ශ්‍රී ලංකාව සැමවිටම ඉන්දියාව සහ පාකිස්ථානය අතර ක්‍රීඩා සබඳතා පවත්වාගෙන යාම සඳහා මධ්‍යස්ථ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර ඇති බවත්, එය දෙරටේ සබ...
ශ්‍රී ලංකාව සැමවිටම ඉන්දියාව සහ පාකිස්ථානය අතර ක්‍රීඩා සබඳතා පවත්වාගෙන යාම සඳහා මධ්‍යස්ථ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කර ඇති බවත්, එය දෙරටේ සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම කලාපීය සහයෝගීතාවයට මහඟු අවස්ථාවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඉන්දියාවේ NDTV නාලිකාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
පාකිස්ථානයේ පැවති අයහපත් වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකා කණ්ඩායම එහි සංචාරය කළේ ක්‍රීඩාව සහ දේශපාලනය පටලවා නොගත යුතු නිසා බව රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින සංවේදී දේශපාලන තත්ත්වය තමන් වටහා ගන්නා නමුත්, ශ්‍රී ලංකාව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සහ පාකිස්ථාන රජය සමඟ සමීපව කටයුතු කරමින් දෙරට අතර ක්‍රීඩා සබඳතා දියුණු කිරීමට උත්සාහ කරන බව ඔහු ප්‍රකාශ කළේය.
ආර්ථිකයට විශාල ශක්තියක් ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟ නැරඹීමට ඉන්දියානු සහ පාකිස්ථානු ක්‍රීඩා ලෝලීන් විශාල වශයෙන් මෙරටට පැමිණීම හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් සියල්ලම පාහේ පිරී පවතින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ආර්ථික අර්බුදයකින් පසු යථා තත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකාවට මෙය විශාල ආර්ථික උත්තේජනයක් වන අතර, යුධ සමයේදී මෙන්ම මෑතකදී ඇතිවූ ආර්ථික අර්බුදයේදී ද ඉන්දියාව සහ පාකිස්ථානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහය ඔහු කෘතවේදීව සිහිපත් කළේය.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා නැංවීම සඳහා ඉන්දියාවේ 'Khelo India' වැනි වැඩසටහන් සහ ඉන්දීය ක්‍රීඩා අධිකාරියේ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම ඉතා වැදගත් බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ද මේ පිළිබඳව අවධානය යොමු කළ බවත්, විශේෂයෙන්ම මලල ක්‍රීඩා සහ අනෙකුත් ඔලිම්පික් ක්‍රීඩා සඳහා ඉන්දියාවේ පර්යේෂණ සහ පුහුණු ක්‍රමවේදයන්ගෙන් ශ්‍රී ලංකාවට බොහෝ දේ ලබාගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරි වසර 5-10 ඇතුළත ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟ කිහිපයක් කොළඹදී පැවැත්වීමට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී හෙළි කළේය.
එසේම ඉන්දියාව විසින් 2036 ඔලිම්පික් උළෙල සඳහා ඉදිරිපත් කරන ලංසු තැබීමට ශ්‍රී ලංකාවේ පූර්ණ සහය හිමිවන බවත්, එය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත කලාපයටම සහ ඉන්දීය සාගර කලාපයේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මහඟු අවස්ථාවක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

COMMENTS