පළාත් පාලන ආයතනවලට අදාළ සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාවේ සාමාජිකයන් සියලු දෙනාගේ අත්සන් නොමැති බැවින් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆය...
පළාත් පාලන ආයතනවලට අදාළ සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාවේ සාමාජිකයන් සියලු දෙනාගේ අත්සන් නොමැති බැවින් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා එම වාර්තාව භාර ගැනීම පෙරේදා (02) ප්‍රතික්‍ෂේප කළේය.
කමිටු සභාපති අශෝක පීරිස් මහතා විසින් වාර්තාව පෙරේදා සවස ඇමැතිවරයාට භාර දුන් අතර එම වාර්තාවට කමිටු සාමාජිකයන් පස්‌දෙනාගෙන් තිදෙනකු පමණක් අත්සන් කර ඇති බැවින් ඉතිරි දෙදෙනාගෙන් අත්සන් ලබාගෙන වාර්තාව භාර දෙන ලෙස ඇමැතිවරයා කමිටු සභාපතිවරයාට එහිදී දැනුම් දුන්නේය.
එහිදී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා තමා කටයුතු කරන්නේ 2012 අංක 22 දරන පනතට අනුව බවත් කමිටුවට සාමාජිකයන් 5 දෙනකු පත් කළා නම් සියලු දෙනාගේ අත්සන් සහිත සම්පූර්ණ වාර්තාවක් තමාට අවශ්‍ය බවත් කියා සිටියේය.
තමා කමිටුවට ඉල්ලූ සෑම පහසුකමක්‌ම ලබා දුන් බවද මේ නිසා සම්පූර්ණ වාර්තාවක් තමා බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවසී ය.
ඇමැති - කමිටු සභාපති අතර උණුසුම් තත්ත්වයක්
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් කමිටු සභාපති අශෝක පීරිස් මහතා කමිටුවේ සාමාජිකයන් පස්‌දෙනාම එක්‌ව වාර්තාව සකස් කළ බවත් අත්සන් කිරීමට පැමිණෙන ලෙස දැනුම් දුන් පසුව වාර්තාවට බහුතර සාමාජික පිරිසක් අත්සන් කර ඇති නිසා වාර්තාව භාරදීමට පැමිණි බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම වාර්තාවට එක්‌සත් ජාතික පක්‍ෂය පත් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. මිස්‌බා මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන හිටපු ආණ්‌ඩුකාර සාලිය මැතිව් මහතාත් අත්සන් කර නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ජවිපෙ නියෝජනය කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මහාචාර්ය බාලසුන්දරම් පිල්ලෙයි යන මහත්වරු හා කමිටු සභාපතිවරයා වාර්තාවට අත්සන් කර ඇත.
මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශයක් කළ ඇමැතිවරයා සමහර මාධ්‍ය තමා වාර්තාව භාර ගැනීමට බියෙන් රටින් පලාගිය බව සඳහන් කර ඇති බවද තමා රට ගියේ වන්දනා ගමනකට බවද එය අතරමග දමා පෙරේදා අලුයම 4.00 ට යළි පැමිණියේ වාර්තාව භාර ගැනීමට ඇති අවශ්‍යතාව නිසා බවද කියා සිටියේය.
සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාව අමාත්‍යවරයාට එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා විසින් පෙරේදා භාර දුන් අවස්‌ථාවේ දෙදෙනා අතර තර්ක විතර්ක මතුවීම හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
එජාපයෙන් ඇමති ෆයිසර්ට දොස්
මේ අතර විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් ඊයේ(03) අදහස් දක්වමින් පැවසූයේ ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තම අභ්‍යන්තර අර්බුද එම අමාත්‍යාංශයේදී ම විසඳාගතයුතු බවයි.
රූපවාහිනී කැමරා ඉදිරිපිටට පැමිණ රඟපෑම් සිදුකර මැතිවරණය ප්‍රමාද කළ නොහැකි බව ද අමාත්‍යවරයා පැවසී ය.
අත්සන් නොකළ දෙන්නා ගැන සොයන්නලු
සීමා නිර්ණ කමිටුවේ වාර්තාවට අස්සන් කර නැති කමිටු සාමාජිකයින් දෙදෙනා එසේ අත්සන් නොකිරීමට වහා හේතු දැක්විය යුතුයැයි පැෆරල් සංවිධානය පවසයි.
ඔවුන්ට එම වාර්තාවට අත්සන් නොකිරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද, එසේ කිරීමට හේතුව එම කමිටුවට සහභාගි නොවීම හෝ වාර්තාව හැදූ පසු එය සභාපතිවරයා සහ අනෙක් කමිටු සාමාජිකයින් දෙදෙනා විසින් එය වෙනස් කිරීම නිසා ද යන්න මේ දෙදෙනා හෙළි කළ යුතු යැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි ආරච්චි මහතා පැවසී ය.
කෙසේ වෙතත් කමිටු වාර්තාව ගැසට් කිරීම විෂය භාර ඇමතිවරයාගේ වගකීම වන බැවින් කමිටුවේ අඩුපාඩුවක් ඇත්නම් එයට වගකිව යුත්තේ ද අමාත්‍යවරයා ම බව තමන්ගේ අදහස යැයි ද හෙතෙම සඳහන් කළේය.
සාමාන්‍යයෙන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු අත්සන් කර ඇත්නම් එය පිළිගත හැකි වාර්තාවක් බැවින් වාර්තාව අමාත්‍යවරයාට අවශ්‍ය නම් භාර ගැනීිමේ හැකියාවක් ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම අර්බුදයේ දී විෂය භාර ඇමතිවරයා මෙන්ම අගමැතිවරයා ට හෝ ජනාධිපතිවරයාට ද නිහඬව සිටිය නොහැකි යැයි ද උවමනාව ඇත්නම් ඊට මැදිහත්ව කමිටු වාර්තාව ගැසට් කිරීමට ඔවුන්ටද හැකියාව ඇතැයි හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS