දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලැම්බෝගිනි රේස් වෙනුවට මයික්‍රෝ රෝහලක්.

මීට අවුරුදු 3ට පෙර ලැම්බෝ ගිනි රේස් තිබූ මෙම ස්ථානය අද ජීවිත බේරාගන්නා මයික්‍රෝ රෝහලක් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ගාලු මුවද...


මීට අවුරුදු 3ට පෙර ලැම්බෝ ගිනි රේස් තිබූ මෙම ස්ථානය අද ජීවිත බේරාගන්නා මයික්‍රෝ රෝහලක් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ගාලු මුවදොර පිටියේදී පැවසීය.

ඒ ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් මෙරට ක්‍රියාත්මක හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවාව ආරම්භ කිරීම නිමිත්‍‍තෙන් ගාලු මුවදොරදී අද පෙරවරුවේ පැවැති උත්සවයේදීය.

ගාලු මුවදොර පිටියේ දී එම කටයුතු ආරම්භ කෙරුණේ  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර ‍ඊට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සිටියහ.

මේ යටතේ ගිලන් රථ 88ක් සේවාවට එක්වන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 1100කි.

එමෙන්ම මෙම සේවාව හරහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 550 දෙනෙකුට රැකියා අවස්ථා උදාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගිලන් රථ සේවාව ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත්‍ මෙසේද කියා සිටියේය.


වසර තුනකට පෙර මෙම ගාලූ මුවෙදාර පිටිය වැලි කොට්ට දමා යොදා ගත්තේ කුමක් සඳහාද? ලැම්බෝගිනි රථ ගණනාවක් මෙතනින් පිටවී වටේ ගිහින් දෙතුන් දෙනෙකු ඊට යටවී තුවාල වී මිය ගියා. රාජපක්ෂ  පාලනය යටතේ නයිට් රේසින් සඳහා යොදාගත් ගාලූ මුවෙදාර පිටියෙන් යහපාලන රජය යටතේ  රට තුළට ක්‍ෂුද්‍ර රෝහලක් අද පිටත්ව යනවා. එම කුඩා රෝහල් රට තුළට පිටව යන්නේ ජීවිත බේරා ගැනීම සදහායි. 

නයිට් රේස් පැවැත්වූ ස්ථානයේ තුවාලකරුවන් ළඟම ඇති රෝහලට ගෙන ගොස් දැමීම සඳහා ඒ යුගයේ හෙලිකොප්ටර් පවා නවත්වා තිබුණා. නමුත් ඈත ගම්මානවල හදිසි අනතුරක් සිදුවුවහොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? ගසකින් වැටී තුවාල ලැබුවහොත් සිදුවන්නේ කුමක්ද? හදිසියකට ගිලන් රථයක් සොයා ගන්නවත් බැහැ. ගිලන් රථ සොයා ගත්තත් ඒවා හොඳ තත්ත්වයේ නැහැ. 

ඉන්දියාවෙන් අපට ප්‍රදානය කර ඇත්තේ ඉතා උසස් තත්ත්වයේ ගිලන් රථ සේවයක්. රෝගියා රෝහලට ගෙනෙන තෙක් ඔහු ජීවත් කරවීම සඳහා අවශ්‍ය වන සියලූම පහසුකම් මෙම ගිලන් රථයේ ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම සෑම ගිලන් රථයකම හදිසි වෛද්‍ය කාර්මිකයෙකු සිටිනවා. අද අප අරඹන්නේ ජීවිත බේරා ගැනීමේ සේවයක්. මෙම සේවය නිසා ජීවිත ගණනාවක් සුරැකෙනවා. ඈත පළාතක රෝහලක සිට නගරයේ රෝහලකට රෝගීන් යවනවා නම් මෙවැනි ගිලන් රථ සේවයක් හරහා ජීවිතවලට සැලසෙන සහනය අපමණයි. 

අපට මෙතරම් කළක් මෙවැනි සේවයක් ලබා ගැනීමට නොහැකි වුණා. එසේ වූවාට මා රාජිත සේනාරත්න ඇමතිතුමාට දොස් කියන්නේ නැහැ. මන්ද පසුගිය වසර කිහිපයේදී සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් දළ දේශීය නිශ්පාදනයෙන් වෙන් කළ මුදල ඉතා අවමයි. එම තත්ත්වය යටතේ මෙවැනි සේවාවක් අරඹන්නේ කෙසේද ? පළමුවෙන්ම රෝහල්වල බෙහෙත් තිබිය යුතුයි. තිබෙන ගිලන් රථයට ඉන්ධන සොයා දිය යුතුයි. මෙවැනි සේවාවන් ගැන සිතිය යුත්තේ මා පෙර සඳහන් කළ මූලික පහසුකම් ලබාදීමෙන් අනතුරුවයි. 

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවැනි පූර්ව රෝහල් ප්‍රතිකාර ඒකකයක් අපට ලැබී තිබෙනවා. බස්නාහිර සහ දකුණ පළාත්වලට මුලින් මෙම සේවය ක්‍රියාත්මක කරනවා. විශාලතම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ එම පළාත්වලයි. මෙම අවස්ථාවය වැඩම කර සිටින ගලබොඩ ඤාණිස්සර පොඩි හාමුදුරුවන්ගේත්, බානගල උපතිස්ස හාමුදුරුවන්ගේත්, තිනියාවල පාලිත හාමුදුරුවන්ගේත් ගම් පිහිටා තිබෙන්නේ දකුණු පළාතේයි. දැන් අපේ ගිලන් රථ සේවාව අනුව අගලවත්ත, හිනිදුම ඕනෑම ප්‍රදේශයක ජනතාවට සේවය ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා. දුෂ්කර ගම් දනව්වල වෙසෙන ජනතාවට වුවත් කුඩා රෝහලකින් සම්පූර්ණ ප්‍රතිකාරය ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා. 

අපේ භාෂාවෙන් කියනවා නම් මේ කරන සත්කාරය පිනක්. මෙම පින අනුමෝදන් කළ යුත්තේ ශ්‍රීමත් නරේන්ද්‍ර මෝඩි ඉන්දීය අගමැතිතුමාටයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාවට පැමිණ අප සමග සාකච්ඡා කරන අවස්ථාවේදී මා මෙම ගිලන් රථ සේවය පිළිබදව සඳහන් කොට එය ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිදැයි විමසුවා. ඔහු කිසිදු පැකිලීමකින් තොරව එම සේවය අපට ලබාදීමට එකඟ වුණා. මෙම වැඩකටයුතු පටන් ගත්තේ එතැන් සිටයි. හැකි තරම් ඉක්මනින් එම සේවය ලබාදෙන ලෙස මා නරේන්ද්‍ර මෝඩි මහතාගෙන් ඉල්ලා සිටියා. නරේන්ද්‍ර මෝඩි මහතා දුක් විඳ ජයගත් අයෙකු නිසා මෙවැනි සේවයක ඇති වටිනාකම් පිළිබදව හොඳින් දන්නවා. එතුමාගේ ජීවිතයත් අමාරුවෙන් නැගී සිටි ජීවිතයක්. වත්මන් ඉන්දියාවේ බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂා වන්නේද මෙම පියවර නිසයි. 

නගරාශ්‍රිත ප්‍රදේශවල රෝගීන් ප්‍රවාහනයේදී තවත් වැඩසටහන් තිබෙන බව නරේන්ද්‍ර මෝදි මහතා මා සමග පැවසුවා. ගිලන් රථ වාහන තදබදයට හසුවෙනවා නම් පාපැදියකින් හෝ ගොස් රෝගීන් බේරා ගැනීමේ ක්‍රම වේද තිබෙන බව ඔහු මා සමග සදහන් කළා. අප ජීවිත බේරා ගත යුතුයි. එලෙස ජිවිත බේරා ගැනීම සදහා අප කළ ඉල්ලීම සලකා නරේන්ද්‍ර මෝඩි මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කර තිබෙනවා. එමෙන්ම එතුමා සමග කතා කොට අප දැන් ඉන්දියාවෙන් වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු කරන යන්ත්‍ර ගෙන ඒමට සූදානමින් සිටිනවා. එයත් අපේ අවශ්‍යතාවයක්. එලෙස අවශ්‍ය තැන්වලට උපකාර කිරීම සදහා අප ඉන්දියාවේ සහයෝගය ලබා ගන්නවා. 

රෝගීන් සුවපත් කිරීම අපට කළහැකි ලොකුම පිංකම බව බුදු දහමේ මෙන්ම හින්දු ආගමේද සඳහන්ව තිබෙනවා. රෝගීන්ට උවටැන් කිරිමේ අගය පිළිබදව බුදුන් වහන්සේ සෑම අවස්ථාවකම දේශනා කොට තිබෙනවා. ඒ සඳහා මහා සංඝ රත්නයටත් වගකීමක් තිබෙනවා. එමෙන්ම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේත් රෝගීන් සුවපත් කිරීමේ අගය පිළිබද දේශනා කර තිබෙනවා. මෙලෙස සෑම ආගමකම ගිලානෝපස්ථානයේ අගය පිළිබදව සඳහන් කර තිබෙනවා. ඉදිරියටත් සෞඛ්‍ය සේවය සදහා ඉන්දීය ආධාර ලබාගැනීමට හැකිවේවි. දැනටමත් ඉන්දියාවෙන් අපට රෝහල් දෙකක් ලබාදී තිබෙනවා. අපේ වෙදකම පැමිණියේ ඉන්දියාවෙන් බව අමතක නොකළ යුතුයි. ආයුර්වේද වෙදකම මෙන්ම දේශීය වෙදකම දියුණු කිරීම සඳහා ඉන්දියාව සමග ඒකාබද්ධ වී වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි. මෙවැනි දේ අපට ප්‍රතික්ෂේප කරන්නට හැකියාවක් නැහැ. 

නරේන්ද්‍ර මෝඩි මහතා මෙහි කළ කතාවට අප ඇහුම්කන් දුන්නා. යාපනයේ දුරෙයි අප්පා ක්‍රිඩාංගනය නවීකරණය කිරීම, උඩරට දෙමළ ජනතාවට නිවාස ඉදිකරදීම ආදී වැඩකටයුතු රාශියක් නරේන්ද්‍ර මෝඩි මහතා මැදිහත් වී සිදු කරනවා. ඒ පිළිබදව අප එතුමාට විශේෂ ස්තුතිය පළකරනවා. 

මා එනවිට මෙහි තිබුණේ ගිලන් රථ 88යි. මම යනවිට ගිලන් රථ පැටව් ගසා තව 20ක් තිබෙනවා. කළමණාකරණ හා පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය ජී. වී. කේ. රෙඩ්ඩි මහතා තවත් ගිලන් රථ 20ක් පරිත්‍යාග කළා. එතුමා කළේ විශාල පිනක්. අවශ්‍ය නම් දැන් එක් ගිලන් රථයක් කෝට්ටේ ප්‍රදේශයේ තබා ගැනීමට හර්ෂ ඇමතිතුමාට පුළුවන්. පාර්ලිමේන්තුවත් එම ප්‍රදේශයේ පිහිටා ඇති නිසා ඒක නුවණට හුරුයි. 

අප කරන මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලය තවත් වසරකින් දකින්නට ලැබේවි. හොඳ කියන්නේ එවිටයි. දැන් දොස් කියාවි. ඉන්දු ලංකා සබඳතා මේ අයුරින් විශාල ලෙස දියුණු කිරීමට හැකියාව තිබෙනවා. එමෙන්ම ඉන්දු ලංකා සබඳතා අප ශක්තිමත් කළ යුතුයි. අපට ඇත්තේ දේශපාලන සබඳතා පමණක් නොවේ. ඊට එහා ගිය ශක්තිමත් සබඳතාවක් අප සතුව තිබෙනවා. සංස්කෘතිය ආගම මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයෙන්ද ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා තිබෙනවා. 

ඉන්දු - ලංකා වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට පෙර සිට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ශක්තිමත් වෙළෙඳ සබඳතා තිබුණා. හොඳ වෙලාවට එකල රජවරුන් ඉන්දු - ලංකා ගිවිසුම් තහනම් කර තිබුණේ නැහැ. එලෙස තහනම් කළා නම් තපස්සු භල්ලූක වෙළෙඳ දෙබෑයන්ටත් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වෙනවා. එමනිසා මෙම අතීත සිද්ධි දැනගෙන අප මේවායින් ප්‍රයෝජන ගත යුතුයි. මේ සඳහා මුල් වූ ඉන්දියන් රජයටත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ සින්හා මහතාටත් වෛද්‍ය ජී.වී.කේ. රෙඩ්ඩි මහතාටත් ස්තුතිය පළ කළ යුතුයි. දැන් මේ වැඩකටයුත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදී තිබෙනවා. ඔබ එම වැඩකටයුත්ත බාරගෙන ආරක්ෂා කර ගන්න. ඒ සදහා වෙනම අංශයක් පිහිටුවන්න. ප්‍රතිපල පෙන්වන්න. මෙම ගිලන් රථවල ටයර් නැතිව තිබෙන අයුරු කිසි දිනෙක පෙන්වන්න එපා. එහි නඩත්තු කටයුතු සඳහා අප වෙනම මුදල් සොයා දෙන්නම්. 

මෙම සේවය නිසා ඈත ගම්මානවලට වෙනම රෝහල් සේවයක් ලබාදීමට අපට හැකියාව තිබෙනවා. අප බලාපොරොත්තු වන සුභසාධනය සැලසෙන්නේ ඒ තුළිනුයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ අප යහපාලන ආණ්ඩුවක් ඇතිකොට තිබෙන නිසා ජාත්‍යන්තරයෙන් අපට මෙවැනි ආධාර ලබාගත හැකියි. ඒ මෙරට දේශපාලන ස්ථාවර බවක් ඇති නිසයි. ඒ පක්ෂයට උදව් කරනවා, මේ පක්ෂයට උදව් කරනවා යැයි කිසිවෙකුට කියන්නට හැකියාවක් නැහැ. ජාතික ආණ්ඩුවක් යටතේ සියලූ දෙනාම උදව් කරන්නේ රටටයි. අද අපට ලැබී ඇත්තේ ජාතික ආණ්ඩුවේ වාසියයි. මේ ගැන වටහා ගෙන නොමැති ජනතාවටත් ඊළඟ මාස කීපයේදී වැටහීම ලබාගන්නට හැකිවේ යැයි මා කල්පනා කරනවා. 

සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙන්ම අධ්‍යාපනයටත් අප විශාල වශයෙන් මුදල් වියදම් කරනවා. වසර 13ක් අධ්‍යාපනය අනිවාර්ය කිරීම අපගේ සැලසුමයි. විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබාදීමට කටයුතු කර තිබෙනවා. විද්‍යා උපාධි ගුරුවරුන් පන්දහසක් බදවා ගැනීමට කටයුතු කරනවා. සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන අංශ දෙක අප අමතක කර නැහැ. මෙම ක්ෂේත්‍ර දෙක සඳහා වැය කරන මුදල් වැඩිකිරීමට අප කැපවී සිටිනවා. මෙම ගිලන් රථ සේවය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා උපකාර කළ ඉන්දීය රජයට නැවතත් විශේෂ ස්තුතිය පළකරනවා. 

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ පණිවුඩය
ශ්‍රී ලංකාව තුළ මෙම හදිසි ගිලන්රථ සේවාව සමාරම්භ කරන මෙම අවස්ථාවේදී නැවතත් මා හටත් බිලියන 1.25 ක් වූ ඉන්දීය ජනතාවටත් තාක්‍ෂණය ඔස්සේ අපගේ ශ්‍රී ලාංකේය මිත්‍රවරුන් ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත් වෙනවා.

නවීකරණය කරන ලද දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟින් ශ්‍රී ලාංකේය ජනතා අයිතියට පත් කළේ පසුගිය මාසයේදීයි.

එදින අප ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අප දෙරට අතර පවතින සහයෝගීතාවයේ ප්‍රතිලාභ ලබාදුන් අතර අද දින ඇරඹෙන මෙම ඒකාබද්ධ ව්‍යාපෘතිය මගින් මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ දකුණු පළාත් කරාද ගෙන යනු ලබනවා. මෙම ගිලන් රථ සේවය සාර්ථකව දියත් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දක්වන ලද නායකත්වය මම ඉතාමත් අගය කරනවා. මේ මගින් පිළිඹිබු වන්නේ අපගේ සමීප සහයෝගීතාවය පොදු මහජනතාවට ශක්තිමත් ප්‍රතිඵල ලබාදී ඇති ආකාරයයි. එසේම මෙමගින් ඉන්දියාවේ අත්දැකීම්, ශක්‍යතාවයන් හා විශිෂ්ට ක්‍රියාමාර්ගයන් අපගේ ශ්‍රී ලාංකේය මිතුරන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා යොදාගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව තවත් උදාහරණයක් සපයනවා.

හිතවත් මිත්‍රවරුනි, ජීවිත සුරකින මෙම ව්‍යාපෘතිය ඉතාමත් වැදගත්, මෙම ගිලන් රථ සේවය හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ඔබ සතු හැකියාව ඉහළ නැංවීමට උපකාරී වෙනවා. සුවිසල් ඉලක්ක ළඟා කර ගැනීමට අරමුණු කරන මෙම ව්‍යාපෘතිය මගින් දකුණු හා බස්නාහිර පළාත් තුළ මිලියන 8කට වැඩි ජනතාවකට සෙත සලසනවා. එසේම, මා හට දැනුම් දුන් පරිදි මෙමගින් දේශීය ජනතාව සඳහා සැලකිය යුතු රැකියා ප්‍රමාණයක් ද ජනනය වෙනවා. එසේම මෙම සේවාව මගින් ශ්‍රී ලංකා රජය හා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පත් කළ හවුල්කාර සමාගම අතර තිබෙන රාජ්‍ය හා පෞද්ගලික අංශ සහයෝගීතාවයේ සාර්ථකත්වයද නිරූපණය වෙනවා. 

හිතවත් මිත්‍රවරුනි, අල දෙරටෙහි ජනතාව ශිෂ්ටාචාරයේ ශක්තිමත් හුයෙන් බැඳී සිටිනවා. අද වන විට ඉන්දියාවේ ශක්‍යතාවයන් හා ඔබගේ අවශ්‍යතාවයන් අතර පවතින සහයෝගීතාවය අප ජනතාවට සුබසිද්ධිය සලසනවා පමණක් නොව වැඩදායී කලාපීය සහයෝගීතාවයේ අපගේ ගමන්මගද පෙන්නුම් කරනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දියාව දක්වන සහයෝගීතාවය විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ඔස්සේ ශ්‍රී ලංකාව පුරාම පැතිරී පවතිනවා. නමුත් එය සිදුවිය යුත්තේ ඔබගේ අභිලාෂයන්ට අනුකූලවයි. අපගේ සහයෝගීතා ව්‍යාපෘතීන් ශ්‍රී ලාංකේය ජනතාවගේ හා රාජ්‍ය නායකත්වයේ තේරීම් හා ප්‍රමුඛතා මත පදනම්ව ඇත්තේ මේ නිසායි.

මිත්‍රවරුනි, මෙම පණිවුඩය අවසාන කරමින් මම පෙරදීත් සඳහන් කළ දෙයක් නැවතත් ප්‍රකාශ කිරීමට කැමතියි. එනම් ඉන්දියාව සැමවිටම ඒකීය, ස්ථාවර හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වී සිටිනවා. අප දෙරට අතර සහයෝගීතාවයේ අරමුණ ද එයයි. එසේම මෙම හදිසි ගිලන් රථ සේවය මෙම මිත්‍රත්වයේ සුවිශේෂි උදාහරණයයි.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා මා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් සුභ පතනවා.

එසේම ශ්‍රී ලාංකේය ජනතාවට මාගේ සුභාශිංසන පරිනමන අතරම ආර්ථික සෞභාග්‍ය වෙත යන ගමනේදී මාගේ ශක්තිමත් සහයෝගීතාවය ද ලබාදෙන බව ද ප්‍රකාශ කිරීමට කැමතියි.

මෙම උත්සවයේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන අයද අදහස් පළ කරන ලදී.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29550,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලැම්බෝගිනි රේස් වෙනුවට මයික්‍රෝ රෝහලක්.
ලැම්බෝගිනි රේස් වෙනුවට මයික්‍රෝ රෝහලක්.
http://ift.tt/2adaWEG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy