කම්කරුවන්ගෙ ජාත්‍යන්තර සහයෝගිතාව සහ අයිතිවාසිකම් වෙනුවෙන් වන අරගලය සංකේතවත් කරන මේ දිනය පවත්වනවද නැද්ද, පවත්වන්නෙ කොහොමද කියලා තීරණය කරන්...
කම්කරුවන්ගෙ ජාත්‍යන්තර සහයෝගිතාව සහ අයිතිවාසිකම් වෙනුවෙන් වන අරගලය සංකේතවත් කරන මේ දිනය පවත්වනවද නැද්ද, පවත්වන්නෙ කොහොමද කියලා තීරණය කරන්නෙ ඇමතිවරු නෙවෙයි, කම්කරු පන්තිය, කම්කරුවන්ගෙ සංවිධාන විසින්. ඒ නිසා මෙම තීරණය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ජාත්‍යන්තර කම්කරු දිනය කල් දැමීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පුබුදු ජයගොඩ මහතා,
ජාත්‍යන්තර කම්කරු දිනය ලංකාවේ උත්සවයක් නෙවෙයි
“ආණ්ඩුව තීරණය කරලා තියෙනවා මැයි 1 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 7 වැනිදා දක්වා කල් දමන්න. ජාත්‍යන්තර කම්කරු දිනය කියන්නෙ ලංකාවෙ උත්සවයක් නෙවෙයි. ඒක ලෝකයේම වැඩ කරන ජනතාව පීඩාවට පත් ජනතාව තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ඒකරාශි වී ජාත්‍යන්තර සමගිය වෙනුවෙන් පවත්වන සැමරුමක්.1889 තීරණය කරලා ලබන අවුරුද්දට අවුරුදු 200ක් වන මෙම ජාත්‍යන්තර කම්කරු දිනය වෙනස් කරන්න ඇමති මණ්ඩලයට හෝ වෙනත් කාටවත් අයිතියක් හෝ බලයක් හෝ නෑ. 1886 මැයි මාසෙ එක්සත් ජනපදයෙ චිකාගෝ නගරයේ කම්කරුවන් සටන් කළේ පැය 8 වැඩ දිනය ඇතුළු අයිතිවාසිකම් වෙනුවෙන්. පොලිසිය වෙඩි තැබීම නිසා ඔවුන් ගෙන ගිය සුදු කොඩි ලෙයින් රතු පාට වුණා. ඒ නිසා ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය රතු ධජය තමන්ගෙ ධජය බවට පත් කරගත්තා.
ආණ්ඩුව කම්කරු දිනයට බය වෙලා
මේ ආණ්ඩුවේ නායකයන් 2015 මැතිවරණවලදි ගොවියන්ට, කම්කරුවන්ට රටේ සමස්ත වැඩ කරන ජනතාවට බොරු කියලා බලයට ආවා. පසුගිය අවුරුදු 3 පුරාම වැඩ කරන ජනතාවට කිසිදු සහනයක් නැති පාලනයක් ගෙන ගියා. මේ වනවිට ජනතාව පොදුවේ සමාජ ආර්ථික පීඩාවලින් බැට කමින් ඉන්නෙ. වැඩ කරන ජනතාවගෙ අයිතිවාසිකම් කප්පාදු කරන්න නීති සංශෝධන ගෙනාව ආණ්ඩුව 2015 පීඩිත වැඩ කරන ජනතාවගේ ජීවිතය දැඩි දුෂ්කරතා රැසකට ඇද දමලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට ජනතාවගේ අප්‍රසාදය හැම පැත්තෙන්ම එල්ල වෙමින් තිබෙන නිසා මේ අප්‍රසාදය වසාගන්න කම්කරු දිනයට මුවා වෙලා ජනතාවට වංචා කරන්න දෙන්න බෑ. ජනතාව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන, ආණ්ඩුවට අභියෝග කරන්න ඒකරාශි වන ජාත්‍යන්තර කම්කරු දිනයට බය වෙලා ආණ්ඩුව මේ තීරණය අරගෙන තිබෙනවා. නමුත් අපි මේ රටේ වැඩකරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති, වාමාංශික පක්ෂ එකතු වෙලා මේ තත්වය පරාජය කරන්න කටයුතු කරනවා. කමුකරුවන් ඇතුළු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් උදුරාගෙන කොදු කඩලා මේ ආකාරයට කම්කරු දිනය පවා පවත්වන්න අවහිර කරනවා නම් අපි ආණ්ඩුවට කියනවා, ඒකට ඉඩ දෙන්නෙ නෑ.
ජනතාවගේ දිනය උදුරාගන්න අපි ඉඩ තියන්නේ නැහැ
අපි කියනවා මේ සැරේ ආණ්ඩුවට අවශ්‍ය විදියට, ආගමික ප්‍රභූ තන්ත්‍රයකට අවශ්‍ය ලෙස වැඩකරන ජනතාවගේ දිනය උදුරාගන්න අපි ඉඩ තියන්න නෑ. මේ රටේ සියලු පීඩිත ජනතාව සහ වැඩකරන ජනතාව සමග ඒකාබද්ධව ආණ්ඩුවේ මෙම බලහත්කාරී තීරණයට එරෙහිව වමේ පක්ෂ සහ වෘත්තිය සමිති විසින් ඒකාබද්ධව කටයුත කරන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මේ ආණ්ඩුව ගත්ත ජනතා විරෝධී පිළිවෙතට එරෙහිව සියලු බලවේග ඒකරාශි කරමින් අපි ආණ්ඩුව සිදුකරන මෙම මර්දනකාරී ක්‍රියාදාමයට එරෙහිව කටයුතු කරනවා. මේ සම්බන්ධව සියලු බලවේග ඒකරාශි කරගෙන ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරන්න සහ ආණ්ඩුවේ අත්තනෝමතිකභාවය පරාජය කරන බව ප්‍රකාශ කරනවා.“
COMMENTS