දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වැඩ අලියට- ඡන්දෙ අතට - උසාවි සාවිය 07

වෙසක් සමය අවුරුදු පතා එළැඹුණ ද මැතිවරණ සමය එසේ නොවේ. එය ඉඳහිට විඳින අමතර වින්දනයකි. අද වනවිට මැතිවරණ සමය අති භයංකර පරිසරයක් පිළිබඳ මතකයක්...

වැඩ අලියට- ඡන්දෙ අතට - උසාවි සාවිය 07

වෙසක් සමය අවුරුදු පතා එළැඹුණ ද මැතිවරණ සමය එසේ නොවේ. එය ඉඳහිට විඳින අමතර වින්දනයකි. අද වනවිට මැතිවරණ සමය අති භයංකර පරිසරයක් පිළිබඳ මතකයක් කැඳවන නමුදු එදා එය එසේ නොවීය. එය සැබැවින් ම සැණකෙළි සමයක් පිළිබඳ මතකය අවුළුවයි.

අද මෙන් වසරකට මැතිවරණ දෙක තුන එදා නොඑළඹුණා මතකය. වසර පහකට වතාවක් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රධාන ය. 70න් පසු එය ජාතික රාජ්‍ය සභා මැතිවරණය ලෙසින් නාමකරණය විය. අනෙක ගම් සභා සහ නගර සභා මැතිවරණය යි. මේ කුමන මැතිවරණයක් වුවත් එය අපට ඉතා සමීප අත්දැකීමක් වන්නේ අපේක්ෂකයින් ද අප අසල්වැසියන් වීමය.

නගර සභා මැතිවරණයේ දී නාගරික කොට්ඨාශ බෙදීම්වලට අනුව අප මැදිව සිටියේ ‘අලුත්කඩේ‘‘කෙසෙල්වත්ත’ ‘බටහිර අලුත්කඩේ‘ සහ ‘නිව් බසාර්‘ කොට්ඨාසයන්ට මැදිව ය. එම කොට්ඨාස නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූවෝ අප දන්නා හඳුනන පුද්ගලයෝ වෙති. එය පක්ෂ බේදයකින් තොරව ඇති දැන හැඳුනුම්කමකි. මැතිවරණයේදී දෙපිලකට තුන් පිලකට බෙදී කටයුතු කළත් අසල්වාසීන් අතර වූයේ මිතුරුකමකි. මැතිවරණ ව්‍යාපාරයේදීත් ජය පරාජය විඳ දරාගැනීමේදීත් යම් යම් නොමනාපකම් ඉස්මතු වුවත් ඒවා කල් පවත්නා එදිරිවාදිකමකට නොහැරිණ.

මහ මැතිවරණයේදී නම් මෙවැනි බෙදීමක් පුළුල්ව ගොඩ නැංවී තිබුණු බවක් මගේ මතකයේ නැත. ඊට හේතු වූයේ මා දන්නා කාලයේ සිට ම අපගේ ජනප්‍රියතම අසල්වැසියා වූ ආර්. ප්‍රේමදාස (පසුව විධායක ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස) මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා වී ම ය. ඔහු සිංහල මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව අතර වීරයකු ව සිටියෙන් අති බහුතරය සිය අසල්වැසි නායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටියහ. ඔහු අපට ‘මහත්තයා’ විය. ඔහුගේ දොරකඩින් යාමට ඇති අප නිවැසි වලව්වත්තට ‘මහත්තයාලාගේ වත්ත’ යන නම පටබැඳුණේ එනිසා ය.

මා ඉපදීමටත් පෙර එළැඹි 1956 මැතිවරණයේදී ඒ. ඊ. ගුණසිංහ කම්කරු නායකයාගේ ‘කම්කරු පක්ෂයේ බයිසිකලය ලකුණින්’ ආර්. ප්‍රේමදාස මහතා රුවැන්වැල්ල ආසනයට තරඟ කර තිබිණ. ඒ කම්කරු නායකයකු වූ ලංකා සමසමාජ පක්ෂයේ නායක ‘එන්. එම්. පෙරේරා’ මහතාට එරෙහිව ය. ප්‍රේමදාස මහත්තයා රුවන්වැල්ල ආසනයට තරඟ කරද්දී මාස ගණන් එහි පදිංචිව ප්‍රේමදාස මහත්තයාගේ ඡන්ද සටනට උර දුන්නේ කෙසෙල්වත්ත වාසීන් වන අප වැඩිහිටි ඥාති සමූහයා ය. මේ කාරණ වැදගත් වුවත් මගේ ප්‍රස්තුතය එය නොව එවකට මැතිවරණ සමය අපට කානිවල් එකක් වූ හැටි කීමය.

එවැනි සමයන්හි දී කොළඹ වීදි මැතිවරණ සටනින් උණුසුම් වන්නේ හිරු රශ්මියටත් වැඩි උණුසුමක් සහිත ව ය. තැන තැන අපේක්ෂකයන් ගැන කතා බහ ය. තවත් තැනක බරපතළ දේශපාලන විග්‍රහයන් ය. තැනක කවි කොළ හෝ විරෝධතා සහිත උත්ප්‍රාසාත්මක ලියවිලි මහ හඬින් කියවීමකි. ඒ අතරතුර ඉඳහිට නැගෙන වාදයකි. උසාවි සාවිය කේන්ද්‍ර කරගත් ජනතාවගෙන් අති බහුතරය පහළ නිර්ධන පන්තිය නියෝජනය කරති. කම්කරුවන් සේ ම පදික වෙළඳාමේ නිරත මිනිසුන්ගේ දේශපාලන කතා බහා ඔවුන්ගේ ස්වභාවය මෙන් ම රළු පරළු ය. උස් හඬින් ඔවුන් දොඩන කතා අසන පිටස්තරයකු සිතන්නේ ඔවුන් දබර කරන බවකි.

උසාවි සාවියේ මැතිවරණ සමයේ විශේෂය වන්නේ තාර පාරේ ඡන්ද සලකුණු ඇඳීම යි. අද වනවිට වසංගතයක් සේ වර්ධනය වී ඇති මේ ක්‍රියාවේ මුල් අයිතිකරුවන් වන්නට ඇත්තේ ද උසාවි සාවියේ අප වැඩිහිටියන් විය යුතු ය. කොළඹ ජනප්‍රියතම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ලකුණ වූ අලියා මහ පාරේ පෙරහැරක යන්නාක් මෙන් සුදු තීන්තෙන් ඇඳ තිබේ. අතරින් පතර අත සලකුණ දැකිය හැකි ය. කොමියුනිස්ට් පක්ෂයේ ඡන්ද සලකුණ වූ තරුව ද තැන තැන දිස් වෙයි. මන්ද කොමියුනිස්ට් නායක පීටර් කෙනමන්ගේ බල ප්‍රදේශයත් මැද කොළඹ වීමය. චිත්‍ර ඇඳීමේ සූරයකු වූ අපගේ පියාණන් එවැනි කාලයක දේශපාලන භේදයකින් තොරව අසල්වාසීන්ගේ අවධානය දිනා ගන්නේ ඔහු හැම දෙනාගේම අවශ්‍යතාව ඉටු කර දෙන බැවිනි. නමුත් ඔහු අතින් කිසිවිටක ‘අලියා’ට හානියක් නම් නොවෙයි.

වතාවක් ප්‍රේමදාස මහතාට අත් කොට කොළපාට බතික් කමිසයකට අවශ්‍ය වූ ඇත් පෙළ ඇඳ දුන්නේ ද තාත්තා යයි මා අසා තිබේ. ඔහු තදබල ප්‍රේමදාසවාදියකු වූයේ මේ සබඳතාව නිසා වන්නට ඇත. ඡන්ද කාලයේ අප වීදිවල තැන තැනින් ඇසෙන සටන් පාඨ සහ උද්යෝගිමත් කියමන් ද සුන්දර ය. විශේෂයෙන් පක්ෂ ලකුණ ඔවුන්ගේ කවටකම්වලට භාජනය වෙයි. ඒ අතර තිබුණා යයි දැන් මට මතක ඡන්ද පාඨ කිහිපයක් මෙසේ වෙයි.

‘අත කපලා ලුනු දාපියෝ’

‘තරුව කඩන් කුද ගහපියෝ’

‘බත් ගොට්ටෝ අලි නැට්ටේ’

‘වැඩ අලියට- ඡන්දෙ අතට’

මැතිවරණ කැන්වසින් ලෙස ගෙන් ගෙට යන අය අතර පසුපසට වී සිටින අය මෙවැනි වදන් වහරමින් විනෝදයක් ලබති. එජාප පාක්ෂිකයින්ට ‘බත් ගොට්ටා’ යයි විරුද නාමයක් පට බැඳුවෝ කම්කරු නායකයෝ ය. මන්ද එජාප අපේක්ෂකයින් මුදල් හදල් යහමින් ඇති සරුසාර අය බැවින් ඔවුන් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට උපකාර වන අයට බත් පාර්සලයක් සහ මුදල් නෝට්ටු ලබාදීම කළ හෙයිනි. මේ කිසිවක් ගණන් නොගන්නා එජාප පාක්ෂිකයින් හැම වසරකම තමන්ගේ පිළ නගර සභාවේ මෙන් ම පාර්ලිමේන්තුවේද ඉහළට ඔසවා තබති. මැරුණත් පක්ෂයට ද්‍රෝහි නොවන සමහරක් දෙනා විරුද්ධ අපේක්ෂකයින් වෙතින් සල්ලි ගත්තත් තමන්ගේ රහස් ඡන්දය සිය කැමැත්තට භාවිතා කරති.

කෙසේ වෙතත් කෙසෙල්වත්තේ වීරයා වූ ආර්. ප්‍රේමදාස කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂකයා වූ වෘත්තිය සමිති නායක ඇල්. ඩබ්. පණ්ඩිතට පරාද වී කුරුඳුවත්ත නාගරික ආසනයට පල්ලම් බැස යාම එකල වූ විශේෂ සිදුවීමක් ලෙස අප වැඩිහිටියන් කතා කරනු මා අසා තිබේ. 50 සහ 60 දශකවල මේ නාගරික කොට්ඨාසවල විශාල වශයෙන් ජීවත් වූ කම්කරු ප්‍රජාව එලෙස කොමියුනිස්ට් පක්ෂය ඉහළට ඔසවා තැබුව ද අද වනවිට ඔවුන්ගේ ශක්තිය විසිරී ගොසිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 56 මැතිවරණයට ඉදිරිපත් ව පලීල් කපුර් වැනි ප්‍රබලයකු පරදවා මැද කොළඹ බහු ආසනයේ තුන් වැනි මන්ත්‍රීවරයා වූ ඇස්. ඒ. තේමිස් ද මෙවැනි කම්කරු නියෝජිතයෙකි.

මෙවැනි සුන්දර මතකයක් සහිත මැතිවරණ සමයේ ළමා අපි මහ රාත්‍රියේ පවා පාරේ රස්තියාදුවේ යන්නෙමු. නිදි නැති නගරයක එවැනි කාලයක ඇති සැණකෙළි ස්වරූපය අපගේ මනදොළ සපුරාලයි. ඡන්දය දින රාත්‍රියේ සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵල පිට වනතුරු නිදිවරණ අප ජයග්‍රහණ භුක්ති විඳින්නේ මහ හඬින් රතිඤ්ඤා වැල් පුපුරවමිනි. තැන තැන ක්‍රියාත්මකව ඇති රේඩියෝවලින් ඡන්ද ප්‍රතිඵලයක් පිටවන හැම මොහොතකම රතිඤ්ඤා හඬින් ගුවන් විදුලියේ හඬ නෑසි යයි. ඡන්ද කොට්ඨාසයේ නම සඳහන් කර පක්ෂ නාමයේ මුල් වචනය සවන් ගැටුණ සැණින් රතිඤ්ඤා හඬ නැගුණෙන් සම්පූර්ණ ප්‍රතිඵලය නොඇසී යයි. පළමුව නම කියවෙන්නෙ ජයග්‍රාහී පක්ෂයේ බව ඔවුහු දැන සිටිති.

බොහෝ අය උනන්දු වන්නේ වැඩි ඡන්දය කොතෙක්ද යන්න දැන ගැනීමටයි. සමහරකු තමන්ගේ අපේක්ෂකයා ජයග්‍රහණය කරන වැඩි ඡන්දය වෙනුවෙන් මුදල් ඔට්ටු ද අල්ලා ඇති බැවිනි. තවත් අයෙක් ඇප රාජසන්තක වූ අපේක්ෂකයන් ගැන උනන්දු වෙති. ඒ වෙනුවෙන් මුදල් ඔට්ටු අල්ලා ඇති බැවිනි. මේ සේරම අතර මත්පැන් මෙන් ම ගංජා අබිං වැනි මත් ද්‍රව්‍ය ද ක්‍රියාත්මකව පවතින බැවින් වීදියේ ඇති වන ඝෝෂාවන් තරුවල පවා නින්ද සොරා ගනියි.

අද වනවිට මේ සියල්ල පිටපොට ගැසී ය. ඡන්දය යනු මරාලයක් වැනි භීෂණයක තිගැස්මක් ඇති කරයි. තරුණ ගැටවු මිස පාරේ තැන තැන රැඳී ඡන්දය අසන අය දැක්ම විරල ය. ඒ කාලය විසින් සමාජය තුළ ඇති කර ඇති විසල් වෙනස නිසා ය. එහෙත් අදටත් උසාවි සාවියේ මිනිසුන් ‘අලියා‘ පිටේ නැගී විමුක්තිය සොයති. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලයට මහත් බලපෑමක් කළ හැකි වැඩි ඡන්ද සංඛ්‍යාවකින් මැද කොළඹ ජයග්‍රහණය කර දෙති. ඒ වෙනුවෙන් ඔවුන් ලද ලොකුම ත්‍යාගය තමන්ගේ අසල්වැසියකුට රටේ ඉහළම දේශපාලන පදවිය වූ විධායක ජනාධිපතිකම උරුම වීමේ ප්‍රීතිය විඳීම පමණි.

ඒ අතර සිටි හීන් නූල්කාරයෝ ‘අලියට වැඩ- ඡන්දෙ අතට’ යන සිතුවිල්ල මැද තමන්ගේ හෘදය සාක්ෂියට එකඟ ව චන්දය භාවිත කරති. එහෙත් දිනන්නේ අලියා ය. පහුනු මැතිවරණ සමයේ දී ද උසාවි සාවියේ දේශපාලනය අලියා පිට නැගී ගිය ගමන ගැන ඔබ දන්නා නිසා කිසිවක් නොලියමි.

        - අනුරසිරි හෙට්ටිගේ anurasirihettige@gmail.com

උසාවි සාවිය පෙර ලිපි:

උසාවි සාවිය 01 - මඩමේ සිට Day Care දක්වා 

උසාවි සාවිය 02 - සරුංගල් ලුහුබඳින්නෝ - Kite Runners

උසාවි සාවිය 03 - ගාමිනී බහින්න, මානෙල් බහින්න...

උසාවි සාවිය 04 - ඉතිකින් අපට සැප නම් දැක්මමයි නුඹේ..

උසාවි සාවිය 05 - ටැක්සිකාරයා.. මං ඇරල යන්න හරිම සූරයා..

උසාවි සාවිය 06 - කියවීම මිනිසා සම්පූර්ණ කරයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැඩ අලියට- ඡන්දෙ අතට - උසාවි සාවිය 07
වැඩ අලියට- ඡන්දෙ අතට - උසාවි සාවිය 07
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/ef984940147bf45d11967db09865e5f0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/07.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/07.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy