රටින් පිටවී සිටි අපරාධකරුවෝ රැසක් නොයෙක් රටවල දී අත්අඩංගුවට ගෙන ලංකාවට පසුගිය කාලයේදී ගෙන ආවෝය. ඔවුන්ගෙන් ඇතමෙක් ජාත්යන්තර පොලිසිය හෙවත් ‘ඉ...
රටින් පිටවී සිටි අපරාධකරුවෝ රැසක් නොයෙක් රටවල දී අත්අඩංගුවට ගෙන ලංකාවට පසුගිය කාලයේදී ගෙන ආවෝය. ඔවුන්ගෙන් ඇතමෙක් ජාත්යන්තර පොලිසිය හෙවත් ‘ඉන්ටර්පෝල්’ විසින් නිකුත් කළ රතු නිවේදන ලයිස්තුවේ සිටි අපරාධකරුවෝය.
තුවක්කු අතට ගෙන, මත්කුඩු ජාවාරම් කරන අපරාධකරුවන්ට රතු නිවේදන නිකුත් කරන අතරවායේදී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට විරුද්ධව ජාත්යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් ගන්නා ලෙසට කොළඹ කොටුව මහෙස්ත්රත්වරයා පොලීසියට නියෝග කළේය.
ලෝකයේ වෙනත් රටවල සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කරන ජාත්යන්තර පොලීසිය, නැතිනම් ඉන්ටර්පෝල් වනාහී දැන් අවුරුදු සියයකටත් වඩා වැඩි ඉතිහාසයක් ඇති ආයතනයකි.
1950 ජූලි 18 වැනිදා ලංකාව ජාත්යන්තර පොලිසිය සමගින් එකතු වුණේය. එදා ජාතික මධ්යම කාර්යාංශය පිහිටුවනු ලැබුවේ ඒ වන විටත් ක්රියාත්මක වෙමින් පැවැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේය. එදා සිට අද දක්වාම ජාත්යන්තර පොලීසිය සමග කටයුතු කරන මධ්යම කාර්යාංශය ක්රියාත්මක වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේය. එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය තුළ පිහිටා තිබෙන්නේය.
හිටපු පොලිස්පති නීතිඥ චන්ද්රා ප්රනාන්දු පවසන්නේ ජාත්යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් නිකුත් කිරීමට නම්, චෝදනාවට ලක්ව සිටින පුද්ගලයා බරපතළ ගණයේ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනාවක් ලැබූ අයෙක් විය යුතු බවය. මිනීමැරීම, ස්ත්රී දූෂණය හෝ බරපතළ මූල්ය වංචාවක් සම්බන්ධයෙන් වන චෝදනා ඇති අයෙක්ට මේ ආකාරයට ජාත්යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීමේ හැකියාව ඇත්තේය.
රතු නිවේදනයක් නිකුත් කිරීමට නම් අධිකරණයක් හමුවේ නඩු කටයුත්තක් පැවතිය යුතුය. අදාළ නඩු කටයුත්ත සඳහා සැකකරු දිගින් දිගටම නොපැමිණ, අධිකරණ මග හරිමින් සිටින්නේ නම් වරෙන්තුවක් නිකුත් කරන්නේය. එම වරෙන්තුව ක්රියාත්මක කිරීමට හැකිවවන්නේ රට තුළදීය. අධිකරණය මගහැර සිටින සැකකරු ලංකාවෙන් පිටතටට ගොස් සිටින්නේ නම් රතු නිවේදනයක් නිකුත් කළ යුතු වන්නේය. සාමාන්යයෙන් මහෙස්ත්රාත් අධිකරණයක් වරෙන්තුවක් නිකුත් කරන්නේ එම අධිකරණයේ කටයුතු කරන භාෂාව වන සිංහල හෝ දෙමළ භාෂාවෙන්ය. ජාත්යන්තර පොලීසිය හරහා රතු නිවේදන නිකුත් කිරීමට අදාළ වරෙන්තුව ඉංග්රීසි භාෂාවෙන් නිකුත් කරවාගත යුතුය. ඉංග්රීසි භාෂාවෙන් රතු නිවේදනයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළ විට අධිකරණය එසේ ඉංග්රීසි භාෂාවෙන් වරෙන්තුව නිකුත් කරන්නේය.
එම වරෙන්තුව ඉන් පසුව යොමු වන්නේ ජාත්යන්තර පොලිසිය සමග කටයුතු කරන ජාතික මධ්යම කාර්යාංශය වෙතය. එසේ වරෙන්තුව පමණක් ඔවුන් වෙත යොමු කිරීම ප්රමාණවත් වන්නේ නැත. ඊට අමතරව අදාළ සැකකරු සම්බන්ධයෙන් වන සියලුම තොරතුරු ඇතුළත් වාර්තාවක් ද ජාතික මධ්යම කාර්යාංශය වෙත යොමු කළ යුතු වන්නේය. එම ලිපි ගොනුවත් පරීක්ෂා කිරීමෙන් පසුව ජාත්යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කරන්නේය.
ජාත්යන්තර පොලිසිය විසින් රතු නිවේදනක් නිකුත් කළ පමණින් වෙනත් රටක සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට අදාළ රටේ පොලිසිය කටයුතු කරන්නේ නැත. රතු නිවේදනවල සිටින පුද්ගලයන් හඹාගොස් අත්අඩංගුවට ගැනීමේ පුරුද්දක් නම් නැත.
රතු නිවේදනවල සිටින පුද්ගලයන් ඒ රටේ වෙනත් වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පසුව ඔවුන්ට විරුද්ධව රතු නිවේදන නිකුත් කර තිබේද යන්න අනාවරණය කරගත් පසුව අදාළ රතු නිවේදනයෙන් සැකකරු ඉල්ලා තිබෙන රටවලට යොමු කරන්නේය.
මහ බැංකු වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් අත්ඩඅංගුවට ගන්නා ලෙසට රතු නිවේදනයක් නිකුත් කළේ දැනට වසර ගණනාවකට පෙරදීය. මේ වන විට ඔහු සිංගප්පූරුවේ පදිංචිව සිටිනේනේය. සිංගප්පූරු පුරවැසියෙක් වන ඔහු අත්අඩංගුවට ගෙන ලංකාවට එවීමට සිංගප්පූරු පොලිසිය කටයුතු කළේ නැත.
මේ දිනවල කාගේත් අවධානය යොමුවී තිබෙන බැසිල් රාජපක්ෂ දැන් සිටින්නේ ඇමරිකාවේය. ඇමරිකානු පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂට විරුද්ධවත් රතු නිවේදන නිකුත් කළත්, රතු නිවේදනය මත පදනම්ව ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැත.
ඇමරිකානු පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්ය නම් කටයුතු කළ යුතු වන්නේ උදර්පන ගිවිසුම් අනුවය. ඇමරිකාව හා ලංකාව අතර සැකකරුවන් හා සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහා වන උදර්පන ගිවිසුමක් අත්සන් කළේ 1999 වසරේදීය. ඒ අනුව බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙසට විදේශ කටයුතු අමාත්යාංශය විසින් ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කළ යුත්තේය. බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නියමිත චෝදනාවන් ඇමරිකාවට දැනුම් දිය යුතු වන්නේය. ඔහුට විරුද්ධව ඉදිරිපත්වන චෝදනා ඇමරිකානු නීතිය අනුවත් වරදක් විය යුතුය. බැසිල්ට විරුද්ධ චෝදනා ඇමරිකානු නීතිය අනුවත් බරපතළ වරදක් නම් පමණක් ඇමරිකානු බලධාරීන් ඉදිරි පියවර ගන්නේය.
ලංකාවෙන් ඉදිරිපත් කර ඇති වරද පිළිබඳ ඇමරිකානු පෙඩරල් අධිකරණය හමුවේ විභාග කරන්නේය. පෙඩරල් විනිසුරුවරයෙක් හමුවේ සාක්ෂි විභාග කිරීමෙන් පසුව ඔහු පිටුවහල් කිරීම සඳහා ප්රමාණවත් සාක්ෂි තිබේද යන්න ගැනත් අවධානය යොමු කරන්නේය. එසේ පිටුවහල් කිරීම සඳහා ප්රමාණවත් සාක්ෂි තිබේනම් පමණක් පිටුවහල් කරන ලෙසට වන නියෝගය ඇමරිකානු පෙඩරල් අධිකරණය දෙන්නේය.
ඇමරිකානු පුරවැසියෙක්ට එරෙහිව පෙඩරල් අධිකරණය තීන්දුවක් දුන් පමණි ඔහු පිටුවහල් කිරීමට ඇමරිකාව කටයුතු කරන්නේ නැත. ඒ සඳහා ඇමරිකානු රාජ්ය ලේකම්වරයාගේ අනුමැතිය හිමිවිය යුතු වන්නේය. මේ සියලුම පියවර ක්රියාත්මක නොවී ඇමරිකානු පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ ලංකාවට පිටුවහල් නොකරනු ඇත්තේය.
පෙඩරල් පොලිසියත් වෙනත් රටක සිටින පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමේදී එම පුද්ගලයා පවසන දේ ගැනත් අවධානය යොමු කරන්නේය. තමන්ට විරුද්ධව චෝදනා එල්ලවී තිබෙන නමුත්, දේශපාලන හේතූන් මත එම චෝදනා ගොනු කර තිබෙන බව සැකකරු ප්රකාශ කළහොත් ඔහු පිටුවහල් කරන්නේ නැත. නැතිනම් ආරක්ෂාව සම්බ්න්ධයෙන් ගැටලු ඇති බව පැවසුවහොත් ජාත්යන්තර පොලිසිය ඔහුට විරුද්ධව පියවර ගන්නේ නැත. ඒ පමණක් නොව රතු නිවේදනය අවලංගු කිරීමටත් පියවර ගන්නේය.
ඉතාලියට පැන ගොස් සිටින පාතාල සාමාජිකයෙක් වන එස්.ටී.එෆ් නඳුන් වරක් ඉතාලියේදී අත්අඩංගුවට පත්වූයේ එරට අවහන්හලකදී ඇතිකරගත් ගැටුමක් නිසාය. ඒ වන විටත් ඔහුට විරුද්ධව රතු නිවේදනයක් නිකුත් කර තිබුණත් ඔහු ලංකාවට පිටුවහල් කර එව්වේ නැත. ඒ ඔහුගේ සහෝදරයන් ඝාතනයට ලක්ව තිබෙන බවත්, තමන් ලංකාවට පැමිණියහොත් ඝාතනයට ලක්විය හැකි බව ඉතාලි පොලිසියට දැනුම් දුන් නිසාය.
ලංකාවේ සිටින රතු නිවේදන ලැබූවන් ලංකාවේ පොලිසියත් ඒ ආකාරයටම වෙනත් රටවලට යවන්නේ නැත. ඉන්දියාව විසින් රතු නිවේදන නිකුත් කර සිටින කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. දැන් ඉන්නේ ආරක්ෂක අංශ අධීක්ෂණය යටතේය. රජීව් ඝාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියාව ඔහුට විරුද්ධව රතු නිවේදන නිකුත් කර ඇති නමුත් ලංකාවේ පොලිසිය ඔහු ඉන්දියාවට තවමත් භාරදී නැත්තේය. චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය ඉලක්ක කරගෙන ටවුන් හෝල් බෝබ්බය පිපිරවීමට සහාය දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර සිටින කිඹුලාවල ගුණා ඇතුළු පිරිසක් තවමත් සිටින්නේ ඉන්දියාවේ රැඳවුම් කඳවුරකය. ඔවුන් ලංකාවට භාරදෙන ලෙස පොලීසියේ ඉල්ලීම මත ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුණේය. පසුගියදා ලංකාවට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයාගෙන් ද එම ඉල්ලීම කර තිබුණේය. එහෙත් ඔවුන් තවමත් ලංකාවට එවා නැත්තේය. ඒ ඔවුන් ලංකාවට එවන්නේද නැද්ද යන්න ගැන තීරණය ඇත්තේ එම රට සතුව නිසාය.
ඒ අනුව බලන කල්හි බැසිල් රාජපක්ෂත් යමින් සිටින්නේ කිඹුලාවල ගුණා, අර්ජුන් මහේන්ද්රන් ගිය මගේදැයි කීමට තවම කල් වැඩිය.
සංජය නල්ලපෙරුම
- Aruna
.webp)
COMMENTS