මෙම රෝගය හඳුනා ගෙන මේ වන විට දශක තුනක් පමණ ගත වී තිබේ.දශක තුනක කාලයක් ගතවී ඇතත් අදටත් මේ රෝගී තත්ත්වය පරාජය කිරීමට හැකි වී නැත.රජරට කේන්ද...
මෙම රෝගය හඳුනා ගෙන මේ වන විට දශක තුනක් පමණ ගත වී තිබේ.දශක තුනක කාලයක් ගතවී ඇතත් අදටත් මේ රෝගී තත්ත්වය පරාජය කිරීමට හැකි වී නැත.රජරට කේන්ද්‍ර කරගනිමින් දහස් ගණනක් වකුගඩු රෝගයෙන් පීඩා විදින අතර 20000ක් පමණ ජිවිතයට සමු දී අවසන්ය.එහෙත් ඊට විසදුමක් පේන මානයක හෝ නොමැති බව හැඟෙන්නේ ඒ වේදනාකාරී බිමට පය තැබූ පසුවය.සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන අන්දමට පළාත් නවයෙන් හතකටම ව්‍යාප්ත වී ඇති මේ රෝගය කුමන හෝ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක අධි අවධානමක් පවතී.මේ සම්බන්ධයෙන් කෙතරම් ව්‍යාපෘති පැවතියද ජනතාව එකී පීඩනයෙන් මුදවා ගැනීමට නොහැකි වීම වකුගඩු රෝගයේ බරපතලකම පෙන්නුම් කරන්නකි.මිනිස් ජීවිත නොසිතූ නොවිරූ අන්දමට සුනු විසුණු වනවා හැර අද දවසේ ඔවුන්ට අත්ව ඇති සහනයක් නම් නැත.ගෙවෙන සෑම මොහොතක්ම ඔවුන් දවමින් ඇත්තේ මේ වකුගඩු මාරයා විසිනි.
රජරට මිනිසුන් විඩාපත් කර ඇති මේ රෝගයේ වර්තමාන තත්ත්වය පිලිබඳ කළ සොයා බැලීමේදී අපට කණ්ඩායමක් මුණ ගැසිණි.ඒ වකුගඩු රෝග මර්දන ව්‍යාපාරයයි.රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මුලිකත්වයෙන් අරඹා ඇති වකුගඩු රෝග මර්දන ව්‍යාපාරයට අද සියලුම විශ්වවිද්‍යාල වල සහයත් වෛද්‍යවරුන්ගේ ,ගොවි සංවිධානවල සහයත් හිමිව තිබේ.මෙහි විශේෂත්වයක් වන්නේ පෙරමුණ ගෙන හිදින්නේ භික්ෂුන් වහන්සේලා වීමයි.මේ වන විට රජරට සක්‍රීය මැදිහත් වීමක් කරමින් සිටින නිසාත් එම ප්‍රදේශයන්ගේ ජනතාව තුළ ඔවුන් පිලිබඳ පැවති යහපත් ආකල්පය නිසාත් එම ව්‍යාපාරයේ මැදිහත් වීම සම්බන්ධයෙන් සටහනක් තබන්නෙමු.
රජරට බිමේ අස්සක් මුල්ලක් නෑර යමින් ඔවුන් වකුගඩු රෝගය පිලිබඳ ජනතාව දැනුවත් කරමින් හිඳියි.වෛද්‍ය සායන පවා පවත්වමින් ජනතාවට අවශ්‍ය දැනුවත් කිරීම කරන්නේ බහුතරයක් සිසුන් විසිනි.වකුගඩු රෝග මර්දන ව්‍යාපාරයේ සොයා බැලීමට අනුව මෙම රෝගයට බලපා ඇති ප්‍රධාන කාරණයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ වගා බිම් සඳහා යොදා ගන්නා රසායනිකයන්ගේ අහිතකර බලපෑමය. කෘෂි කාර්ම දෙපාර්තමේන්තුවේ සහයෙන් බහුජාතික සමාගම් විසින් මෙම ව්‍යසනය ගොඩනගා ඇති බවට ඔවුහු චෝදනා කරති.වකුගඩු රෝග මර්දන ව්‍යාපාරයේ නිරීක්ෂණයන්ට අනුව බහුතරයක් පුරුෂයන් මෙම රෝගයට ගොදුරු වී ඇති අතර කාන්තාවන් මෙන්ම දරුවන්ද රෝගයෙන් පීඩා විදින අතර මේ සියලු දෙනා ගොවි බිමේ ජීවිතය සෙවූ මිනිසුන්ය.වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය පවසන පරිදි රෝගය වළක්වා ගැනීමට ඇත්තේ එකම මාර්ගයකි.ඒ,රෝගයට හේතුවක්ව පවතින බැර ලෝහ හා විෂ රසායනික ශරීර ගත වීම වැළක්වීමය.එහෙත් රජය හා කෘෂි සමාගම් අතර පවත්නා සබඳතාව හේතුවෙන් එය පහසු කටයුත්තක් නොවන වග ඔවුන් පවසයි.එමෙන්ම ගොවියා වෙලා පවතින කෘෂි හා කෘමි නාශක භාවිතයෙන් ඉවත් කිරීමද පහසු කටයුත්තක් නොවන වග ඔවුන්ගේ අත්දැකීම බව සඳහන් කරයි.එහෙත් මේ වන විට මේ පීඩාවෙන් මිදීමේ බලවත් වුවමනාව විසින් මෙම වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය සමඟ ජනතාව එක් රොක් වී සිටින ආකාරයද අපේ නිරීක්ෂණයට හසුවිය.අනුරාධපුර, පදවිය,ශ්‍රීපුර,හොරොව්පොතාන යන ප්‍රදේශයන්ගේ ජනතාවද මෙම වකිගඩු රෝග මර්දන ව්‍යාපාරය ගෙන යන වැඩසටහන් සම්බන්ධයෙන් පසුවන්නේ යහපත් ස්ථාවරයකය. රජරට ප්‍රදේශයේ පමණක් නොව ඔවුන් රට පුරාම වකුගඩු රෝගය පිලිබඳ දැනුවත් කරමින් සායන පවත්වමින් සක්‍රීය මැදිහත් වීමක් කරමින් හිදියි.
වකුගඩු රෝග මර්දන ව්‍යාපාරයේ කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වන පුජ්‍ය මහගල් වැව රාහුල හිමියන් ඔවුන්ගේ මැදිහත් වීම මෙලෙස අදහස් දැක්වීය.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=9YUSEKd9SxA[/youtube]
ජනජීවිතය වඩා යහපත් කිරීමේ අරමුණින් වකුගඩු රෝගය මර්දනය කිරීමේ වෑයමට උර දී සිටින වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය අවධාරණය කරන්නේ රෝගයෙන් පීඩා විඳින ජනතාවගේ ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමේ සිට කෘෂි රසායනික හේතුවෙන් විනාශ වී ඇති මහපොළොව යළි සාරවත් කිරීමට රජය කඩිනමින් මැදිහත් වියයුතු බවයි.දැනටමත් වකුගඩු රෝගය මර්දනය කිරීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට සැබෑ ලෙසම ඉටු කරනවා නම් රජරට බිමෙහි කප්පරක් වැඩ ඇති බවද රාහුල හිමියෝ සිහිපත් කළහ.
වකුගඩු රෝගය හේතුවෙන් දිනෙන් දින ඇද වැටෙමින් පවතින රජරට බිමේ ජිවිතවලට බලාපොරොත්තුවක් ගෙනා ආහැකි සියලු දෙනා වකුගඩු රෝග මර්දනය වෙනුවෙන් පෙළගැසිය යුතු බව රාහුල හිමියෝ අවධාරණය කළහ.
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=ooQ-BOOzcuw[/youtube]
ආශිකා බ්‍රාහ්මණ
දිස්ත්‍රික්ක වශයෙන් දැනට හඳුනා ගැනීම අනුව වර්තාගතවූ නිදන්ගත වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව
අනුරාධපුරය - සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස (22) - 9005
පොළොන්නරුව - සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස (7) - 4369
කුරුණෑගල - පොල්පිතිගම,මහව,කුරුණෑගල - 1706
මාතලේ - විල්ගමුව,ගලේවෙල - 1137
වව්නියා - වව්නියාව,වව්නියාව දකුණ හා චෙඩ්ඩිකුලම් - 1684
බදුල්ල - මහියංගනය,රිදීමාලියද්ද - 943
හම්බන්තොට - තිස්සමහාරාමය,අම්බලන්තොට,ලුණුගම්වෙහෙර,සූරියවැව - 488
අම්පාර - දෙහිඅත්තකණ්ඩිය ,මහඔය - 468
මොණරාගල - තණමල්විල,බඩල්කුඹුර - 268
මුලතිව් - වැලිඔය,තුනුක්කායි - 348
ත්‍රිකුණාමලය - වාන් ඇළ,පදවි ශ්‍රීපුර,ගොමරන්කඩවල - 412
මුලාශ්‍ර - සෞඛ්‍ය අමාත්‍යාංශය
COMMENTS