මේජර් නෙවිල් වන්නිආරච්චි සතුව බැංකු ගිණුම් 17ක් තිබෙන අතර ඒවා පවත්වාගෙන ගොස් ඇත්තේ හැටන් නැශනල් බැංකුව, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන ...
මේජර් නෙවිල් වන්නිආරච්චි සතුව බැංකු ගිණුම් 17ක් තිබෙන අතර ඒවා පවත්වාගෙන ගොස් ඇත්තේ හැටන් නැශනල් බැංකුව, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන බැංකු වලය. මෙම ගිණුම් සම්බන්ධ සියළුම තොරතුරු මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර නැත. ඔවුන් පවසන්නේ කෝටි ගණනින් මුදල් ගනුදෙනු මෙම බැංකු ගිණුම් හරහා සිදුවී ඇති බැවින් එම මුදල් ලබාදුන් සහ ලබාගත් පුද්ගලයින් පිළිබඳව ද විමර්ශනය කළයුතු නිසා ඊට සැලකිය යුතු කාලයක් ගතවන බවය.
මීට අමතරව නෙවිල් වන්නිආරච්චි සතුව ට්‍රැක්ටර් 05ක්, ට්‍රේලර් 02ක්, මගී ප්‍රවාහන බස් රථ 07ක් සහ ටොයෝටා වර්ගයේ ජීප් රථයක් ඇත. එමෙන්ම මහනුවර කුණ්ඩසාලේ පර්චස් 12.1ක ඉඩමක් සහ නිවස, තිස්සමහාරාම අකුරුගොඩ පර්චස් 44ක ඉඩමක්, මහරගම වත්තේගෙදර පර්චස් 11ක ඉඩමක් සහ නිවස, දෙමටගොඩ මහවෙල පටුමගේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණයේ මහල් නිවසක් සහ වලස්මුල්ල පස්මංහන්දියේ ඉන්ධන පිරවුම්හල යන දේපළ ඔහුට හිමිව ඇත.
මේ දැනට නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති ලැයිස්තුව පමණි. මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවමත් පරීක්ෂණ පවත්වන තවත් දේපළ ද ඔහුට හිමිව ඇති බවට වාර්තාවේ. මේජර්වරයකුගේ වැටුපෙන් මේ තරම් දේපළ අත්පත් කරගැනීම යනු කිරීමට තබා සිතීමටවත් නොහැකි දෙයකි.
මේජර් නෙවිල්ගේ බිරිඳ ක්‍රිෂ්ණා මධුරාණි රණමුක ආරච්චිය. ඇය කිසිදින රැකියාවක් නොකළ ගෘහණියකි. ඇය සතුව වෑන් රථ 02ක්, ඩබල් කැබ් රථයක්, කාර් එකක් සහ බස් රථයක් ඇත. ඊට අමතරව වීරකැටිය කොටබෝව නාගරික සංවර්ධන අධිකාරියට අයත් සාප්පු සංකීර්ණයේ කඩකාමරයක් සහ කෝට්ටේ මාදිවෙල සිගේරා මාවතේ පර්චස් 17ක ඉඩමක් සහ තට්ටු 03ක නිවස යන දේපළ ඇය සතුව ඇත.
මෙහි ඇති විස්මිත විශේෂත්වය වන්නේ මේ දෙපළ මෙම සියළු දේපළ රැස් කරගෙන ඇත්තේ වර්ෂ 2006න් පසු වීමයි. වර්ෂ 2006ත් 2014ත් අතර මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ඔවුන් මෙතරම් දේපළ ප්‍රමාණයක් උපයා ගැනීමට සමත්ව ඇත. මේජර් නෙවිල්ගේ මෙම දේපළ පිළිබඳව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් දැනටමත් ඔහුට එරෙහිව නඩු පවරා ඇත. එහෙත් වැදගත් වන්නේ ඔහු මෙතරම් දේපළ ප්‍රමාණයක් උපයාගත් දූෂිත ක්‍රමවේදය සහ ඔහුට ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව සොයාගෙන ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරවීමය.
මේජර් නෙවිල් සම්බන්ධ මිනීමැරුම් ගණනාවක් සම්බන්ධයෙන් ද මේ වන විට කරුණු හෙළිදරව් වෙමින් පවතී. රාජපක්ෂවරුන් වෙනුවෙන් ඔහු කළ මිනීමැරුම් ගැන තොරතුරු ද ඉදිරියේදී අනාවරණය කිරීමට ලංකා නිව්ස් වෙබ් අප සූදානම්ය.
මේ සියල්ලට අමතරව මෙම දෙපළට අලි පැටවෙකු ද අයත්ව සිටින බව වාර්තා වේ. ලංකාවේ සමාජයේ ප්‍රභූත්වයේ සංකේතයක් ලෙස අලි ඇතුන් භාවිතා විය. ඒ අනුව පසුගිය යුගයේදී අලුතින් බිහිවූ කෝටිපතියන්ට ද ප්‍රභූත්වය ආරූඬ කරගැනීම සඳහා අලි පැටවුන් අයිති කරගැනීමේ උණක් තිබුණා අපට මතකය. ඊට සමගාමීව අලි ජාවාරමක් ද ඇතිවී තිබුණි. මෙම යුවල ද ලබාගෙන ඇත්තේ එසේ මව් ඇතින්න මරාදමා අල්ලාගත් අලි පැටවෙකි.
කෙසේවෙතත් ඉහත සඳහන් දේපළ පිළිබඳව විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදී ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේජර් නෙවිල්ට මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරීමට සූදානම් වෙමින් පවතී. එහෙත් ලංකාවේ 'ඩීල් කලාව' කොතරම් ප්‍රබලද යන්න මෙම නීතිමය ක්‍රියාදාමය ඉදිරියේදීත් අපට දැකගැනීමට නුදුරේදීම හැකිවනු ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන දෙකටම නිදහසේ කටයුතු කරමින් දූෂිතයින්, අපරාධකරුවන් කොටුකර ගැනීමට දේශපාලනඥයින් ඉඩ ලබා දෙන්නේ නැත. මේ කරුණේදී නම් පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම දේශපාලනඥයින් එක හා සමානය. එහෙයින් අපට කළ හැක්කේ හැකි පමණින් දූෂිතයින්, අපරාධකරුවන් පිළිබඳව තොරතුරු සමාජය ඉදිරියේ හෙළිදරව් කිරීමය. අපි එය සමාජ වගකීමක් ලෙස භාරගෙන දිගින් දිගටම මෙම හෙළිදරව් කිරීම් කරන්නෙමු.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි සහ ඔහුගේ බිරිඳගේ දේපළ සම්බන්ධ ඉහත පුවතේ සඳහන් කරුණු අසත්‍යයැයි කිසිවකු පවසන්නේ නම් ඒ පිළිබඳව නීතිය ඉදිරියේ පෙනී සිටින්නට අප සූදානම්ය. එසේම මේ පිළිබඳව යමක් කීමට එම දෙපළට ඇත්නම් ඊට ද අවස්ථාව ලබාදීමට ලංකා නිව්ස් වෙබ් අප සූදානම්ය.
COMMENTS