නව ගමනක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඒ ඊයේ කුරුණෑගල ප්‍රදේශයේ...
නව ගමනක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ඒ ඊයේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අද එක්සත් ජාතික පක්ෂය ඉදිරියට යන්න ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න ජාතික වැඩපිළිවෙලක්, ඒ වගේම ජයග්‍රහණය සඳහා වූ සුදුසු පියවරක් එක්සත් ජාතික පක්ෂය අරගෙන තියෙනවද කියලා. ඒක තුළ ලොකු බිඳ වැටීමක් පේනවා. ඒ නිසයි මහජනතාවත් විවිධ පාර්ශවයනුත් දැඩි ලෙස කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා. ඒ ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ ඇත්තට මේ එහාට මෙහාට මුහුණු ගලවලා හයි කරන එකක් නෙවෙයි. මිනිස්සුන්ට දැනෙන සහ සැබෑ වෙනසක් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ඇති වෙන්න ඕනේ කියන කාරණය තමයි මහ ජනතාව කියන්නේ. ඉතින් මමත් ඒක පිළිගන්නවා.”
“එක්සත් ජාතික පක්ෂය දශක දෙක හමාරක් තුළ ඇති වෙච්ච ජයග්‍රහණ, ඒවගේම වෙනස්කම් දිහා බලපුවාම වහා විශාල වෙනස්කමකට අපි යන්න තිබෙනවා. ඉතින් ඒක පැහැදිලියි. මමත් කියන්නේ හැම වෙලාවකම එක්සත් ජාතික පක්ෂය තුළ ඒ වෙනස ඇති නොකලොත් අලුත් එක්සත් ජාතික පක්ෂයක් හැටියට යන්න බෑ. ඕනෑම දේශපාලනය වුණත් ඕනෙම දේක විකිණීමණේ. මාර්කටින් වලට නම් අලුත් වෙනසක් අලුත් ආරම්භයක් තියෙන්න ඕනේ. ඒකයි කිව්වේ නව එක්සත් ජාතික පක්ෂයක් බිහි විය යුතුමයි. අලුතෙන් නැගිටින්න පුළුවන් ජවයක් ඇති සංවිධානයක් බවට පත් කරන්න ඕනේ. ඒක කරන්න නම් ඒ තෝරා ගැනීමට ඉඩ දීලා නායකත්වයේ වෙනසක් ඇති වෙන්න ඕනේ කියන එකයි කියන්නේ.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS