සැප්තැම්බර් 3 වැනි දින මධ්‍යම රාත‍්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කොට ඇත. ඒ ඊට දින කි...
සැප්තැම්බර් 3 වැනි දින මධ්‍යම රාත‍්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කොට ඇත. ඒ ඊට දින කිහිපයකට පෙර මෙරටට තිරිඟු පිටි ගෙන්වන එක් සමාගමක් පමණක් තිරිඟු පිටි කිලෝ 1 ක මිල රුපියල් 5කින් වැඩි කිරීම හේතුවෙන් බව ආපනශාලා හිමියන්ගේ අදහසයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකා පාරිභෝගික ජාලයේ කැඳවුම්කරු අසංක ධර්ම ශ‍්‍රී මහතා පවසන්නේ එම සියලූ මිල වැඩි කිරීම් වලට ඔවුන්ගේ විරෝධය පළ කරන අතර පාරිභෝගිකයන්ගේ පැත්තෙන් එය බලවත් අසාධාරණයක් බවයි.
තිරිඟු පිටි ඒකාධිකාරයක් නොමැත
ප‍්‍රීමා සමාගම තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කරනු ලැබුවේ ලෝක වෙලෙඳපොලෙහි තිරිඟු පිටි ඉහළ යාම හා රුපියලේ අගය අවප‍්‍රමාණය වීම හේතු කොට ගනිමින් බවත්, ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට තිරිඟු පිටි ඒකාධිකාරයක් නොමැති බැවින් වැඩි නොකළ මිල ගනන් යටතේ අනෙකුත් සමාගමත් තුළින් පිටි මිලදී ගත හැකි බවත් ශ‍්‍රී ලංකා පාරිභෝගික ජාලය පෙන්වා දෙයි.
රාත්තලකට පිටි කිලෝ එකක් යනවද?
ඔවුන්ගේ මාධ්‍ය නිවේදනය තවදුරටත්,
"එවන් තත්ත්වයක් තිබියදී ආපනශාලා හිමියන් පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දැමීම බලවත් අසාධාරයකි. පාන් රාත්තලක් සඳහා අවම වශයෙන් වැය වනුයේ පාන් පිටි ග‍්‍රෑම් 450 කි (එය ඒ ආකාරයෙන්ම පවතී දැයි පරීක්‍ෂා කළ යුතුය.) එසේ වන විට තිරිඟු පිටි කිලෝ 1 කින් පාන් රාත්තල් 2ක් අවම වශයෙන් නිෂ්පාදනය කළ හැකිය. පාන් රාත්තල් 2ක් සඳහා වැඩි වන මුදල රුපියල් 10 කි. එවිට ආපනශාලා හිමියන් සිදු කර ඇත්තේ කළ දුටු කල වල ඉහ ගැනීමකි. ඔවුන් නිවැරදි ලෙස මිල වැඩි කළේ නම් පාන් රාත්තලක් සඳහා රුපියල් 2ක මිල වැඩි කිරීමක් ප‍්‍රමාණවත්ය.
පාන් රාත්තලක මිලට අමතරව කොත්තු මිල ගණන්ද වැඩි කිරීමට ආපනශාලා හිමියන් කටයුතු කරන බව දැනුම් දී ඇති අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ කොත්තුවක මිල රුපියල් 5 කින් ඉහළ දමන බවයි. සාමාන්‍යයෙන් කොත්තුවක් සෑදීමට තිරිඟු පිටි කිලෝ එකක් වැය වන්නේ නැත. අවශ්‍ය නම් තිරිඟු පිටි ග‍්‍රෑම් 250ක් පමණවැය වනු ඇත. පිටි කිලෝවකින් අවම වශයෙන් කොත්තු 3කටවත් ප‍්‍රමාණවත් රෝටී නිෂ්පාදනය කළ හැකිය. එවන් තත්වයක් තුළ එක් කොත්තුවක මිල රුපියල් 5කින් ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද අප විරෝධය පළ කර සිටිමු.
මේ මිළ වැඩි කිරීම් තුළින් ආපනශාලා හිමියන් පාරිභෝගිකයන් සූරා කෑමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී පුලූල් වැඩපිළිවෙලක් තුළින් පාරිභෝගිකයා දැනුම්වත් කිරීමටත්, ඒ හරහා ආපනශාලා හිමියන්ට බලපෑමක් ඇති කිරීමටත් අප කටයුතු කරමින් සිටිමු."
COMMENTS