බැසිල් රාජපක්ෂව ඉදිරියෙන් තබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු දේශපාලන කටයුතු මෙහෙයවන්නේ ඉන්දියාව විසින් බව දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා ද...
බැසිල් රාජපක්ෂව ඉදිරියෙන් තබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළු දේශපාලන කටයුතු මෙහෙයවන්නේ ඉන්දියාව විසින් බව දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා දෙති.
චීන හිතවාදය ගැන අමනාපයෙන්
වත්මන් රජයේ චීන හිතවාදී පිළිවෙත ඉන්දියාවේ අමනාපයට හේතු වී ඇති බවත් එහෙයින් ශ්‍රී ලංකා දේශපාලනයෙහි තුන් වෙනි බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් මල් පොහොට්ටුව පක්ෂය ප්‍රවර්ධනය කිරීම ඉන්දියාව විසින් සිදු කරමින් පවතින බවත් දේශපාලන විශ්ලේශකයෝ ප්‍රකාශ කරති.
ගෙදර ගිය මහින්ද යළි කැඳවීම
2015 ජනවාරි 08 ජනාධිපතිවරණ පරාජයෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ද මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා දේශපාලනයෙන් ඉවත් වූ අතර ඔහුව ඉතා කෙටි කලක් තුළ නැවතත් දේශපාලන චරිතයක් බවට පත් කිරීම පිටුපස සිටින්නේ ඉන්දියාවය. පසුගිය දැවැන්ත මැයි රැළිය ඇතුළු ඔහුගේ සියළුම දේශපාලන ක්‍රියාකාරකම් සඳහා මුදල් පොම්ප කරන්නේ ඉන්දියාව විසිනි. ඉන්දීය මධ්‍යම රජය මීට සෘජුව සම්බන්ධ නොවන නමුත් විවිධ සංවිධාන හරහා ඔවුන් මීට මුදල් සම්පාදනය කරමින් සිටී.
ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ 2017 දැවැන්ත මැයි රැළියට ද සියළු වියදම් සපයා තිබුණේ ඉන්දියාව විසිනි. වත්මන් ආණ්ඩුවට එරෙහිව එතරම් ජනමතයක් ප්‍රායෝගිකව ඇතිවිමට අවශ්‍ය තරම් සාධක බිමෙහි සපිරී තිබුණේ නැත. එහෙත් ඉන්දීය මුදල් වපුරා කෘතීමව ජන විරෝධයක් ගොඩනැංවීමට බැසිල් ප්‍රමුඛ පිරිසට එහිදී හැකියාව ලැබිණි. මේ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ විසින් ද රජයට දැනුම් දී තිබිණි. එහෙත් කිසිවකු මෙම ඉන්දීය නින්දිත අත පෙවීමට එරෙහිව කට නොඅරින්නේ ඉන්දියාව තරහ කරගැනීමට ඇති බිය නිසාය.
අන්තවාදී ඉන්දියාව
අනෙත් අතට ඉන්දියාව ගැන ද යමක් කිව යුතුය. ඉන්දියාව යනු ඉතා දැඩිව ආගමික අන්තවාදයට යටවෙමින් පවතින රටකි. එය කෙතරම්ද යත් පාප් වහන්සේගේ දකුණු ආසියානු සංචාරය උන්වහන්සේ බංග්ලාදේශය, මියන්මාරය වැනි රටවල සංචාරය කළද ඉන්දියාව උන්වහන්සේට සංචාරය සඳහා ආරාධනා කළේ නැත. එය සංස්කෘතීන් අතර විවිධත්වය පිටුදකිමින් හින්දූත්ව සංකල්පය තුළ ගිළි යමින් පවතී.
ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සිධු යනු 2004 වසරේ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳහෙළීම සඳහා ද තීරණාත්මක භූමිකාවක් ඉටු කළ පුද්ගලයෙකි. ඔහු මෙවරත් ශ්‍රී ලංකාවෙහි දේශපාලනික අස්ථාවරභාවයක් ඇති කිරීම උදෙසා ඉතා ක්‍රමානුකූල ලෙස ක්‍රියාත්මක වෙමින් සිටී.
මන්ත්‍රී වෙන්නත් බැරි බැසිල්
බැසිල් රාජපක්ෂ යනු බොහෝ ඉන්දීය සම්බන්ධතා ඇති පුද්ගලයෙකි. පසුගිය රාජපක්ෂ පාලන සමයේ ද ඉන්දියාව සමඟ සුහදතාව පවත්වාගෙන යාම සඳහා ක්‍රියාකාරී වූයේ ඔහුය. එහෙයින් ඉන්දියාව මෙවර තම වුවමනාවන් ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ඔහුව තෝරාගෙන තිබේ. එසේම ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ පූර්වාදර්ශය අනුව බැසිල් රාජපක්ෂ යනු නැවතත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට හෝ තේරීපත්විය නොහැකි පුද්ගලයකු බව පැහැදිලිය. ඒ තිබියදීත් බැසිල් මේ තරම් උනන්දුවෙන් දේශපාලන වේදිකාවේ දඟලන්නේ කාගේ හෝ කොන්ත්‍රාතුවකට බව කාට වුණත් වැටහිය යුතුය.
ඉන්දීය මුදල් හුවමාරු
රජයට එක්වී ඇමති තනතුරක් ලබා ගැනීමේ සූදානමින් පසුවන ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායකව ඉන් වළක්වාලීම සඳහා බැසිල් රාජපක්ෂ පසුගිය දින කිහිපයෙහි උපරිම උත්සාහය දැරීය. ඔහුට ඉන්දියාවෙන් උපදෙස් ලැබී ඇත්තේ පිල් මාරු කිරීමට සූදානමින් පසුවන මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දී කෙසේ හෝ රඳවා ගන්නා ලෙසය. ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් පවා බැසිල් රාජපක්ෂ විසින් මිල දී ගන්නා ආකාරය අපට දැක ගැනීමට හැකිවනු ඇත.
කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ යනු 2015 ජනවාරි ජනාධිපතිවරණ පරාජයත් සමඟම රටින් පළාගිය පුද්ගලයාය. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ බොහෝ කලකට පසුවය. එමෙන්ම ඔහු ඇමරිකානු පුරවැසියෙකි. එහෙයින් ඔහු රාජපක්ෂ කඳවුරේ මූලික චරිතය ලෙස පෙනී සිටීම එම කඳවුරේ ජ්‍යේෂ්ට දේශපාලනඥයින්ගේ නොසතුටට හේතු වී තිබේ. දිනේශ් ගුණවර්ධන වැනි ජ්‍යේෂ්ට නායකයින් සිටින්නේ බැසිල්ගේ ක්‍රියාකලාපය ගැන කළකිරීමෙනි.
අවසන් ඉල්ලීම
අවසාන වශයෙන් අපට කීමට ඇත්තේ ඉන්දියාව අවතක්සේරු නොකරන ලෙසය. මන්දයත් එල්.ටී.ටී.ඊ. සංවිධානය හදා වඩා පෝෂණය කළේද එය විනාශ කළේද ඉන්දියාව විසිනි. ඉන්දියාවේ වුවමනාව වෙනුවෙන් ප්‍රභාකරන්ව විනාශ කර එම මිනීමැරුමේ වගකීම තමන් වෙත පවරාගත් මහින්ද රාජපක්ෂව ද වසර 5ක ඇවෑමෙන් බලයෙන් පහ කළේ ද ඉන්දියාවමය. ඉන්දියාව යනු විමර්ශනයේ සහ විශ්ලේශනයේ ලෝක බලවතෙකි. එනිසා වත්මන් යහපාලන රජයට අප පවසන්නේ කිසිසේත්ම ඉන්දියාව අවතක්සේරු නොකරන ලෙසය.
COMMENTS