මෙම හෝටලයට ඇතුළත්වීම සඳහා අවසර ලැබුණු සැනින් ඔබට සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී පැකේජයක් තෝරාගත හැකිය. ඒ සඳහා ඔබට තිබිය යුතු එකම සුදුසුකම ව...
මෙම හෝටලයට ඇතුළත්වීම සඳහා අවසර ලැබුණු සැනින් ඔබට සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී පැකේජයක් තෝරාගත හැකිය. ඒ සඳහා ඔබට තිබිය යුතු එකම සුදුසුකම වන්නේ, අත දිගහැර වියදම් කිරීමට මුදල් තිබීමයි. ඔබ සතුව ඇත්තේ කලු සල්ලි නම් එය අමතර සුදුසුකමකි.
ලංකාවේ ප්‍රධාන පෙළේ හොටලයකින් පවා නොලැබෙන සැප පහසුකම් ලබාදීමට Hotel De Prisons කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටී.
Hotel De Prisons හි ඇඳක් වෙන්කර ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ රුපියල් 25,000 ක මුදලකි. ඔබ ඊටත් වඩා අත දිගහැර වියදම් කරන්නෙක් නම් ඔබට සුපිරි පහසුකම්වලින් සමන්විත පැකේජයකට යා හැකිය. ඒ සඳහා දිනකට අවශ්‍ය වන්නේ රුපියල් 50,000 ක් පමණි. මෙම පැකේජය ලබාගන්නේ නම් ඔබගේ නිවසේ පිළියෙල කරන ඕනෑම කෑමක් බීමක් අතටම ලබාගැනීමේ විශේෂ වරප්‍රසාදය ද ඔබට හිමිවනු ඇත.
මෙරට ප්‍රධානතම තරු පහේ හෝටලයක් වන හිල්ටන් හෝටලයේ සුඛෝපභෝගී කාමරයක් සියලු පහසුකම් සහිතව ඇමරිකානු ඩොලර් 100 කට මිල නියම වෙද්දී Hotel De Prisons හි එම පැකේජය දිනකට ඩොලර් 312 කි. මෙය තරු පහේ හෝටල් පවා අභිබවා යන හෝටලයක් බව ඉහතින් සඳහන් කළේ එබැවිනි.
Hotel De Prisons හැමෝටම තේරෙන භාෂාවෙන් කිවහොත් බන්ධනාගාර රෝහලයි.
අතමිට හිඟපාඩු, නැති-බැරි පුද්ගලයන් කල්දේරම් බතේ රස බලමින් මදුරුවත් තලද්දී, ඇති-හැකි, බලවන්ත පාතාල සාමාජිකයන්, දේශපාලනඥයන් රක්ෂිත බන්ධනාගාරගත කළ සැනින්ම ලොවෙත් නැති ලෙඩරෝග ඔවුන්ට වැළඳීමේ රහස මෙයයි.
බන්ධනාගාර රෝහලේ පාලනාධිකාරියේ පටන්, වෛද්‍යවරුන්, සුළු සේවකයන් පවා මෙම මාෆියාවේ කොටස්කරුවන් වන අතර අත පිරෙන්නට ඔවුන්ගේ කොටස ලැබේ. ඒ නිසා Hotel De Prisons හි ඇතුළත් වන ඇති-හැකි බලසම්පන්න පුද්ගලයන්ට සුපිරි පහසුකම් ලබාදීමට ඔවුන් සැදී පැහැදී සිටී.
COMMENTS