතේ පළවී තිබූ පුවතක් දුටු පකට පුඟුලාට නහුතයට නැග්ගේ සබ්‍ය භාෂාව පමණක් නොව උන්හිටි තැනද අමතක කරවමිනි. එම පුවතින් කියවුනේ, දැරියක ලිංගික හිංසනයට ලක් කර නීතිය හමුවේ වරදකරු වී සිරදඬුවම් ලැබූ පහලගම සෝමරතන විසින් රචිත පොතක් කොළඹදී දොරට වඩින බවයි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත වෙනින් කවුරුත් නොව මහා පඬි චතුර සේනාරත්න තරුණ මන්ත්‍රී වරයාගේ පියා වන සෞඛ්‍යය ඇමැති තුමෝය.
බ්‍රිතාන්‍යයේ ලිංගික අපරාදයකට වරදකරුවී ළමා ලිංගික අපරාද කරුවන්ගේ නාමාවලියේ වැජඹෙන මොහු, අපේ රටේ ප්‍රභූ වරයෙකි. ඒරොප්පේ ළමුන් සිටිනා තැනක තනිව හැසිරීම තහනම් වනචාරියෝ අපේ රටේ පොරවල්ය.
අපට අපේ නොවන අපේම ළමා ආරක්ෂණ අධිකාරියක්ද තිබුන බවද මතකය. ඒත් මෙවැන්නෝ පිරිවෙන්, අනාථ නිවාස පාලනය කරති. අපේ සාමණේර දරු පැටවුන්ට දෙවියන්ගේ පිහිට පතන්නේ බුදුන් වහන්සේ ගේ නාමයෙන් සිදුවෙන අපරාධ වලට ජේසුට හෝ අල්ලා දෙවියන්ට කියා වැඩක් නැති හෙයිනි. මේ පොරවල් ජේතවනාරාමයේ වැඩ සිටියේ නම් රාහුළ සාමනේර ගේ ආරක්ෂාව දේවදත්ත මාමාට පැවරෙනු නොඅනුමානය.
අපේ මහා නායක හිමියෝ විනය පිටකයේ සතර පාරාජිකාවන් දන්නේද යන්න ගැටලුවකි.
“යෝ පන භික්ඛු, භික්ඛූනං සික්ඛාසාජීව සමාපන්නෝ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්‍යං අනාවිකත්වා මේථුනං ධම්මං පතිසේවෙය්‍ය අන්තමසෝ තිරච්ඡානගතායපි පාරාජිකෝ හෝති අසංවාසෝ.”
මේ ගාථාවට අනුව මනුෂ්‍ය පමනක් නොව තිරිසනකු සමග වුවද ලිංගිකව එක්වීමෙන් පාරාජිකා බවට පත් වේ. එම භීක්ෂුවගේ උපසම්පන්න බව නොමැතිවී භික්ෂූත්වයෙන් පිරිහී යයි. එවැනි භික්ෂුවකට නැවත උපසම්පන්න විය නොහැකි බව පාරාජිකා පාලියෙහි දක්වා ඇති අන්දමයි ඒ.
එහෙයින් මේ පුද්ගලයා තව දුරටත් භික්ෂුවක නොවේ.
ඒත් අපේ උපා-සකයෝ මොහුට වඳිති, දන් දෙති, පිරිකර පුදති, ප්‍රශ්න කරන්නන්ට බනිති, අධිකරණයට දොස් කියති. ඒත් හාමුදුරුවන් ළඟ තමුන්ගේ ළමයෙක් තනි පංගලමේ තියා යන ජගතෙක් නම් මේ අනුග්‍රාහක භවතුන් අතරද නැතිවීම පුදුමයකි. අපේ එකා බේරුනොත් කාගේ එකාට කෙලියත් අපට මොකදැයි සිතීම ෆුල් බොදු සිතිවිල්ලකි.
වැඳ පුදාගන්නට ස්ත්‍රී දුෂකයින් සොයමින් බොරැල්ලේ බන්ධනාගාරය පැත්තේ යමින් සිටි පකට පුඟුලා පොත දොරට වැදීමේ උළලේ ප්‍රධාන දේශනය දෙන බව කී මහාචාර්ය දර්ශන රත්නායක ගෙන් ඉල්ලාගත් පහලගම සොමරතනගේ ‘ජීවිතයට සතුට’ පොත මගදී කියවා ලිවුවකි මේ.
‘ජීවිතයට සතුට’ කතුවරයා විසින් අපහරණයට ලක්ව ජීවිතයේ සතුට අහිමි කරගත් අය මතකයට එද්දී ආයෙත් නහුතයට නගින නිසා මෙතැනින් නවතිමි.
COMMENTS