දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රෝහණ විජේවීර පිළිබඳ මනෝ විද්‍යාත්මක විශලේෂණයක් - වෛද්‍ය රුවන් එම්. ජයතුංග

එක්තරා ආකාරයකට විජේවීර  දේශපාලන නායකයෙකුට වඩා බලගතු වූ කල්ට් නායකයෙකි. ඔහුගේ අනුගාමිකයෝ විජේවීර පරමාදර්ශයක් බවට පත් කිරීමට තැත් කරති. ඔහු...

රෝහණ විජේවීර පිළිබඳ මනෝ විද්‍යාත්මක විශලේෂණයක් - වෛද්‍ය රුවන් එම්. ජයතුංග
එක්තරා ආකාරයකට විජේවීර  දේශපාලන නායකයෙකුට වඩා බලගතු වූ කල්ට් නායකයෙකි. ඔහුගේ අනුගාමිකයෝ විජේවීර පරමාදර්ශයක් බවට පත් කිරීමට තැත් කරති. ඔහුව සුරුවමක් මෙන් අදහන සහ ඔහු වෙනුවෙන් ජීවිතය පුද කිරීමටද සූදානම් වූ කොටසක් ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය තුල තවමත් සිටිති. මින් සමහරක් රෝහණ විජේවීර විවේචකයන්ට කායිකව සහ වාචිකව පහර දීමට වූවද නොපසුබට වූ බුද්ධිමත් භාවයෙන් අඩු ආවේගශීලී  පිරිසකි. මෙවැනි කොටස් 71 කැරැල්ල කාලයේ බන්ධනාගාර තුලද පසුකාලීනව පක්‍ෂය තුලද සිටියෝය​. පෝරියල් හමුදාව යනුවෙන් හඳුන්වන මෙකී මූලාංගයන් නිර්මාණය කරන්නේ විජේවීර විසිනි. මේ හමුදාවේ ශේශයන් තවමත් පවතී. 
 
රෝහණ විජේවීරව විවේචනය කරන්නෝ බොහෝ වෙති. සමහරක් රෝහණ විජේවීරව ඉතා නිර්දය ලෙස විවේචනය කරති. ඔවුන් තුල විජේවීර කෙරෙහි මහත් පිළිකුලක්  මෙන්ම වෛරයක් තිබේ.  ඔවුන්ට අනුව විජේවීර ප්‍රභාකරන් මෙන් ලංකාවට අති විශාල විනාශයක් සිදු කලේය​. එහෙත් මෙම බැතිමත් පාර්ශවය මෙන්ම විජේවීරව නිර්දය ලෙස විවේචනය කරන පාර්ශවයද විජේවීර පිලිබඳ තුලනාත්මක අධ්‍යනයක් කර නොමැත​. 
 
රෝහණ විජේවීර සංකීර්ණ චරිතයකි. විජේවීර තුල අසාමාන්‍ය දක්‍ෂතා මෙන්ම බොහෝ දුර්වලකම්ද තිබුනේය. දක්‍ෂතා අතර ඔහු තුල පැවති සංවිධානාත්මක හැකියාව පෙනී යයි. ධනය බලය රහිතව ඔහු විශාල සංවිධානයක් ගොඩ නැගුවේය​.ඔහු තුල තිබූ කැපවීම කිසිදු දේශපාලකයෙක් තුල තිබුනේ නැත. පයින් ගමෙන් ගමට ගොස් සාමාජිකයන් එකතු කරගෙන ඔහු විසින් ගොඩ නගන ලද සංවිධානය මේ වන විට ලංකාවේ තෙවන බලවේගයක් දක්වා වර්ධනයව තිබේ.  
 
රෝහණ විජේවීර දක්‍ෂ කථිකයෙකි. ඔහු කථන හැකියාව තුලින් පුද්ගලයන් බොහෝ දෙනෙකු දිනා ගත්තේය​. ඒ පුද්ගලයන් අතර ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනලාභී  සුසිල් සිරිවර්ධන, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය ගාමිනී කීරවැල්ල, මහාචාර්ය ගාමිනී සමරනායක, ආචාර්ය විජිත නානයක්කාර,අනගාරික ධර්මසේකර, මහින්ද විජේසේකර, වික්ටර් අයිවන් වැනි පුද්ගලයන් සිටියෝය​. එසේම උදේනි බන්ධුල, කුමානායක, වසන්ත දිසානායක වැනි පුද්ගලයෝ විජේවීර දර්ශනයට වශීව තමන් අධ්‍යයනය කරමින් සිටි උපාධි පාඨමාලා අතහැර පූර්ණකාලිකයන් බවට පත් වූහ​. සමහරු තම නිවෙස්, ඥාතීන් හැරපියා විජේවීර වටා එක්වූහ​. මොවුන් අතර කමනී දේශප්‍රිය,  සම්පතී අබේසේකර, ධම්මිකා ද සිල්වා වැනි ගැහැණු ළමයිද සිටියහ​.  මින් පෙනී යන්නේ විජේවීර තුල පැවති පුද්ගලයන් දිනා ගැනීමේ විශිෂ්ඨ හැකියාවයි. 
 
අර්ථික, සමාජ, කුල පීඩනයන් නිසා ඉච්ඡාභංගත්වයට පත්ව සිටි තරුණයන්ට තුවක්කු අතට ගැනීම දක්වා සූදානම් කිරීමට විජේවීරට හැකි විය. ඔහු වෙනුවෙන් මංකොල්ලකෑම් කිරීමට (ඉළුක් සේනාරත්න, ලොකු අතුල, වනාතමුල්ලේ ඔස්මන්, නන්දන මාරසිංහ, කාගම උපසේන, බැංකු ලිපිකරු කොල්වින් ජයසිංහ​) ඝාතන සිදු කිරීමට (පැට්රික් ප්‍රනාන්දු, රාහුල, තෝලංගමුව මහා විද්‍යාලයේ සිසුවෙකු වූ ජයතිලක, ලයනල් රණසිංහ ) නොපසුබට වූ පිරිසක් ද නිර්මාණය කර ගැනීමේ හැකියාව  ඔහු තුල තිබුණි. මොවුන් බොහෝ දෙනෙකු යම් කාලයකදී විජේවීර වෙනුවෙන් ජීවිත පූජාවට වූවද  වූවද සූදානම්ව සිටි  අය වූහ​. පුද්ගල මෑනවීම් (manipulation)  සාධකය මත ඔහු දෙවනි වූයේ ප්‍රභාකරන්ට පමණි.
 
කුලවාදය සූක්‍ෂම ලෙස අවශ්‍ය ස්ථානයේදී යොදා ගැනීමට ඔහු සූක්‍ෂම විය​. ප්‍රභාකරන් උතුරේ කුල පීඩිතයන්ට තුවක්කුව අතට දී ඔවුන්ට සමාජයේ සැලකිල්ල -අවධානය  බලහත්කාරයෙන් ලබා දුන්නා සේ විජෙවීර දකුනේ කුල පීඩනයට ලක්ව සිටි තරුණයන්ට අනන්‍යතාවක් ලබා දීම මගින් ඔවුන්ව තම ව්‍යාපාරයේ භක්තිමත් සාමාජිකයින් බවට පත් කලේය​. මේ සඳහා ඔහු සාමාජිකයින්  ඇමතීමේදී සහෝදරයා යන වචනය වෙනුවට භාවිතා කලේ මහත්තයා යන වචනයයි. මේ මහත්තයා යන වචනය මගින් ඔහු දකුනේ කුල පීඩනයට ලක්ව සිටි තරුණයන් ආකර්‍ෂණය කර ගත්තේය​.
 
ප්‍රභාකරන්ටත් පෙර ඔහු රතු ගැටවු නමින් ළමා සොල්දාදුවන් තම ව්‍යාපාරය තුල ඇති කලේය​. මෙවැනි රතු ගැටයෙකු වූ  තෝලංගමුව ම.ම විද්‍යාලයේ 16 හැවිරිදි පාසල් සිසු කෑගල්ලේ ජයතිලක 1971 කැරැල්ල සමයේදී උදැල්ලකින් පහර දී පබිලිස් නම්  පොලිස් ඔත්තුකාරයෙකු  මරා දමන ලදි . එසේම එවැනිම රතු ගැටයෙකු වූ ජයතිස්ස කුමාර 71 දී කඩුගන්නාව පොලිසියට පහර දී නිලධාරියෙකු මරා දැමුයේය​. 
 
එක්තරා අයුරකින් විජේවීර යනු බුද්ධිමතෙකි. නමුත් පූර්ණ බුද්ධිමත් භාවයට ඔහු ලඟා වී සිටියේ නැත​. යම් සංකීර්ණ දේශපාලන තත්වයක් සරළව අනුගාමිකයන් ගේ මනසට ගෝචර වන අන්දමට කියා දීමේ හැකියාව ඔහුට තිබුණි . නමුත් ඇතැම් විට ඔහු තුල පැවති ක්සෙනෆෝබියාව (xenophobia)  , පැරනොයිඩ අදහස් මේ  විශ්ලේෂණයන්ට එකතු වීම නිසා එකී විශ්ලේෂණ වල වටිනාකම අවම විය​. මේ හැර තම තීරණ නිසා සිදු විය හැකි දේවල් පිලිබඳ නිසි තක්සේරුවක් තිබුනේ නැත. පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් පවසන අන්දමට ඔහුට1970 පමණ කාලයේ පටන්  විජේවීරට පැහැදිලි දර්ශනයක් , බලය ලබාගත් පසු කරන්න යන්නේ කුමක්ද යන්න පිළිබඳව වැටහීමක් නැති බව වැටහුණි.
 
රෝහණ විජේවීර,  පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර  නමින් උපත  ලබන්නේ 1943 දීය​. ඔහුගේ ළමා කාලය දරිද්‍රතාව , කුළ පීඩනය ,සමාජ කොන්වීම්‍ යන  සාධක නිසා නීරස වූයේය​. එසේම විජේවීර වයස හතරක කුඩා ළමයෙකුව සිටියදී ක්‍ෂිතිමය අත්දැකීමකට මුහුණ දුන්නේය​. එනම් 1947 මැතිවරණයේදී මැරයන් ගේ පහරදීමට ලක්වී ඔහුගේ පියා වන දොන් අන්දිරිස් විජේවීර සදාකාලික අබ්බගාතයෙකු විය​. මේ නිසා පවුලේ තත්වය තවත් අසරණ වූයේය​. මේ පහරදීම් නිසා දීර්ඝ කාලීනව ඔත්පළ වූ විජේවීරගේ පියා 1965 වසරේදී මිය ගියේය​. 
 
පියාට අතිශයින්ම ඇළුම් කල විජේවීර ගේ  ළමා ලෝකය කඩා වැටුනේ  මෙම ප්‍රචණ්ඩ සිද්ධිය මගිනි. මේ ක්‍ෂිතිමය සිද්ධිය විජේවීරගේ මරණය තෙක් ඔහුට බලපෑවේය​. එසේම ඔහුගේ අනාගත පෞරුෂය ගොඩ නැගෙන්නේ මේ ඛේදාන්ත  සිද්ධිය ඇසුරු කර ගෙනය​. මේ ඛේදාන්තට ලාංකික සමාජයට ඉහළ මිලක් ගෙවන්නට සිදු විය​. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මැතිවරණයේදී තමන් ගේ පියා සදාකාලිකව ඔත්පළ ආබාධිතයෙකු කල දේශපාලන ක්‍රමයෙන් විජේවීර අවිඥාණිකව පළි ගන්නේ තරුණ පරම්පරා දෙකක් මරු තුරුලට යැවීමෙනි.  1971 , 1988-89 කැරලි නිසා පුද්ගලයෝ 80,000 ආසන්න සංඛාවක් මරු දුටුහ​.  
 
විජේවීර විශ්වාස කල පරිදි ඔහුගේ පියාට දේශපාලන උසි ගැන්වීම් මත  පහර දෙන ලද්දේ  දෙණියාය ප්‍රදේශයේ ද්‍රවිඩ වතු කම්කරුවන් පිරිසකි. පසුකාලීනව විජේවීර ද්‍රවිඩ වතු කම්කරුවන් ප්‍රති විප්ලවවාදී කොටසක් ලෙස නම් කරයි. එසේම ද්‍රවිඩ වතු කම්කරුවන් කෙරෙහි අගතියෙන් බැලීමට තම අනුගාමිකයන් උනන්දු කරවයි. මේ හැර තේ වතු විනාශ කොට ඒවා වල බතල සිටවීමටද කථිකා 71 කැරැල්ල කාලයේ තිබුනේය​. තවද 1971 සහ 1988-89 කාලවලදී විජේවීර අනුගාමිකයෝ තේ කර්මාන්ත ශාලා බොහෝ ගනනක් ගිනි තබා විනාශ කලහ​. 
 
මැරයන් ගේ පහරදීම් නිසා සදාකාලිකව ආබාධිතයෙකු වූ තම පියාට මව වූ නැසිනෝනා වික්‍රම කළුතොට  නිසි ආකාරව උවටැන් නොකර බව විජේවීරගේ අදහස වූයේය​. මේ නිසා නොයෙක් වර තම අප්‍රසාදය ඔහු තම මව වෙත දක්වන ලදි. විජේවීර තුල තම මව කෙරෙහි අවිඥාණික ගැටුම් (unresolved mental conflicts ) තිබුණු බව පෙනී යයි. වරක් අනුගාමිකයන් ඉදිරිපිට දී (71 කැරැල්ලට ස්වල්ප කාලයකට පෙර​) ඔහු තම මව තමාට සැතිරියක් බව පවසයි. මව කෙරෙහි වූ අවිඥාණික වෛරයද විජේවීර ගේ පෞරුෂය කෙරෙහි බලපෑවේය​. මෙම තත්වය විජේවීරව වඩාත් නිර්දය සහ අඩු සහකම්පනීය චරිතයක් බවට පත් කලේය​. 
 
උපතින්ම විජේවීර ගේ දත් බොල්ලෑ විය​. මේ නිසා කුඩා කාලයේ සිටම ඔහු තුල හීනතාමාන සංකීර්ණය ගොඩනැගුනි. 1971 කැරැල්ල නඩු විභාගයට පෙරද පසුද විජේවීර තම ඉදිරියට නෙරා ඇති දත් අතින් පස්සට තෙරපනු අනුගාමිකයන් බොහෝ දෙනෙකු දැක තිබුණි​. තමන් අවලක්‍ෂණ බවත් විරුද්ධ ලිංගිකයන් ගේ අවධානයට ලක් නොවන බවත් ඔහු විශ්වාස කලේය​. ඔහු ශරීර ස්වථාවය කෙරෙහි උනන්දු නොවීය​. නොනෑම සහ කිලිටි ඇඳුම් ඇඳීම ඔහු කලේය. ඔහුගේ අනුගාමිකයෝද මේ අනුව යමින් ශරීර ස්වථාවය අත් හැර දැමූහ​. 
 
1966 මැයි මාසේ දිනක අක්‌මීමන දී විජේවීර නව පක්‍ෂයක් ආරම්භ කරන ලද අතර මුතුමාල නම් එක් ආරම්භක සාමාජිකයෙකු තරුණියකට පෙම් හසුනක් ලියා ඇති බව ආරංචි වූ විජේවීර මුතුමාලව නෙරපා දැමුවේය​. ප්‍රේම සබඳතා වලට ඔහු විරෝධය දැක්වූයේ එසේය​. මුල් කාලයේදී පෙම් සබඳතා නවතා දමන ලෙස විජේවීර තම අනුගාමිකයන්ට නියෝග කලේය​. මේ අනුව විජේවීර අනුගාමිකයන් බොහෝ දෙනෙකු තම පෙම්වතියන්ට සමු දුන්හ​. මෙම ක්‍රියාව වික්ටර් අයිවන් තම 71 කැරැල්ල පොතෙන් පෙන්වා දෙන්නේ හුදු ලිංගික ඉරිසියාව මත පදනම්ව විජේවීර විසින් ගත්  තීරණයක් ලෙසටය​.දත් බොල්ලෑව නිසා ඇතිවූ හීනතාමාන සංකීර්ණයේ උග්‍රාවස්ථාව ලෙස අනුමාන කල හැක්කේ පියකරු මුහුණක් තිබූ විජය කුමාරතුංගගේ  මුහුණ විකෘති වන ලෙසට වෙඩි තැබීමට ඝාතකයා මෙහෙයවීමය​. 
 
පෙනී යන පරිදි රෝහණ විජේවීර තුල දත් බොල්ලෑව නිසා Body dysmorphic disorder තත්වය  තිබූ බවට  උපකල්පනය කිරීමේ සාධක තිබේ. බොහෝ අවස්ථාවලදී ඔහු තම දත් බොල්ලෑව පිළිබඳව චින්තාපර විය​. 71 කැරැල්ල ආසන්නයේදී පවා පේරාදෙනිය දන්ත පීඨයෙන්  තම ඉදිරියට නෙරා ඇති දත් ශල්‍යකර්මයක් මගින් සාමාන්‍යකරණය කර ගත යුතු බව ඔහු සෝමසිරි කුමානායකට කීවේය​. මෙම විකලතාව නිසා ඔහු තනිව සිටින විට අත් වලින් දත් පසුපසට තද කිරීම ග්‍රස්තියක් සේ වැඩුනේය​. එසේම ඔහු කණ්නාඩියකින් මුහුණ බැලීමටද අකමැති වූ බව ඔහුගේ සමකාලීනයෝ පෙන්වා දෙති. මෙම විකලතාව විජේවීරට චිරකාලික කාංසාමය තත්වයක් ඇති කරන ලදි. විජේවීර ගේ සමහර සර්වතෝභද්‍ර වාදී ප්‍රවණතාවල මූලයන් මෙම Body dysmorphic disorder තත්වය සමග බැඳී පැවතිනි. 
 
 තම ව්‍යාපාරය ආරම්භ කල කාලයේදී කාන්තාවන් ඉදිරියේදී ඔහු අක්‍රිය විය​. පන්ති පහ පවත්වන විට කාන්තාවන් ඉදිරියේදී විජේවීර බිම බලාගෙන දේශන කල බව ඩී.ඒ ගුණසේකර සහ  චන්ද්‍රක්කා හෙවත් චන්ද්‍රා ජයන්ති පෙරේරා පවසති. නමුත් යසෝමා සහ මලී යන යුවතියන්  සමග හාද වීමෙන්   පසු ඔහුගේ සබකෝලය ක්‍රමක් ක්‍රමයෙන් අඩු විය​.   පසුකාලීනව එනම් 1988 - 89 අතර කාලය වන විට විජේවීර කාන්තාවන් කිහිප දෙනෙකු සමග සබඳතා පැවැත්වූ බව  කෑගල්ලේ පීරිස් හෙවත් විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් පවසයි. මේ කාන්තාවන් අතර හලාවත මොරීන් නම් කාන්තාවක්ද වූ බව විල්ෆ්‍රඩ් රංජිත් පීරිස් වැඩි දුරටත් පවසයි.  මේ සාධකය පෙන්වා දෙන්නේ විජේවීර නරක චරිතයක් තිබූ පුද්ගලයෙකු බව කියන්නට නොව ඔහු තුල තිබූ ස්ත්‍රී භීතිකාවේ පසුකාලීන රැඩිකල් සීරු මාරුව පෙන්වා දීමටය​. 
 
ඔහුගේ විවහාය සිදු වන්නේද අසාමාන්‍ය ලෙසටය​. විජේවීරට දොස්‌තර චන්ද්‍ර සුභාෂ් ප්‍රනාන්දු ගේ නැගෙනිය වූ චිත්‍රාංගනී විවහා කර ගැනීමට අවශ්‍ය  වූවද චිත්‍රාංගනී මුලදී එයට කැමති වී නැත​. ඉන් කුපිත වූ  චන්ද්‍ර සුභාෂ් තම නැගෙනියට හා තම මව​ට වෙඩි තබා මරා දමන බවට තර්ජනය කොට තිබේ.මින් තැතිගත් චිත්‍රාංගනී විවහායට එකඟ වූවාය​. යටි බිම් ගතව සිටි කාලයේදී චිත්‍රාංගනී දරුවන් ගනනාවක් වැදුවාය​. 
 
සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීමෙන් පසු විජේවීර 1960 දී  ශිෂ්‍යත්වයක් ලබා වෛද්‍ය උපාධිය හැදෑරීමට සෝවියට් දේශයට ගියේය.  මේ කාලය තුලදී රුසියානු තරුණියන් සමග සබඳතා පැවැත්වූ ලාංකික තරුණයන්ට දොස් පැවරීමට ඔහු පුරුදුව සිටියේය​. තවද ඔහු ගත කලේ එකලා (isolated) ජීවිතයකි. තෙවන වසරේදී  ඔහු ජීව රසායණ විද්‍යාව (Bio Chemistry) විශය අසමත් විය​. මේ සමය තුලදී විජේවීර තුල ක්ලමථ තත්වයන් නිසා සමායෝගී ආබාධ  (Adjustment Disorder) තත්වයක් වර්ධනය වූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. 
 
ලංකාවට පැමිණි පසු චීන පිළ සමග සබඳතා පැවැත්වීම නිසාද කොමියුනිස්ට් පක්‍ෂයේ  කේ පී සිල්වාව විවේචනය කිරීම නිසාද කේ පී සිල්වා විසින් රුසියානු තානාපති කාර්‍යාලයට දන්වා විජේවීර ගේ විසා අත් හිටුවීම නිසා ඔහුගේ  ශිෂ්‍යත්වය අවලංගු විය​. මෙය ඉතා පහත් අන්දමේ පළි ගැනීමකි. එහෙත් මේ නිර්දය ක්‍රියාවට ලාංකික සිසු පරපුරට විශාල වශයෙන් වන්දි ගෙවීමට සිදු විය​.  තම උසස් අධ්‍යාපනය කඩාකප්පල් කිරීම පිළිබඳ පළි ගැනීම විජේවීර අවිඥානිකව කරන ලද්දේ ලංකාවේ විශ්ව විද්‍යාල වල අර්බුද ඇති කිරීම මගිනි. මේ දක්වා විජේවීරවාදීන් විසින් නවක වදය ,වර්ජන  වැනි ක්‍රියා මගින් ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කර තිබීම අවධානයට ලක් විය යුතුය​. 
 
මාගේ අදහස අනුව විජේවීර තුල  Posttraumatic embitterment disorder (PTED)  තත්වය තිබූ බවට සිතීමේ සාධක තිබේ. මෙම  Posttraumatic embitterment disorder (PTED)  තත්වය PTSD (Posttraumatic stress disorder ) නොහොත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ආදර්ශයට ගෙන ජර්මානු මනෝ විද්‍යවරයෙකු වන මහාචාර්ය මයිකල් ලින්ඩෙන් විසින් ඉදිරිපත් කරන ලද්දකි. මෙම  Posttraumatic embitterment disorder (PTED) තත්වයෙන් පෙලෙන්නන් තුල අවිඥානික වෛරය , ක්‍රම විරෝධී බව , ලෝකය අයහපත් අසාධාරණ ස්ථානයක් බවත් එම ලෝකය කෙරෙහි එදිරිය​, සමාජය හා නීති පද්ධතීන්  කෙරෙහි  අප්‍රසන්න තිත්ත භාවය , අපිළිසරණ හැඟීම් , පළි ගැනීමේ ආශාව , සහකම්පනීය හැඟීම් අඩු බව , දුක්මුසු මනෝ භාවයන් , තිබෙන බව මහාචාර්ය මයිකල් ලින්ඩෙන් පෙන්වා දෙයි. 
 
1975 සිරගතව සිටියදී ද 1982 ජනාධිපතිවරණ පරාජයෙන් පසුවද රෝහණ විජේවීර තුල විශාදයේ ලක්‍ෂණ පහළ විය​.  පොලිස් අත් අඩංගුවේදී විජේවීර කායික මානසික වද බන්ධයන්ට ලක් විය​. විජේවීර නිතරම පොලිසිය සහ පොලිස් ස්ථානයන් බියෙන් මඟ හැරි බව ලයනල් බෝපගේ මහතා පවසයි. ඔහු තුල පශ්චාත් ව්‍යසන ක්ලමථ තත්වයන් නිසා මතුවූ   පරිවර්ජනය (Avoidance) තිබුනේද යන්න මේ අනුව  සිතා බැලිය යුතුය​.   
 
විජේවීර සැකය කේන්ද්‍ර කොට ගත් චරිතයක් බව ඔහු සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කල කෙලී සේනානායක පවසයි. එසේම අධි තක්සේරුව සහ පැරනොයිඩ ස්වභාවයන් විජේවීර කෙරෙන් දිස් විය​. ඔහු ඉන්දුනීසියාවේ මෙන් බරපතල වාමාංශික මර්ධනයක් 1970 දී සිදු වන බව තදින් විශ්වාස කලේය​. එසේම 7 වන ඇමරිකානු නාවික බල ඇණිය ලංකාව ආක්‍රමණය කරනු ඇති බවට ඔහු බිය විය​. මේ සඳහා ඇමරිකාව විසින් ජේ ආර් ව  1970 මැතිවරණයේදී බලයට පත් කරනු ලබන බවට ඔහු අණාවැකි කීවේය​. බෙන්තොට හෝටලය ඇමරිකානු කඳවුරක් බවත් ඇල්ල වැල්ලවාය මාර්ගය පළල් කරනුයේ ඇමරිකානු යුද යානා බැස්සීමට බවත් ඔහු විශ්වාස කල අතර  අනුගාමිකයන් තුලද බිය පැතිරුවේය​. ඇතැම් විට පැරනොයිඩ ස්වභාවය නිසාද ඔහු තමාගේ කිට්ටු සහචරයන් පවා සැක කලේය​. ඇමරිකාවට ගොස් තිබූ සුසිල් සිරිවර්ධන සී අයි ඒ නියෝජිතයෙකු බව ඔහු සිතුවේය​. එසේම ඩී.ඩී සිල්වා සී අයි ඒ සංවිධානයට ඔහු ගැන තොරතුරු සපයන බවට චෝදනා කලේය. 
 
විජේවීර තුල අනාරක්‍ෂිත හැඟීම් ( feelings of insecurity ) තිබූ අතර මේ නිසා ධර්මසේකර , නිහාල් ඩයස්,  සරත් විජේසිංහ සනත් බොරළුකැටිය යනාදීන් කෙරෙහි ඉරිසියාවක් මෙන්ම ඔවුන්ව කපා දමා ක්‍රියා  කරන තත්වයක් තිබුණි. මේ නිසා පක්‍ෂයේ අභ්‍යන්තරය දුර්වල විය​. මේ හැර විජේවීර තුල ක්සෙනෆෝබියා (Xenophobia)  හෙවත් විදේශිකයන් කෙරෙහි ඇති බියද පෙනී යයි. මේ ක්සෙනෆෝබියා තත්වය තවමත් ඔහුගේ අනුගාමිකයන් අතර දක්නට තිබේ.
 
විජේවීරට මාක්ස්වාදය පිලිබඳ ගැඹුරු දැණුමක් නොතිබි බව මහාචාර්‍ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය වික්‍රම බාහු කරුණාරත්න පවසති. එසේම විචාර බුද්ධියෙන් යුතු ප්‍රශ්න අසන්නන් විජේවීර විසින් තම ව්‍යාපාරයෙන්  කපා දැමූ බව විරාජ් ප්‍රනාන්දු සහ අනගාරික ධර්මසේකර  පෙන්වා දෙති. ඔහු විචාර බුද්ධියෙන් අඩු ආවේගශීලී කොටස්  ඉලක්ක කල බව වික්ටර් අයිවන් සඳහන් කරයි.  මෙම විචාර බුද්ධියෙන් අඩු ආවේගශීලී කොටස් සඳහා ඇතැම් පොත් කියවීම ඔහු තහනම් කල අතර එක් ආකාරයකට මෙම කොටස් අතර මුග්ධ භාවයක් ඔහු නඩත්තු කලේය​. 
 
විජේවීර ලෙනින් කෙරහි ආශක්ත විය​. ඔහුගේ ලෝකයේ වීරයා වූයේ ලෙනින් ය​. ඔහු ඇවිදින විට පියවර තැබුවේ ලෙනින් ලෙසටය​. එහෙත් ඔහු ලෙනින් ගේ කෘතීන් විශ්ලේශනාත්මකව කියවා තිබුනේ නැත​. ලෙනින් කෙරෙහි ප්‍රසාදයක් දැක්වූවද අනුගමනය කලේ ස්ටාලින්වාදී ප්‍රතිපත්තිය​. 1971 දී   විජේවීර සන්නධ වීමට හා විප්ලවයක් කිරීමට අනුගාමිකයන්ට උපදෙස් දුන් නමුත් කැරැල්ලේ වගකීම තමාගේ නොවන බව කැරැල්ලේ පරාජයෙන් පසු කීවේය​. ඔහු 1971 නැගිටීම ලඝු කලේ ලොකු අතුල විසින් දියත් කරන ලද ප්‍රහාරයක් ලෙසටය​.   
ඔහුගේ සමහර න්‍යායන් ඉතා ලාමක විය​. උදාහරණයක් ලෙස ලංකාවේ පොලිස් ස්ථානයන් යටත් කිරීමට  ජාපාල න්‍යාය ගැන ඔහු කීවේය​. ඔහු විස්තර කර පරිදි සෑම පොලිස් ස්ථානයකම කෑම ඉවීම සඳහා කොළුවෙකු සිටියි. මේ කොළුවන් මිත්‍ර කර ගෙන පොලිස් භටයන් ගේ ආහාර වලට ජාපාල මිශ්‍ර කොට ඔවුන්ට බඩ රුජා සාදවා පොල්සි ස්ථාන වල බලය ඇල්ලිය යුතු බව වරක් ඔහු කීවේය​. එසේම බෝම්බ නිපදවීම සඳහා තිරිවාණා ගල් එකතු කරන ලෙසට සමහර අනුගාමිකයන්ට කී බව 71 හිටපු සාමාජික විජය උඳුපිටිය කියයි. තිරිවාණා ගල් එකට ගැටුණු විට ගිනි පුපුරු විසිවේ. මෙමගින් බෝම්බ පිපිරවීමට අවශ්‍ය ගින්දර නිපදවිය හැකි බවට විජේවීර මතයක් පළ කලේය​. 
 
ආවේගශීලීව කථාකිරීම තුළ අන්ධ භක්තියෙන් යුත් අනුගාමිකයෝ වශීකර ගැනීමත්  කුල පීඩනයට අසුවී සිටි පුද්ගලයන්ට සමාජ කණ්ඩායම තුළ වැඩි වටිනාකමක් දීම මගින් ඔවුන්ව අන්ධ  අනුගාමිකයින් බවට හැරවීමට විජේවීර සිදු කල බව වික්ටර් අයිවන් පෙන්වා දෙයි. ගරිල්ලා ව්‍යාපාරයක් පිළිබඳව දේශනා කලද ගරිල්ල භටයෙකු ගේ ජීවිතය පිළිබඳව විජේවීරට ප්‍රායෝගික අවබෝධයක් නොවූ බව ගරිල්ලා භටයෙකු ලෙස 71 කැරැල්ල සමය තුලදී කැලෑ වල දීර්ඝ කාලයක් ගත කල  බුලට් මහින්ද පවසයි. මේ හැර ආයුධ පිලිබඳව විජේවීරට 1971 කාලයේ දැණුමක් නොතිබූ බව විරාජ් ප්‍රනාන්දු පෙන්වා දෙයි. 
 
 තම පාක්‍ෂිකයන් තමාව ස්ටාලින් ව මෙන්  විවේචන වලින් තොරව ඇදහීමකට ලක් කිරීම විජේවීර අපේක්‍ෂා කලේය​. මෙම තත්වය සෝවියට් දේශයේ හඳුන්වන ලද්දේ "කුල්ත් ලීච්නස්ති ස්තාලිනා"  ලෙසටය​. විජේවීර තමාව කල්ට් එකක් ලෙසට පාක්‍ෂිකයන් අතර මාකට් කරන ලදි. මේ සඳහා ඔහු යොදා ගත්තේ තමාගේ උග්‍ර බැතිමතුන් ය​. 
 
 මුල් කාලයේදී විජේවීර ඉතා සරළ දිවි පෙවතක් ගත කලද ඉරාන ඉරාක අර්බුධයේදී ඉරාකය වෙනුවෙන් කල රහසිගත මෙහෙයුම වෙනුවෙන් විශාල මුදලක් පක්‍ෂය වෙනුවෙන් ලබා ගන්නා ලදි. මේ මුදල් වලින් එකල අළුත්ම හත ශ්‍රී වාහනයක් ඔහු මිලදී ගන්නා ලදි. මේ ක්‍රියාව ව්‍යාපාරික උපාලි විජේවර්ධන හාස්‍යට ලක් කලේ තමාත් විජේවීරත් දැන් එලවන්නේ හත ශ්‍රී කාර් කියමිනි. 
 
විජේවීරට තම පවුල කෙරෙහි ආදරයක් දයාවක් තිබුනේය​. ඔහු දයාබර පියෙකු විය​. එහෙත් සමහර අවස්ථා වලදී අන්‍යන් කෙරෙහි සකම්පනීය අවබෝධයකින් (empathy) තොරව ක්‍රියා කලේය​. ඇතැම් අවස්ථා වලදී විජේවීර තම අනුගාමිකයන් උපකරණ ලෙස සභානුභූතියකින් තොරව භාවිතා කලේය​. යාපනය සිර ගෙදර සිියදී දිවි නොතකා ඔහුව බේරා ගැනීමට පැමිණි බර්ටි රංජිත්ව  නොතකා හැරියා පමණක් නොව යටත් පිරිසෙන් ඔහුගේ මුහුණ දෙස වත් නොබැලුවේය​. ඔහු වෙනුවෙන් ලේ කඳුළු හෙලූ අපරිමිත කාර්‍යභාරයක් කල නන්දන මාරසිංහ මරා දැමීමට නියෝග දුන්නේය​. එසේම තමා සමග අතීතයේ සිටි කෙලී සේනානායක​, ප්‍රේමපාල හේවාබටගේ ,රොබට් ජයසේකර  වැන්නවුන් ගේ ජීවිත විනාශ කිරීමට සැලසුම් කලේය​.  ඔහු සමාව නොදෙන (unforgiving)  තරහා හිතේ තබා ගන්නා පුද්ගලයෙකු බව ඔහුගේ පැරණි අනුගාමිකයෝ පෙන්වා දෙති.  ඝාතන කෙරෙහි ආශක්ත වූ  විජේවීර විසින් දියත් කරන ලද ඝාතන දේශපාලනය පිළිබඳව නිසි හැදෑරීමක් මේ දක්ව කෙරී නැත​. 
 
1971 දී ප්‍රති විප්ලවවාදීන් ලෙස හඳුන්වන ලද කො.ප සාමාජිකයන් සහ අනෙකුත් කොටස් මරා දමන ලෙසට විජේවීර නියෝග කලද බොහෝ දෙනෙකු තම ප්‍රදේශ වල ඝාතන කලේ නැත​. 1971 කැරැල්ල ආසන්නයේදී ප්‍රේමපාල හේවාබටගේට විජේවීරගේ රහස් ලියවිල්ලක් අසු විය​. එම ලේඛනයට අනුව පුද්ගලයන් 120 කට ආසන්න ප්‍රමාණයක් මරා දමන ලෙසට විජේවීර නියෝග කර තිබූ අතර ශිෂ්‍ය අංශයට වලවල් කපා තිබෙන ලෙසට දන්වන ලදි. ප්‍රේමපාල විසින් මෙම ලේඛනය විනාශ කල හෙයින් විජේවිර කෝප වූයේය​. 1988-89 කාලයේදී ඝාතන සිදු කිරීම සඳහා විජේවීර විසින් යොදා ගත්තේ දේශපාලන විඥානයෙන් අඩු ආවේගශීලී නූගත් සාමාජිකයන් මෙන්ම පාතාල සාමාජිකයන් ය​. මොවුන් 71 සාමාජිකයන් මෙන් නොව ඉතා නිර්දය ලෙසින් ඝාතන නියෝග ක්‍රියාත්මක කරන ලදි. විජේවීර පුද්ගලිකව මිනිසුන් මරා නොදැමුවද බොහෝ දෙනෙකුගේ ඝාතන සඳහා නියෝග දුන්නේය​. 
 
1971 දී හෝ 88-89 දී විජේවීර ජයග්‍රහණය කලේ නම් පොල්පොට් පන්නයේ ඝාතන මාලාවක් වනු ඇති බව බොහෝ දෙනෙකු පෙන්වා දෙති. මොවුන් අතර හිටපු විජේවීර පාක්‍ෂිකයන් වූ කෙලී සේනානායක​, ප්‍රේමපාල හේවා බටගේ, නවරත්න බණ්ඩා යනාදීන් මෙන්ම ස්වාධීන දේශපාලන නිරීක්‍ෂකයෝ වෙති.  1989 දී ජවිපෙ හිටපු සාමාජිකයෙකු වූ ප්‍රේමලාල් රණවීරගේ 1975 කාම්බෝජයේ  බලය අල්ලාගත්  පොල්පොට් පාලනය ගැන ලියූ ලිපියක් විජේවීර අතට පත් කලේය​. එම ලිපියේ පොල්පොට් විසින් කරන ලද ජන ඝාතන ගැන සඳහන්  විය​. එහෙත් එම ලිපිය කියවූ විජේවීර පොල්පොට් විසින් කරන ලද ජන ඝාතන පිළිබඳ ප්‍රවෘත්තිය බොරුවක් බවත් මෙය සෝවියට් ඔත්තු සේවය  ගෙන  යන බොරු ප්‍රචාරයක් බවත්  කියන ලදි. ඔහු පොල්පොට්ව සාධාරණීකරනය කලේය​. 
 
විජේවීර  ධ්‍රැවගත චින්තනයෙන් ( Polarized Thinking) යුක්ත  විය​. ඔහු බාහිර ලෝකය දුටුවේ කළු සුදු ලෙසටය​. ඔහුගේ  ලෝකයේ  පුද්ගලයෝ   ප්‍රධාන වශයෙන් කොටස්  දෙකකි. එනම් පාක්‍ෂිකයන් සහ ද්‍රෝහියන් ය​. ද්‍රෝහියන් කායික වශයෙන් විනාශ කල යුතු බව විජේවීර ඇදැහූ අතර ඝාතනය කල පුද්ගලයන් පිලිබඳව ඔහුට කිසිම පශ්චාත්තාපයක් නොවීය​. 
 
විජේවීර අධ්‍යාත්මික වශයෙන් අවදි නොවූ චරිතයකි. ආගම් සම්බන්ධයෙන් විජේවීරට තිබුනේ උදාසීන පිළිවෙතකි. භෞතිකවාදියෙකු ලෙස පෙනී සිටියද විජේවීරගේ අභ්‍යන්තරය සියයට සියයක් භෞතිකවාදී නොවීය. 71 කැරැල්ල ආසන්නයේදී ඩී.ඩී සිල්වාගේ බිරිඳ අංජනමක් බලා  විප්ලවයෙන් පසු නායකයා වන්නේ විජේවීර නොවන බව කී විට ඔහු එය බැරෑරුම්ව ගත්තේය​. එහෙත් උලපනේදී අත් අඩංගුවට  පත් වූ විට  දරුවන් ගේ ආගම වෙනස් නොකරන ලෙස සිය බිරියගෙන් ඔහු ඉල්ලීමක් කලේය​.
 
විජේවීර තුල ප්‍රතික්‍රියා මනසක් තිබූ බව පියසිරි කුලරත්න පෙන්වා දෙයි. එය හැම්ලට් චරිතය මෙන්‍   ඉවසීම තීක්‍ෂණය අවශ්‍ය ස්ථාන වල ආවේගයෙන් ඉක්මන් තීරණ ගැනීමද ක්‍ෂණික දැඩි තීරණ අවශ්‍ය වූ ස්ථාන වලදී අක්‍රියව සිටි බවටද පියසිරි කුලරත්න පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස 71 පහරදීමේ තීරණයේදී විජේවීර ව්‍යාකූළ විය​. ඔහු ලාල් සෝමසිරි අත එක් පණිවිඩයක්ද (පහර දෙන්නේ නම් 500 ක පිරිසක් සමග යාපනය බන්ධනාගාරයෙන් ඔහුව මුදවා ගන්නා ලෙසද) ඔස්මන් ගේ මව වන සීලවතී අත (පසුබසින්න​) වෙනත් පණිවිඩයක්ද එවයි. 
 
එසේම  තමන්ට වාසිදායක බාහිර යථාර්ථය මිස අහිතකර තථ්‍යතාවන් නොසලකා හැරිය බව පියසිරි කුලරත්න වැඩි දුරටත් පවසයි. එක් අවස්ථාවකදී විරාජ් ප්‍රනාන්දු 1971 විප්ලවය සිදු විය යුතු ආකාරය ගැන විජේවීර සමග තර්ක කලේය​. විජේවීර කීවේ දිවයින පුරා පොලිසි වලට පහර දිය යුතු බවය. පොලිසි වලට පහර දුන් විට යුද හමුදාව අවි අමෝරාගෙන එන්නේ නැත්දැයි විරාජ් ප්‍රනාන්දු විජේවීරගෙන් ඇසුවේය​. විජේවීර එවිට කීවේ ජනතාව එවිට ඉදිරියට පැමිණ හමුදා තුවක්කු වලට පපුව දෙන බවය​. මෙය විජේවීර විසින් අහිතකර තථ්‍යතාවන් නොසලකා හැරිය එක් නිදසුනකි. 1988-89 භීෂණ සමයේ යම් ලෙසකින් තමා අත් අඩංගුවට පත් වුවහොත් ජනාධිපති ප්‍රේමදාස ඔහුට සමාව දී ආණ්ඩුවේ කොටස් කාරයෙකු කර ගනු ඇතැයි ඔහු සදොස් ලෙස විශ්වාස කලේය​. තම තත්වය අධි තක්සේරු කල විජේවීර තම සතුරන් අව තක්සේරුවකට ලක් කරන ලදි. 
  
1970  දී හම්බන්තොට දී  විජේවීරව ප්‍රථම වතාවට පොලිස්‌ අත්ඩංගුවට පත් වූ විටදී ඔහුව ප්‍රශ්න කරන ලද්දේ රහස් පොලිසියේ නිලධාරියෙකු වූ සර්නි විජේසූරිය මහතාය​.  සර්නි විජේසූරිය මහතා පවසන අන්දමට විජේවීර උද්ධච්ච චරිතයකි. එහෙත් ශාරීරිකව දුර්වල නිසා ඔහු බියසුළු සහ තර්ජනය හා වධයන් හමුවේ දරා සිටීමේ හැකියාව (endurance) නැති පුද්ගලයෙකි. බියට පත්වූ විට විජේවීර කළබල වන බවත් පීඩාකාරී තත්වය මඟ හරවා ගැනීම සඳහා ඔහු ඇසූ ප්‍රශ්න වලට පිලිතුරු දුන් බවත් සර්නි විජේසූරිය මහතා කියයි. වරක් මැලේරියා ජීප් රථයට බියවූ විජේවීර පැන දිව් බව වික්ටර් අයිවන් ගේ 71 කැරැල්ල කෘතියේ සඳහන් වේ. දරා ගැනීම අතින් ශක්තිමත් වූ නන්දන මාරසිංහ වැන්නවුන් සමග සංසංදනය කිරීමේදී විජේවීර සිටියේ බොහෝ පසුපසිනි. 
 
පසු අවස්ථාවක උපාලි සෙනෙවිරත්න සහ ඇන්ටන් ජෙගනාදන් යන රහස් පොලිස් නිලධාරීන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ විජේවීර තම ව්‍යාපාරයේ සාමාජිකයන් හෙලි කරමින් ඉතා විශාල කට උත්තරයක් ලිඛිතව මෙන්ම වාචිකව (පටිගත කිරීමෙන්) දුන්නේය​. මේ දීර්ඝ කට උත්තරය ඇසූ කළු ලකී, පියතිලක​, ලොකු අතුල, පියසිරි කුලරත්න, ලක්‍ෂ්මන් මුණසිංහ​, චූකී ප්‍රේමරත්න, ඉන්කම් ටැක්ස් කරු, බෝල සමරේ, ප්‍රේමපාල හේවා බටගේ, පාලිත ශාම්දාස්, සෝමපාල ගරුසිංහ වැනි විජේවීරගේ ප්‍රබල අනුගාමිකයන් බොහෝ දෙනෙකු ඔහු කෙරෙන් දුරු විය​. සෝමවංශ අමරසිංහද 71 කැරැල්ලෙන් පසු ඔහුව අත් හැරි නමුදු පසුව යළි එකතු විය​. මේ අනුව  පුද්ගලයන් දිනා ගැනීමේ විශිෂ්ඨ හැකියාව විජේවීර තුල තිබුනද එය දිගින් දිගටම පවත්වා ගැනීමේ අව්‍යාජ බව සීමා සහිත  වීම නිසා ඔහුගෙන් අනුගාමිකයන් බොහෝ දෙනෙකු හැලී ගිය අතර මොවුන්ව පසු කාලයකදී ද්‍රෝහියන් ලෙස ලේබල් කරන ලදි. 
 
කල්‍යාණ කරුනාරත්න පෙන්වා දෙන අන්දමට විජේවීර වරෙක පොඩි මොන්ටිසෝරි දරුවෙකි ඇතැම් විට හිට්ලර් කෙනෙකි. ඔහුගේ මනෝ භාවයන් දෝලනය විය. විජේවීර තුල මතවාදී ආඥාදායකත්වයක් තිබූ බව අනගාරික ධර්මසේකර සඳහන් කරයි. එසේම ඔහු තුල ජාතිවාදී ප්‍රවණතාද වූයේය​. මේ ජාතිවාදී ප්‍රවණතා නිසා ලයනල් බෝපගේ විජේවීර ගෙන් ඉවත් වී ගියේය​.  විජේවීර තුළ තිබූ ද්‍රවිඩ විරෝධයේ ස්වභාවය කුල ආධිපත්‍යය හරහා පැමිණි එකක් බවත් කුල සාධකය නිසා බහුතර සිංහල සමාජයේ කොන්වෙන විට ද්‍රවිඩ විරෝධී සටන හරහා තම වලංගුභාවය කුලවාදී සිංහල සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමක් විජේවීර කළ බවත් වික්ටර් අයිවන් පෙන්වා දෙයි. 
 
විජේවීර ජාතිවාදය යොදා ගත්තේය​. ශන්මුගදාසන්ට එරෙහිව ඔහුගේ පාක්ශිකයන් කඩා ගැනීමේදී විජේවීර  ශන්ට එරෙහිව ජාතිවාදය යොදා ගත්තා පමණක් නොව ඔහුගේ නම පවා සඳහන් කලේ නාගලිංගම් ශන්මුගදාසන් ලෙස ඔහුගේ දමිළ භාවය ඉස්මතු කරමිනි.  
 
රෝහණ විජේවීර සංකීර්ණ චරිතයක් වූ බව නිසැකය​. ඔහු තුල යහපත් ගති ගුණ මෙන්ම විනාශකාරී ලක්‍ෂණ තිබුනේය​. අවිඥානික මානසික ගැටුම්, කායික අඩු ලුහුඞුවක් නිසා Body dysmorphic disorder තත්වය මෙන්ම Posttraumatic embitterment disorder (PTED) ලක්‍ෂණ ඔහු තුල තිබුනේය​. මේ  සියළු ලක්‍ෂණයන් රෝහණ  විජේවීර චරිතයට බල පවත්වන ලදි.  රෝහණ  විජේවීර යන චරිතය අවබෝධ කර ගත යුත්තේ මෙකී කියවීම් හරහාය​.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29539,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝහණ විජේවීර පිළිබඳ මනෝ විද්‍යාත්මක විශලේෂණයක් - වෛද්‍ය රුවන් එම්. ජයතුංග
රෝහණ විජේවීර පිළිබඳ මනෝ විද්‍යාත්මක විශලේෂණයක් - වෛද්‍ය රුවන් එම්. ජයතුංග
http://ift.tt/2iZLbiz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_850.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_850.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy