බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ සිවුරු ඉවත්කිරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාව...
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ සිවුරු ඉවත්කිරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී, පෙත්සම්කරු ඊයේ (15) සිල් ඇඳුමින් සැරසී ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙනීසිටියේය.
නඩුව විභාග කරන ත්රිපුද්ගල විනිසුරු මඬුල්ලේ පරිශීලනය සඳහා ඔහු ධර්ම ග්රන්ථ කට්ටල තුනක්ද අධිකරණය වෙත රැගෙන විත් තිබිණි.
විශ්රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ශාන්ත ජයතිලක නමැති මෙම පෙත්සම්කරු මෙම ග්රන්ථ ඉදිරිපත් කරමින් කියාසිටියේ, මෙම කරුණ සලකා බැලීමේදී බෞද්ධ ධර්මය සහ භික්ෂූන් වහන්සේලාට අදාළ විනය නීති පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබාගැනීම වැදගත් වන බැවින් විනිසුරුවරුන්ගේ වැඩිදුර කියවීම උදෙසා ඒවා මෙසේ ලබා දෙන බවයි.
අග්රවිනිශ්චයකාර ප්රීති පද්මන් සුරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන සාමාජිකයන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.
අග්ර විනිශ්චයකාරවරයා: “ජයතිලක මහතා, ඔබ මෙම පොත් මිලදී ගැනීමට විශාල මුදලක් වැයකර ඇති බව පෙනෙනවා. ඔබ නීතිඥවරයෙක් නොවන බැවින්, අධිකරණය හමුවේ නඩුවකට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීම සඳහා ස්ථාපිත ක්රියාපටිපාටියක් පවතින බව ඔබ නොදන්නවා විය හැකියි.”
පෙත්සම්කරු: “ස්වාමීනි, මම විශ්රාමිකයෙක්. මගේ විශ්රාම වැටුප් මුදල් භාවිත කරලයි මම මේ පොත් මිලදී ගත්තේ. මගේ අරමුණ වෙනුවෙන් වැයවුණු මුදල මට ප්රශ්නයක් නෑ.”
මෙම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ ක්රිෂංග ප්රනාන්දු අධිකරණයට දැනුම්දුන්නේ, පෙත්සම්කරු විසින් මතුකර ඇති ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා රජය විසින් පත්කළ කමිටුවක් මඟින් බන්ධනාගාර නීති සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බවයි.
අග්ර විනිශ්චයකාරවරයා: “ඔබගේ ගැටලුවලට රජය විසින් විසඳුම් ලබාදෙමින් සිටිනවා. ඒ සම්බන්ධ ඉදිරි ප්රගතිය දැනගැනීමට අපි ඔබට දිනයක් ලබාදෙන්නම්.”
පෙත්සම්කරු: “ස්වාමීනි, මම මෙම පෙත්සම ගොනුකළේ ඥානසාර හිමියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව කියමින් නෙවෙයි. නීතිය සහ ආණ්ඩුක්රම ව්යවස්ථාපිත ප්රතිපාදන උල්ලංඝනය කරමින් ඥානසාර හිමියන්ගේ සිවුරු ඉවත්කර අධිකරණයට ඉදිරිපත් කිරීම දැකීමෙන් බෞද්ධයකු ලෙස මගේ අයිතිවාසිකම් කඩවූ නිසා මම මේ නීතිමය ක්රියාමාර්ගය ගත්තා. මේ ආකාරයට බෞද්ධ සිවුර ඉවත්කිරීම බෞද්ධයෙකු ලෙස මගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.”
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම්කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්රේෂ්ඨාධිකරණය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් සහ අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයාගෙන් උපදෙස් ලබාගැනීම සඳහා අතිරේක කාලයක් අවශ්ය බවට රජයේ නීතිඥවරයා කළ ඉල්ලීමට ඉඩදෙමින්, ඉදිරි ප්රගතිය සලකා බැලීම සඳහා නඩුව ජනවාරි 14 වැනිදා තෙක් කල් තැබීය.
ඥානසාර භික්ෂුවට නැවත භික්ෂු සිවුරෙන්ම පෙනීසිටීමට අවශ්ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ශ්රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
එමෙන්ම, ඥානසාර භික්ෂුවගේ සිවුර ඉවත්කර බන්ධනාගාර ඇඳුමින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ගත් තීරණය ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 10, 12(1) සහ 14(1)(e) වගන්ති යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට ප්රකාශ කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා සිටී.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9 වැනි වගන්තිය මඟින් බුද්ධාගමට ප්රමුඛස්ථානය ලබාදෙමින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බව දක්වා ඇති බව පෙත්සම්කරු පෙන්වාදෙයි.
තවද, වරදකරු වීමට පෙර යම් පුද්ගලයකුට තමන් මීට පෙර ඇඳි පැළඳි ඇඳුම් විලාසිතාවට අනුකූලව ඇඳුම් ඇඳීමට ඉඩ දිය යුතු බව බන්ධනාගාර ස්ථාවර නියෝග 550 හි පැහැදිලිව දක්වා ඇති බවද ඔහු සඳහන් කරයි.
ලෞකික අපරාධ වරදකට වරදකරු වූ පමණින් භික්ෂුවකගේ භික්ෂුභාවය අහෝසි නොවන බව බෞද්ධ විනය නීතිවලට අනුව පැහැදිලි වන බවද පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ පුවත තව අයට බලන්න

COMMENTS