සියදිවි හානි කර ගැනීම හේතුවෙන් සෑම වර්ෂයකදීම ලොවපුරා පුද්ගල මරණ ලක්ෂ අටක් සිදුවන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතකදී නිකුත් කළ අවසන් වාර්තා...
සියදිවි හානි කර ගැනීම හේතුවෙන් සෑම වර්ෂයකදීම ලොවපුරා පුද්ගල මරණ ලක්ෂ අටක් සිදුවන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතකදී නිකුත් කළ අවසන් වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ සියදිවි තොර කර ගැනීමේ ප්‍රතිශතය ක්‍රම ක්‍රමයෙන් අවම වෙමින් පවතින බව හෙළිවී තිබේ.
එල්ලීමිය යාම, කෘමි නාශක පානය, දුම්රියට පැනීම, දියට පැනීම වැනි ක්‍රම ගණනාවක් ඔස්සේ මෙරට සියදිවි තොර කර ගැනීම් සිදුවන අතර කාර්මිකකරණය හා සීඝ්‍ර නාගරීකරණයේ ප්‍රතිපලයක් වශයෙන් විරැකියාව, දුගීබව, හුදකලාව හා මානසික ආතතිය වැනි හේතු මත පුද්ගලයන් දිවි තොර කර ගැනීමට යොමුවන බව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු වාර්තා සදහන් කරයි.
ගෝලීය සිය දිවි හානි කර ගැනීම බහුලව සිදුවන නමුත් ඉදිරි දශකය තුළ දී එවැනි මරණ අවම තත්ත්වයට පත්වෙමින් පවතින බව වර්ෂ 1960 සිට වර්ෂ 2017 දක්වා දශක පහක කාලයක ගෝලීය දත්ත පදනම් කර ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරයි.
සියදිවි නසා ගැනීම හේතුවෙන් ඉකුත් වසර දහයක කාලය තුළ ශ්‍රී ලංකාවේ පුද්ගල මරණ 31 887ක් පොලිස් දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබේ. වර්ෂ 2006 සිට 2016 දක්වා කාලය තුළ මෙම මරණ ප්‍රමාණය වාර්තාවන අතර ඉන් වැඩි සියදිවි හානි කර ගැනීම් ප්‍රමාණයක් පුරුෂයන් විසින් සිදුකර ගෙන ඇති අතර එම ප්‍රමාණය 24 878කි. ශ්‍රී ලංකා පොලිසියේ දත්ත අනුව ඉකුත් 2006 සිට 2016 වර්ෂය දක්වා සිදුව ඇති ස්ත්‍රී සිය දිවි හානි කර ගැනීම් ප්‍රමාණය 7009කි.
සියදිවි හානි කර ගැනීම් අතර ප්‍රමුඛස්ථානය පුරුෂ පාර්ශවයට හිමිව තිබෙන නමුත් වර්ෂ 2014 සිට මේ දක්වා පුරුෂ පාර්ශයේ සියදිවි හානි කර ගැනීම සාපේක්ෂ වශයෙන් පහළ ප්‍රතිශතයක් වාර්තා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා ශ්‍රී ලංකා පොලිසිය සදහන් කරයි.
ශ්‍රී ලංකාව ඇතුලු සංවර්ධන වෙමින් පවතින රටවල සියදිවි හානි කර ගැනීම් පිළිබද වසර හතක කාලයක් අධ්‍යනය කළ එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ පර්යේෂිකාවක වන දුලීකා ඩබ්ලියු. කනිපේ මහත්මිය සිය Socioeconomic risk factors for suicide in low and middle income countries වාර්තාව මගින් සදහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සියදිවි තොර කර ගැනීම සදහා ණය, රැකියා අහිමිවීම, සබදතා බිද වැටීම, හිරිහැර කිරීම්, මත්පැන් අනිසි භාවිතය වැඩි වශයෙන් හේතුවී ඇති බවය. වර්ෂ 2006 සිට 2013 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාව පිළිබදව කළ අධ්‍යයන වලදී මෙරට සියදිවි තොර කර ගැනිම සාපේක්ෂ වශයෙන් අවම වෙමින් පවතින බව වර්ෂ 2014දී සිය විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාව මගින් ඇය පෙන්වා දෙයි.
පුරුෂාධිපත්‍ය සහිත සමාජයක පවුල් නඩත්තුව අනුව පුරුෂයාට වැඩි බරක් හා වගකීමක් පැවරෙන නමුත් එම වගකීමෙන් මිදීමට ඇති එකම හා පහසුම ක්‍රමය සියදිවි තොර කර ගැනීම නොවන බව මහනුවර මහ රෝහලේ මනෝචිකිත්සක විශේෂඥ වෛද්‍ය ඩබ්ලියු.ඒ.එල්.වික්‍රමසිංහ මහතා පැවසීය.
ගැටලුවලින් මිදීම සදහා එල්ලීමිය යාම, කෘමි නාශක පානය, දුම්රියට පැනීම, දියට පැනීම වැනි තීරණ කරා ක්ෂණීකව යොමු නොවන ලෙසත් සමාජ ගැටලු සදහා සාර්ථික පිළියම් ලබාදීමේ හැකියාව සමාජය සතු යැයි ඒ මහතා කිවේය. මහනුවර මහ රෝහල ඇතුලුව මෙරට ප්‍රධාන රෝහල් මගින් ද ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වැනි ආයතන මගින් ද මානසික සුවතාව වර්ධනය කිරීමේ වැඩසටහන් දියත් කරන බවත් ගැටලු සහිත අවස්ථාවලදී කිසිදු අවහිරයකින් තොරව එම සේවාව ලබා ගත හැකි යැයි ඒ මහතා කීවේය. එම මනෝ විද්‍යාත්මක වැඩපිළිවෙල හා උපදේශන කාර්යයයේදී පුද්ගලිකභාවය සුරක්ෂිත කිරීමට සියලු කාර්යය මණ්ඩලය බැදී සිටින බව ද විශේෂඥ වෛද්‍ය ඩබ්ලියු.ඒ.එල්.වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
සියදිවි තොර කර ගැනීම වැළැක්වීම සහ උසස් මානසික තත්ත්වයෙන් යුතු පුද්ගලයන් රටට දායාද කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය දිගු කාලීන වැඩපිළිවෙලක් මේ වන විටත් දියත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල ඇතුලුව මෙරට සියලු දිස්ත්‍රික ආවණය වන පරිදි පිහිටි රජයේ ප්‍රධාන රෝහල්වල මනෝ උපදේශක වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසීය.
දකුණු ආසියාව තුළ සියදිවි හානි කර ගැනීම වැළැක්වීම සදහා බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල විශේෂඥයන් හා නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 2016 අප්‍රේල් මස ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති නියෝජිත සමුළුව ශ්‍රී ලංකාවට අතිශය වැදගත්වූ බව ඒ මහතා සදහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු ප්‍රාදේශීය කාර්යාලයේ සංවිධානත්වයෙන් පැවැති එම සමුළුවේදී ශ්‍රී ලංකාවේ සියදිවි තොර කර ගැනීම වැළැක්වීම සදහා මහජනතාව දැනුවත් කළ යුතු බවත් නිසි මනෝ උපදේශක වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු බවත් තීරණය කර ගෙන ඇතැයි ඒ මහතා කීවේය.
ඒ අනුව ප්‍රධාන රෝහල් මෙන්ම පළාත් හා දිස්ත්‍රික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාල ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල මගින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල මේ වන විටත් දියත් කොට තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
COMMENTS