තමන් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වූ පසු දේවාලයේ මිලියන 50ක් වූ වාර්ෂික ආදායම අට ගුණයකින් වැඩි වී මිලියන 400ක් වූයේ මුදල් ගෙදරින් ගෙනත්...
තමන් කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වූ පසු දේවාලයේ මිලියන 50ක් වූ වාර්ෂික ආදායම අට ගුණයකින් වැඩි වී මිලියන 400ක් වූයේ මුදල් ගෙදරින් ගෙනත් දමා නොව ගනුදෙනු විනිවිද භාවයකින් යුතුව ජනතාවට දැගන්නට සැලැස්වීමෙන් පමණක් බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න ඊයේ (02) ප්‍රකාශ කළේය.
දේවාල පෙරහර ඇතුළු අනෙකුත් වාර්ෂික විදයම් වෙනුවෙන් මිලියන 150ක පමණවන වියදම අයින් කළ විට වාර්ෂිකව මිලියන 250ක් ( කෝටි 25ක්) ඉතිරිවන බව කී ඔහු මහරගම ළමා වාට්ටුවට සහ ඇට මිදුළු සහ ජනන සෛල බද්ධ කිරීමේ නවීන පහසුකම් සහිත ශල්‍යාගාර ඒකකයට වියදම් කළේ එම මුදලින් කොටසක් බව පැවසුවේය.
බස්නායක නිලමේවරයා මේ බව කීවේ කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස රුහුණු මහා කතරගම දේවාලයේ පඬුරු මුදලින් මෙන්ම ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ සිව් මහල් ළමා වාට්ටු ගොඩනැගිල්ලේ අවසන් අදියර වූ ඇට මිදුලු සහ ජනන සෛල බද්ධ කිරීමේ නවීන පහසුකම් වලින් සමන්විත ඒකකය ඊයේ (02) දින සුභ මොහොතින් ජනතා අයිතියට පත් කළ අවස්ථාවේ දී ය.
එහිදී ඔහු මෙසේ ද සඳහන් කළේය.
“මම කළේ එකම දෙයයි. දේවාලේ ගනුදෙනු මිනිස්සුන්ට දැනගන්න පුලුවන් වෙන්න හදපු එක. මම නිලමේ වෙනකොට දේවාලේ ආදායම තිබුණෙ මිලියන පනහක් විතර. ගිය අවුරුද්දේ මිලියන 400කට වැඩියි. අට ගුණකයකින් වැඩි වුනා.”
“මේකට මම ගෙදරින් සල්ලි ගෙනත් දේවාලයට පූජා කළා නෙමෙයි. තියන සල්ලි ටිකේ ගනුදෙනු පෙන්නුවා. එහි ප්‍රතිඵලයක් හැටියට අපට මේ ගොඩනැගිල්ල හදා ගන්න පුලුවන් වුනා.”
“ඒ එක්කම අපි කතරගම රෝහල අලුත් රෝහක් හැටියට අලුතින්ම ඉදි කරනවා. ඇඳන් 44ක වාට්ටු සංකීර්ණයක් මේ වනවිට ඉදි කරනවා. එහිත් වැඩ සියයට අසූවක් ඉවරයි.”
“දේවාලයේ ආදායම මිලියන 400ක් වුනොත් වියදමට යන්නේ පෙරහර කරන්නත් එක්කලා මිලියන 150යි. එතකොට තව 250ක් ඉතිරියි. එතකොට අවුරුද්දකට ඒ වගේ රෝහල් 05ක් හදන්න පුලුවන්. ”
“මේ ගොඩනැගිල්ල සඳහා අපි වියදම් කරලා තියනවා දේවාලයෙන් මිලියන 176ක්. දේවාල අරමුදලින් මිලියන 107ක් යොදවලා තියනවා. එතන පොඩි කියුබිකල් එකක් තියනවා මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් ආධාර දෙන බැතිමතුන්ට ආධාර දෙන්න. එතන මිලියන 76ක් එකතු වෙලා තියනවා. තව මිලියන 07ක් විතර අපේ ගිනුමේ ඉතිරි වෙලත් තියනවා ගොඩනැගිල්ල හදලා…” බස්නායක නිලමේවරයා කීවේය.
ලියුකේමියා රෝගයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් සිදුකරන ඇටමිදුළු බද්ධ සැත්කමට අවශ්‍ය තාක්ෂණය මෙතෙක් ලංකාවේ තිබුණේ නැත. එවැනි පිළිකා රෝගී දරුවෝ එම සැත්කම සඳහා ඉන්දියාව ඇතුළු විදේශ රටවලට ගියහ. ඒ වියදම දරාගත නොහැකි දරුවෝ අපේක්ෂා රෝහල තුළම අවසන් සුසුම් හෙලූහ.
අද සිට එම සැත්කම් සඳහා අවශ්‍ය තාක්ෂණය සහිත පහසුකම් කතරගම දේවාලයේ අනුග්‍රහයෙන් මහරගම පිළිකා රෝහලට ලැබෙන්නේය.
COMMENTS