කොන්දක් නැති ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කට්ටිය තමයි ඔහොම කියලා තියෙන්නේ. කියපු කෙනා මම දන්නේ නැහැ. මට ඇහිලත් නැහැ. පත්තරවල ගොසිප් කොලම්වල තියෙනවා...
කොන්දක් නැති ඊර්ෂ්‍යාවෙන් පෙළෙන කට්ටිය තමයි ඔහොම කියලා තියෙන්නේ. කියපු කෙනා මම දන්නේ නැහැ. මට ඇහිලත් නැහැ. පත්තරවල ගොසිප් කොලම්වල තියෙනවා. ඕනෑම තැනක ඔය ඊර්ෂ්‍යාකාරයෝ ඉන්නවනේ. මම උත්සහ කරන්නේ දුෂණය නැති කරලා ජනපතිගේ අගමැතිගේ ප්‍රතිපත්තිය පුළුවන්තරම් ඉක්මණට ජනතාව අතරට අරන් යන්න, වට්ටපු ආර්ථිකය හදන්න. ඒක අපි බොහොම දැඩිව කරගෙන යනවා. එක එක්කෙනාට ඕන විදිහට වැඩකරන්න බැහැ. මේ ඇමති මණ්ඩලයට සාමුහික වගකිමක් තියෙනවා. එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වුවමනාවට ඉඩදෙන්න බැහැ. අපි පක්ෂ දෙක එකතු කරලා අයවැයක් හැදුවහම ඒක සාමුහික අයවැයක්. සමහරුන්ගේ බඩේ ගායට අපිට උත්තර දෙන්න බැහැ.
නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉන්නවනේ මතභේද ඇතිකරන පිටස්තර කල්ලියක්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට ප්‍රශ්න ඇතිකරන. ජනාධිපතියි, අගමැතියි බොහොම ඕනෑකමෙන් ආණ්ඩුව ගෙනයනවා. ඕවා මහින්ද රාජපක්ෂගේ කූට ක්‍රියා.
හැබැයි ඉතින් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ජාවලදී මේ දෙපාර්ශවය ලුණු ඇඹුල් ඇතිව චෝදනා කරගත්තා ?
මම කියන්නේ ඒ විවේචනය කරන්න ඕනේ මෛත්‍රීපාල මහත්තයත් එක්ක එළියට ඇවිත් මහින්ද රාජපක්ෂව පරාජය කරන්න කටයුතු කරපු අය. දැන් ඔය ප්‍රශ්න කරන අය එහෙම අය නෙවෙයි. අපිට 107ක් ලැබිලා තියෙනවා.113 නැතිවුනත් අපි කියලා තිබුණේ ජාතික ආණ්ඩුවක ස්වරූපයෙන් කටයුතු කරනවා කියලා. ඒ නිසා මේ වෙලාවේ පුද්ගලයෝ විවේචනය කරන එක නෙවෙයි කරන්න ඕනේ. රටේ විනාශ කරපු ආර්ථිකය සුද්ද කරන්න අවශ්‍යයි. මොකද මහින්ද රාජපක්ෂගේ පිල හැර අනිත් හැමෝම අපි එක්ක ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ වුනත් වෙනම හිටියට ඒ අයත් කියනවනේ විධායකය අහෝසි කරන්න ඕනේ කියලා. ඉතින් හැමෝම වගේ හොඳ ස්ථාවරයක ඉන්න වෙලාවේ යම් යම් ප්‍රශ්න ඇති කළාම පරාජය වුණ අයට තමා වාසියක් වෙන්නේ.
නමුත් බැඳුම්කර ගණුදෙනුව ආණ්ඩුවට, විශේෂයෙන් එජාපයට පාරාවළල්ලක් වෙලා ඇයි එහෙම දෙයක් වුණේ ?
මම හිතන විදිහට මහින්ද රාජපක්ෂලා, නිවාඩ් කබ්රාල්ලා කළේ ඕකයි. මම මොහොතකට ගන්නේ විගණකාධිපති කියපු ප්‍රකාශය. එතැනදී කියනවා මේ පාඩුව මිලියන 1500 ක් කියලා. මේ 1500 කොහොමද වුණේ කියන එක පෙන්වන්න ඕනේ. එතුමාම කියන දේ අපි භාරගන්නවා. අපි කියන්නේ 2005 ඉදන් 2015 වෙනකම් මේකම කරලා තියෙනවා.මේකේ අලාභය කීයද ? එකත් පෙන්වන්න. නිවාඩ් කබ්රාල්ලා දන්නවා ඒ අය කළේ මොකක්ද කියලා. ඉතින් මේක ප්‍රශ්නයක් කරන්න හදනවා.
ජනතාව අතර කතාබහ තියෙන්නේ 2005-2015 නෙවෙයි, මෑතක වුණ බැඳුම්කර ගනුදෙනුව ගැන. වංචාවක් වෙලා තියෙනවා කියාලා කෝප් කමිටු වාර්තාවත් කියනවා. රට තුළ අන් කවරදාටත් වඩා මේක සාකච්ජාවට ලක් වුණා. ආණ්ඩුවට වගකීමක් තියෙනවා මෙතන ඇත්තටම මොකද වුණේ කියන එක රටට කියන්න ?
මෙතැනදී මාධ්‍යයටත් වගකීමක් තියෙනවා. ඔවුන් තමයි වෙන විදිහකට මේක රටට කිව්වේ. ඒ වගේම මේක මගේ විෂය පථය නෙවෙයි. ඕක වැඩිය කතා කරන්න ගිය ගමන් කියයි ඇයි අරක ආරක්ෂා කරන්නේ මේක ආරක්ෂා කරන්නේ කියලා. එහෙම කිසිම අවශ්‍යතාවක් අපිට නැහැ. හෙජින් ගනුදෙනුවේ අලාභය දැනට ගෙවල තියෙනවා කෝටි 7600 ක්. ග්‍රීන් බොන්ඩ් එක කෝටි 635 ක්. තව එකක් තමයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම. එකේ බිලියන 145ක්. මෙන්න අලාභ. දැන් උසාවි යන්නත් වැරද්දක් තියෙන්න ඕනේ. එක පෙන්වලා දෙන්න ඕනේ. ඕක තමයි එක තැනක කැරකෙන්නේ. මේක තමයි ආණ්ඩුවක් විසින් ආණ්ඩුව චෙක් කරපු පළමු අවස්ථාව.
විගණකාධිපති කියන්නෙත් මම වගේ ගණකාධිකාරීවරයෙක්. අපි දේවල් කියද්දී සිද්ධාන්ත උපක්‍රම භාවිතා කරන්න අවශ්‍යයි. එතුමාගේ වාර්තාවේම කියනවා මට මේක කරන්න හැකියාවක්, ශක්තියක් නැහැ කියලා. මම වුනත් ඒක කියන්න තියෙනවා. එහි පරිණතභාවයක් නැහැ තමයි. ඕක කිව්ව නිසානේ ප්‍රශ්නෙ තියෙන්නේ. වාර්තාවෙම කියනවා නැහැ කියලා. නැති එකක් පස්සේ තමයි දුවන්නේ.
ඒ කියන්නේ මෙතන ප්‍රශ්නයක් නැහැ කියලද ?
ප්‍රශ්නයක් හදලා තියෙන්නේ. අපි බලමු ජානාධිපති විමර්ශනයකුත් යනවනේ.
තවත් පැත්තකින් අර්ජුන් මහේන්ද්‍රන් ගැන කතාවෙත් ඉවරයක් නැහැ. වෙලාවකට කියනවා තවදුරටත් ආණ්ඩුවේ තනතුරු දරනවා කියනවා. නැහැ කියනවා. අර්ජුන් මහේන්ද්‍රන් නිසාම දෙගොල්ල තුන්ගොල්ල පැටලෙනවා. වරින් වර කෙරෙන ප්‍රකාශවල විශ්වසනීයත්වය පිලිබඳ දැන් ප්‍රශ්නයක් නැතුව නෙවෙයි ?
අර්ජුන් මහේන්ද්‍රන් ගැන මලික් සමරවික්‍රම මහත්තයා නිවැරදි ප්‍රකාශයක් කළා. ඊට වඩා දෙයක් තියෙනවද ? අරහෙ දැක්කලු. මෙහෙ දැක්කලු. විමල් විරවංශ හිරගෙදර ගියා කියලා පාර්ලිමේන්තුවෙන් නෙරපුවාද ? වරදකරු බවට පත්කරනතුරු ඔහු නිදොස්. අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධූර කාලය අවසන් වුණාට පස්සේ නැවත පත්කළේ නැහැ. කාටද දැන් රුදාව තියෙන්නේ. ජනාධිපති, අගමැති මේ ගැන උපරිම දේ කරනවා. නිවාඩ් කබ්රාල් කරපු දෙයක් ගැන හොයනවද ? හැම දෙකටම මේ ආණ්ඩුවට බනිනවා.
ඔබතුමන්ලට පුළුවන්නේ නිවාඩ් කබ්රාල්ලගේ වංචා හොයාගන්න. ඔබතුමන්ල නේ ආණ්ඩු කරන්නේ. ලොකු ලොකු හොරකම් හොයන්න ආයතන පවා හදලානේ තියෙන්නේ ?
මේකනේ ප්‍රශ්නේ. අපි බල්ලාගේ වැඩේ බුරුවා කරන්නේ නැහැ. උසාවියේ වැඩේ උසාවිය කරනවා. පොලිසීයේ වැඩේ පොලිසිය කරනවා. FCID වැඩ ඒ අය කරනවා. ඒ වගකීම් භාරදීලා තියෙන්නේ. අපි සුදු වෑන් එවන්නේ නැති නිසා විඳින්න තියෙන දුක මේකයි.
මේ වෙලාවේ කතාබහට ලක්වෙලා තියෙන කාරණයක් කැබිනට් මණ්ඩලයේ අර්බුදය. කැබිනට් මණ්ඩලයේ සම්මත වෙන ඇතැම් කාරණා ගැන එළියට ඇවිත් කියන්නේ තව දෙයක්. කැබිනට් එකේදී බේරගන්න ඕන ඒවා එළියට ඇවිත් බේරාගන්නේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී එය පැහැදිලි වෙනවා. අන්තිමට කැබිනට්ටුව අත උස්සපු කාරණා ගැන මතුවෙන ප්‍රශ්න විසඳන්න ජනාධිපති මැදිහත්වෙනවා ?
ඇත්තටම මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කැමති නැහැ. මොකද අපි කැබිනට් සාමුහිකත්වය ආරක්ෂා කරන්න ඕනේ. ඔයා අහපු නිසා මම උත්තරයක් දෙන්නම්. කැබිනට් එකෙත් ඉන්නවනේ රිපොටර්ලා වගේ අය. අපි කැමති නැහැ ඒ තත්ත්වෙට වැටෙන්න. කැබිනට් එකේ එහෙම බාධාවක් ඇත්තේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ප්‍රශ්න ඇතිකරනවා.
මේක අයවැයේ තිබුණා. සම්මත වුණා. නොයෙක් අදහස් ඉදිරිපත් වුණා. ජනාධිපති ඉල්ලීමක් කළා අපි මේක තිබුණ ගානට අඩු කරමු. තව තෑගි වැඩි කරලා එකක් දාමු. ඉදිරියේදී කාලයත් එක්ක වෙනස් කරන දෙයක් අපි පස්සේ කරමු කියලා. ජනාධිපති ඉල්ලීමක් කළාම එකට හරස් වෙන එක හොඳ නැහැනේ.
නමුත් ඔබේ වැරදි තීරණ කියන චෝදනාව එල්ල වුණා ?
වැඩක් කරන කෙනා ඒවා බලාපොරොත්තු වෙන්න ඕනේ. ඔතන ගහන්නේම අපිටනේ. තමාගේ ඉදිරි ගමන ප්‍රශ්න නැතුව ගෙනිච්චොත් ඒක අසාර්ථක ගමනක්. මම ඒ ගැන සුභවාදිව බලනවා. අපිට ගහන එක කොහොමත් කරනවනේ.
එක පැත්තකට ගහනවට වඩා දෙපැත්තම ගහගන්නවානේ. වැඩේ සාධාරණය කරන්න ප්‍රතිපත්ති ගැන කියනවා.අන්තිමට යහපාලන පොරොන්දු අකාමකාවෙලා යනවා ?
නැහැ එහෙම වෙන්න් නැහැ. ජනාධිපති, අගමැති පටන්ගත්ත සම්මුතිවාදී ගමන ඒ විදිහටම ගෙනයනවා. ජනාධිපති පත්කරන්න සහය නොදුන් කිසිකෙනෙකුට මේ ගමනට හරස් වෙන්න බැහැ. අපි සෘජුව මැදිහත්වෙලා වෙනින් පක්ෂෙක කෙනෙක් ජනාධිපති කරලා ආණ්ඩුවකුත් හැදුවා. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ රටේ ජනාධිපති. පක්ෂෙක ජනාධිපති නෙවෙයි. මෙතනත් ඉන්නවනේ කකුල් දෙක දෙපැත්තේ තියාගෙන. එහෙම අය තමයි ප්‍රශ්න ඇති කරන්නේ. හොඳට හිතවත්ව ඉන්න අය මොනවත් ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. ඒ නිසා ඉතාම ඕන කමින් කියන්නේ මහින්ද රාජපක්ෂගේ වුවමානාවට තමයි අපිට ගහන්නේ. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් යනවා.
ජනාධිපතිවරයාත් යම් යම් අවස්ථාවලදී කරන කතා විවාදාත්මකයි ?
සිරිසේන ජනාධිපතිතුමා දන්නවනේ තමන් වටේ ඉන්න අය ගැන. එතුමා දන්නවනේ මේ ආණ්ඩුව හැදුවේ කොහොමද කියලා. එතුමාටත් ඕනේ මේ යහාපලන ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න. ඒ වෙනුවෙන් තමයි එතුමා මැදිහත් වෙන්නේ.
GSP+ සහන යළි ලබා ගැනීමේ ක්‍රියාවලියේදී කොන්දේසි 58 කට ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා, මේවා රටේ ඒකීයභාවයට බාධාවක් කියන චෝනදාව එල්ල වුණා. මේ ගැන පැහැදිලි කිරීමක් කළොත් ?
එදා මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් කිව්වේ GSP සහනය වැඩක් නැහැ කියලා. එයාලා ඒක නැතිකරගත්තා. මේකෙන් අපිට අදායම් විදිහට බිලියන 200 ක් ලැබෙනවා. මොකක්ද මේකේ නරක. අපි මේ සහන නැවත ගත්තට පස්සේ ඒ අයට උහුලන්නේ නැහැ. ඒ අය ණය අරන් හොරකම් කළා. අපි ණයක් ගන්නෙත් රටේ දියුණුවට. අපි වෙහෙසෙන්නේ රටේ හොරකම නැති කරන්න. මේක තමයි වෙනස. ඒකයි නැති බිල්ලෝ මවන්නේ. මෙතැනදී වෙන්නේ සාමාන්‍ය නීතිය රටේ ක්‍රියාත්මක කිරීමක්.
ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ඉන්නේ එක ස්ථාවරයක. ඒකේ වෙනසක් නැහැ.
විධායකය අහෝසි වෙනවා?
ඔව්, අනිවාර්යෙන්ම. ඒකනේ අපේ පොරොන්දුව. චන්ද්‍රිකයි,මහින්දයි ආවේ විධායකය අහෝසි කරනවා කියලා. කළාද නැහැනේ. අපිට තවත් එහෙම ආණ්ඩුවක් වෙන්න ඕනේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියපු දේ කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක හිටපු නැති අය තමයි දැන් එක එක කතා කියන්නේ.
සාකච්ජා කළේ - ආශිකා බ්‍රාහ්මණ
ජායාරූප - නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS