එයට හේතු වූයේ අසල්වැසි ඉන්දියාවේ පැවැත්වෙන, ලොව ප්‍රමුඛතම ප්‍රීමියර් ලීග් තරගමාලාව වන 'ඉන්දියානු ප්‍රීමියර් ලීගය' ආරම්භවීමට මාස ක...
එයට හේතු වූයේ අසල්වැසි ඉන්දියාවේ පැවැත්වෙන, ලොව ප්‍රමුඛතම ප්‍රීමියර් ලීග් තරගමාලාව වන 'ඉන්දියානු ප්‍රීමියර් ලීගය' ආරම්භවීමට මාස කිහිපයක් තිබියදී වුවද එහි උණුසුම දැනීමයි. වසර දෙකකට වරක් සංවිධානය වන ක්‍රීඩක වෙන්දේසිය පසුගියදා පැවැත්වුණු අතර එය ලොවපුරා ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි කතාබහට ලක්ව තිබේ.
හේතුව වන්නේ ලොව ප්‍රධාන පෙළේ ටී-20 විශේෂඥයන් ලෙස සැලකෙන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කිසිදු IPL කණ්ඩායමක් විසින් මිලදී නොගැනීමයි. ඒ අතර නවසීලන්ත ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල්, එංගලන්ත සීමිත ඕවර් නායක ඔයින් මෝර්ගන්, නවසීලන්ත වේගපන්දු යවන මිචෙල් මැක්ලීනගන්, ඕස්ට්‍රේලියාවේ ෂෝන් මාෂ් කොදෙව් ප්‍රවේගකාරී පිතිකරු ලෙන්ඩ්ල් සිමන්ස්, ඉන්දියානු වේගපන්දු යවන්නන් ඉෂාන්ට් ෂර්මා සහ ඉර්ෆාන් පතන් කැපී පෙනෙන ක්‍රීඩකයන් වේ. IPL තරගාවලි ඉතිහාසය පුරා ගිනිකෙලි සන්දර්ශන පෙන්නූ ක්‍රිස් ගේල්ට ද හිමිවූයේ අවම වටිනාකමකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බොහෝ දෙනා දෑස් දල්වා බලාගෙන සිටියේ ලසිත් මාලිංගට සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට හිමිවන වටිනාකම පිළිබඳවයි. මන්ද මේ වනවිට දැඩි පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් 2018 IPL තරගාවලිය සඳහා ඔවුන් දෙදෙනා සුදුසකම් ලබනු ඇති බවට විශාල බලාපොරොත්තුවක් ප්‍රේක්ෂකයන් තුළ තිබිණි. එයට හේතුව ලසිත් මාලිංග යනු IPL තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලුලාභිය වීමයි. එසේම තිසර පෙරේරාද ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව මේ වනවිට ඉහළ දස්කම් දක්වමින් සිටින අතර මෙම ක්‍රීඩක යුගලයම 20/20 තරගවල හා විශේෂයෙන් ප්‍රීමියර් ලීග් තරගාවලිවල විශේෂ දස්කම් දක්වනු පසුගිය කාලය පුරා දක්නට ලැබිණි.
කෙසේ වෙතත් මාලිංගට හෝ තිසරට කණ්ඩායම් හිමිකරුවන්ගෙන් කිසිදු වටිනාකමක් හිමි නොවූ අතර ඒ නිසා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුන් වී තිබේ. දැන් එම ප්‍රේක්ෂකයන් ඉන්දියාවට විවිධ චෝදනා එල්ල කරමින් සිටින අතර මාලිංග තෝරා නොගැනීම හේතුවෙන් ඉන්දියානු විරෝධය තවත් ශක්තිම වී ඇත.
හැමදාමත් මුළාවට පත්වන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් මෙහිදීද දැඩි සේ මුළාවට පත්ව ඇති අතර අවශ්‍ය වන්නේ යථාර්ථය තේරුම් ගැනීමයි.
IPL යනු සූදුවකි. එය එසේ මෙසේ සූදුවක් නොවේ. ඉන්දියානු රුපියල් පමණක් නොව ඇමරිකානු ඩොලර්, යූරේ, ඩිනාර්, රියාල් මිලියන, බිලියන ගණනින් සංසරණය වන සූදුවකි. එසේ නම් එවැනි සූදුවක් සඳහා කකුල් කැඩුණු, විශ්වාසයක් නොමැති අශ්වයන් සහභාගි කරවා ගැනීම විහින් මුළාවේ වැටීමකි.
ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අවබෝධ කර නොගන්නා, එහෙත් IPL කණ්ඩායම් හිමිකරුවන් හොඳින්ම දන්නා කරුණ එයයි.
අනෙක් කරුණ වන්නේ කණ්ඩායම් හිමිකරුවන්ට අවශ්‍ය දක්ෂ ක්‍රීඩකයන් තම කණ්ඩායමේ රඳවා ගැනීම පමණි. එහිදී ඔවුන් ක්‍රීඩකයන්ගේ ප්‍රවීණත්වය හෝ පෙර තරගාවලිවලදී තම කණ්ඩායමට ඉටුකළ සේවය තඹේකට මායිම් කරන්නේ නැත. එවැනි කරුණු සැලකිල්ලට ගනිමින් සූදු කෙලීමට ඔවුන් සූදානම් නොමැතිවාක් මෙන්ම එය විහින් වලේ වැටීමකි.
ක්‍රීඩකයන්ගේ ඉතිහාසය හෝ ඔවුන්ගේ වාර්තා, කණ්ඩායම් සඳහා මුදල් ආයෝජනය කරන ධන කුවේරයන්ට අදාල නැත. ඔවුන්ට අදාල වන්නේ අද දවසේදී දක්ෂතා දක්වන්නේ කවරෙක්ද යන්න පමණි. එය හොඳින්ම වටහා ගත හැක්කේ ඉන්දියානු තරුණ ක්‍රීඩකයන්ට මෙන්ම එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වැනි රටවල ප්‍රාන්ත මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට පවා වැඩි වටිනාකමක් ලබාදීම හේතුවෙනි.
ලසිත් මාලිංග යනු තවදුරටත් දුවන අශ්වයෙකු නොවන බව IPL සංවිධායකයන් තහවුරු කර තිබේ. අප තේරුම් ගත යුත්තේ මෙම පැහැදිලි සත්‍යයයි. මාලිංගට කිසිදු වටිනාකමක් නොමැති විට දුෂ්මන්ත චමීර සහ අකිල ධනංජය IPL කණ්ඩායම් විසින් මිලදී ගැනීම පිළිබඳ සතුටු වනවා හැරෙන්නට ඉන්දියාවට හෝ IPL තරගාවලියට ඉරිසියා කිරීම හෝ බැනවැදීමෙන් කිසිදු පලක් නොමැත.
වත්මන් ලෝක ක්‍රිකට් පිටියේ අප ස්ථානගත වී ඇති තැන අවබෝධ කරගත හැකි හොඳම කරුණ වන්නේ මෙම තරගාවලිය සඳහා එක් එක් රටවලින් සුදුසුකම් ලබාගැනීමට සමත් වූ ක්‍රීඩකයන් ප්‍රමාණය පිළිබඳව පිරික්සා බැලීමයි. ඉන්දියාව හැරෙන්නට වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවෙනි. එය 19 ක් වන අතර දකුණු අප්‍රිකානුවන් 10 ක්, කොදෙව්වන් 09 ක්, එංගලන්තයෙන් 08 ක් සහ නවසීලන්තයෙන් 07 ක් සුදුසකම් ලබා ගනී. මීට අමතරව ඇෆ්ගනිස්ථානයෙන් ක්‍රීඩකයන් හතර දෙනෙකු සුදුසුකම් ලබාගන්නා අතර බංග්ලාදේශයෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු සුදුසකම් ලබා ගනී. මීට අමතරව ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙකි. විශේෂත්වය වන්නේ නේපාලයේ 17 හැවිරිදි ක්‍රීඩකයෙකු ද මෙවර IPL තරගාවලිය සඳහා එක්වීමයි. ඇෆ්ගනිස්තානුවන් සිව්දෙනාගෙන් රෂීඩ් ඛාන් අවසන් 11 දෙනා අතර අනිවාර්යෙන් සිටින අතර මොහමඩ් නබීට ද ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇත. එසේම බංග්ලාදේශ ක්‍රීඩකයන් දෙදෙනා වන මුස්තෆිසුර් රහ්මන් සහ ෂකීබ් අල් හසන් දෙදෙනාට විටින් විට අවස්ථාව හිමිවනු ඇත. එහෙත් අපේ දුෂ්මන්තට හෝ අකිල එක් තරගයකට හෝ අවස්ථාවක් හිමි වුවහොත් එය දක්ෂතාවයට වඩා වාසනාව මත හෝ සෙසු ක්‍රීඩකයන් ආබාධයකට ලක්වීම මත තීරණය වනු ඇත.
මේ පෙන්වන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි යථාර්ථයයි. අනාගතය ගැන හෝ බලාපොරොත්තුවක් තිබේ නම් ඒ සඳහා මහන්සි වී වැඩකළ හැකිය. එසේ නොමැතිනම් අපේ ගොනා අපට හොඳා කියමින් හැමදාමත් ඉන්දියාවට ඉරිසියා කරමින් සිටිය හැකිය.
COMMENTS