කෙප්ලර් 90 නමැති මෙම සූර්යයා පිහිටා තිබෙන්නේ ඩ්‍රැකෝ නමැති තාරුකා රාශියේ ය. පෘථිවියේ සිට මෙම අලුත් සෞර ග්‍රහ මණ්ඩලයට තිබෙන දුර ආලෝක වර්ෂ ...
කෙප්ලර් 90 නමැති මෙම සූර්යයා පිහිටා තිබෙන්නේ ඩ්‍රැකෝ නමැති තාරුකා රාශියේ ය. පෘථිවියේ සිට මෙම අලුත් සෞර ග්‍රහ මණ්ඩලයට තිබෙන දුර ආලෝක වර්ෂ 2545 කි.
කරකුට්ටම් ලෝකයක්
නාසා ආයතනය දැන් බොහෝ කලෙක පටන් මෙම කෙප්ලර්-90 තාරුකාව පිළිබඳ ඇස ගසාගෙන සිටියේ එය අපේ සෞර ග්‍රහ මණ්ඩලයට සමාන කම් දක්වන බව අවබෝධ කර ගැනීම නිසා ය. ඒ අනුව මෙම ග්‍රහලෝක එක පොකුරට එම හිරු වටා කැරකැවෙන බවත් ඔවුහු දැන සිටියහ. නමුත් නවතම සොයාගැනීමෙන් පහදා දෙන්නේ එම ග්‍රහලෝක සංඛ්‍යාව, මෙතෙක් සිතාගෙන සිටි පරිදි ග්‍රහලෝක 7 ක් නොව 8ක් වන බව ය. එම සූර්යයාගෙන් ආලෝකමත් වන බව ය. එසේ සොයාගත් අටවැනි ග්‍රහලෝකය ගැන ද බොහෝ තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් තිබේ. එහි නම Kepler-90i ය. එය අධික ලෙස උණුසුම් ය. තවද ඉතා කුඩා ය. පාෂාණ බහුල ය. ජීවයක් ඇතැයි සිතිය නොහැකි ය. එම ග්‍රහලෝකය, තමන් වටා කැරකෙන අතරවාරයේ තමන්ගේ හිරු වටා කැරකීමට එනම් පරිභ්‍රමණය සඳහා ගතවන කාලය දින 14.4 කි.
මෙම අටවැනි ග්‍රහලොව සොයාගැනීම සඳහා නාසා විද්‍යාඥයන් විසින් භාවිතාකර තිබෙන්නේ නවතම තාක්ෂණයකි. එය ‘ගූගල් කෘතිම බුද්ධිය’ යනුවෙන් හැඳින්වේ. එහිදී මන්දාකිණි තුළ ‘ග්‍රහලෝක දඩයමේ’ යාම සඳහාම නිපදවා තිබෙන කෙප්ලර් දුරේක්ෂය මගින් ලැබෙන දත්ත, කෘතිම බුද්ධිය හෙවත් පරිගණකයක් මගින් විශ්ලේෂණය කරයි. මෙම පරිගණකයට මේ සඳහා අවශ්‍ය ‘පුහුණුවීම’ ද නාසා විද්‍යාඥයන් සහ ගූගල් සමාගමේ මෘදුකාංග ඊංජිනේරුවෙකු විසින් ලබාදී තිබේ. සීඑන්එන් වාර්තාව පවසන්නේ ඒ සඳහා ‘බල්ලන් සහ බළලුන්ගේ රූප’ එකිනෙකින් වෙන් කර ගැනීමේ කෘතිම ඥානය පරිගණකයට කැවීමට ඔවුන්ට සිදුවූ බවයි. ‘නියුරල් නෙට්වර්ක්’ යනුවෙන් මෙම තාක්ෂණය හඳුන්වයි.
සෞර ග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටා තිබෙන ග්‍රහලෝක හැඳින්වීමට තාරුකා විද්‍යාඥයන් යොදන නාමය ‘එක්සො ප්ලැනට්ස්’ (exoplanets) හෙවත් “බාහිර ග්‍රහලෝක’ යන් ය. 2009 වසරේ පටන් වැඩට බසින කෙප්ලර් දුරේක්ෂය, මේ වන විට අහසේ එක් පැත්තක තිබෙන තාරුකා 150,000 කට අධික සංඛ්‍යාවක් අධ්‍යයනය කර අවසන් ය. එහිදී ග්‍රහලෝක විය හැකි බවට සැලකෙන ස්කන්ධයන්ගෙන් නිකුත් වන සංඥා 35,000 ක් පමණ ග්‍රහණය කර ගැනීමට ද එය මෙතෙක් සමත් වී තිබේ. නමුත් මෙහිදී ඉතා දුරින් පිහිටා තිබෙන නිසා හෝ වෙන යම් හේතුවක් නිසා දුර්වල සංඥා නිකුත් කරන ග්‍රහලෝක හඳුනාගැනීමට කෙප්ලර් ට අසීරු බව පැහැදිලි ය. නාසා ආයතනය ඉහත කී නියුරල් නෙට්වර්ක් තාක්ෂණය මගින් සිදුකළේ කෙප්ලර් දුරේක්ෂයේ මේ නොහැකියාව දුරු කිරීමයි. කෙප්ලර්-90 සූර්යයා වටා ග්‍රහලෝක 7 ක් නොව 8 ක්ම භ්‍රමණය වෙමින් තිබෙන බව සොයාගැනුණේ මේ අනුව ය.
මේ සහෝදරයා හැර තවත් සහෝදරයන් සිටීද?
මිහිමත විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට අපේ සෞර ග්‍රහ මණ්ඩලය බිහිවූයේ මෙයට අවුරුදු බිලියන 4.6කට පෙර ය. එය ක්ෂීරපථය හෙවත් මිල්කි වේ නමැති මන්දාකිණිය තුළ පිහිටා තිබේ. චක්‍රාවාට යනුවෙන් හඳුන්වන්නේ ද මන්දාකිණියම ය. එම මන්දාකිණියේ එනම් ක්ෂීරපථයේ හරි මැද වන්නට අති දැවැන්ත කළු කුහරයක් පිහිටා ඇත. සූර්යයා ද එහි ඇති තාරකාවකි. නාසා ආයතනය විශ්වාස කරන ආකාරයට මෙකී අති දැවැන්ත කළු කුහරය, අපේ සූර්යයා මෙන් මිලියන 4 ගුණයක් විශාල ය. කුඩා කල අප විද්‍යා පොත පතින් ද ඉගෙන ගත් ආකාරයට ක්ෂීරපථය හෙවත් අප අයත් වන මන්දාකිණියේ ළඟම අසල්වැසි මන්දාකිණිය ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයයි. අජටාකාශයේ දුර මනින්නේ මීටර කිලෝමීටරවලින් නොව ආලෝක වර්ෂවලිනි. මේ අනුව අපේ අසල්වැසි චක්‍රාවාටය වන ඇන්ඩ්‍රොමීඩා පිහිටා තිබෙන්නේ අප අයත් චක්‍රාවාටය වන ක්ෂීරපථයට අලෝක වර්ෂ මිලියන 2.5 ක් ඈතිනි. මෙවන් චක්‍රාවාට තුළ සූර්යයා කේන්ද්‍රකරගෙන භ්‍රමණය වන වෙනත් සෞර ග්‍රහ මණ්ඩල ගණනාවක්ම පිහිටා තිබේ. අප ජීවත් වන ක්ෂීරපථය තුළද එය එසේ ය. එනම් පෘථිවිය ඇතුළු ග්‍රහලෝක 9 ක් සූර්යයා වටා කැරකැවීමෙන් නිර්මාණය වී තිබෙන අපේ සෞර ග්‍රහ මණ්ඩලය මෙන්ම තවත් සෞර ග්‍රහ මණ්ඩල ද ගණනාවක් මේ ක්ෂීරපථය තුළම පිහිටා තිබේ. වෙනත් අයුරකින් පවසන්නේ නම් අප ජීවත් වන චක්‍රාවාටය තුළත් තවත් සූර්යයන් පායයි. නාසා විද්‍යාඥයන් විසින් මෙතෙක් තහවුරු කරගෙන තිබෙන කරුණුවලට අනුව අප අයත් චක්‍රාවාටය තුළ පවා තවත් සෞර ග්‍රහ මණ්ඩල බිලියන ගණනක් තිබේ. මුළු මහත් විශ්වයම සැලකූ විට අප ජීවත් වන ක්ෂීරපථය චක්‍රාවාටයත්, අප දන්නා අපේ අසල්වැසි චක්‍රාවාටය හෙවත් මන්දාකිණිය වන ඇන්ඩ්‍රොමීඩාටත් අමතරව තවත් චක්‍රාවාට ද තිබේ.
මේ සියලු කරුණු අනුව අද සිදුකළ සොයාගැනීම තවදුරටත් අපට පෙන්වා දී ඇත්තේ පෘථිවියට සමාන ග්‍රහලෝක මේ විශ්වයේ තිබේද යන උනන්දුජනක කරුණට අමතරව ඉතාම වැදගත් තවත් මාවතකි. එනම් අප දන්නා උදේට පායන හිරුට ද තවත් සහෝදරයන් සිටිනා බවයි. තවද මේ සොයාගත්තේ එවන් එක් සහෝදරයෙක් පමණක් වන්නට ද ඉඩ තිබේ. අනාගතයේදී පෘථිවිය අයත් හිරු මෙන්ම පරිවාර ග්‍රහලෝක ගණනාවක් සහිත තවත් සූර්යයන් ද මේ චක්‍රාවාටය තුළින්ම හෝ වෙනත් චක්‍රාවාටයන් තුළින් ද හමුවීමට ඉඩ තිබේ. නූතන තාරකා විද්‍යාව, පොළොව මත ජීවත් වෙමින් ලෝකයම අයිති කර ගන්නට සිහින දකින මිනිසා, මේ විශ්වය තුළ කෙතරම් ‘ක්ෂුද්‍ර ජීවියෙක්’ ද යන්න පහදා දෙන්නේ මෙවන් සොයාගැනීම් තුළිනි.
- අමාලි ජයවීර
COMMENTS