දුම්රිය සේවක වැඩ වර්ජනය ආරම්භ කළ වෘත්තීය සමිති හා අග්‍රාමාත්‍ය උපදේශක ජේ.දඩල්ලගේ මහතා අතර ඊයේ (11දා) පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ව...
දුම්රිය සේවක වැඩ වර්ජනය ආරම්භ කළ වෘත්තීය සමිති හා අග්‍රාමාත්‍ය උපදේශක ජේ.දඩල්ලගේ මහතා අතර ඊයේ (11දා) පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට එම වෘත්තීය සමිති මධ්‍යම කාරක සභාව ඊයේ තීරණය කළේය.
දුම්රිය සේවක වැඩ වර්ජනයට ආරම්භ කෙරුණේ ඉකුත් 6 වැනිදා මධ්‍යම රාත්‍රියේ දුම්රිය වැඩ වර්ජන හේතුවෙන් සේවක සේවිකාවන් විශාල පිරිසකට සේවා ස්ථානවලට වාර්තා කිරීමට නොහැකි වීමෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රජයේ හා පෞද්ගලික ආයතනවල සේවා කටයුතුද අඩපණ විය.
කොළඹ කොටුවේ සිට දුරසේවා බස් රථ හා සුඛෝපභෝගී සේවා බස් රථ යොදා තිබූ බවත් දුම්රිය ධාවන වාර 20ක් පමණ ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක වූ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. මහානාම අබේවික්‍රම මහතා සඳහන් කළේය.
මේ අතර කටුනායක, පේරාදෙණිය, කොටගල, අනුරාධපුරය, බදුල්ල ඇතුළු ප්‍රදේශවල ප්‍රාදේශීය ඉන්ධන ගබඩාවලට දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය කිරීම ඇනහිටීම නිසා දිවයිනේ අෑත ප්‍රදේශවලට ඉන්ධන බෙදා හැරීමට බලපෑම් එල්ලවනු ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා විසින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට නිවේදනය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලපැවැත්වෙන්නේ මසක පමණ කාලයකට පමණක් බවද දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
O/L අද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (12දා) ඇරැඹේ. මෙරට ජනතා ඉතිහාසයට කළු පැල්ලමක් එක්කරමින් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී දුම්රිය වර්ජනයක්ද ක්‍රියාත්මක කෙරෙනුයේ දුම්රිය ප්‍රවාහන මාධ්‍ය කොටගත් විභාග අපේක්ෂකයන් තවත් අසීරුතාවට පත් කරලමිනි.
අද (12දා) දිනයෙන් ආරම්භ වන විභාගය ලබන 21 වැනිදා තෙක් පවැත්වේ. නව නිර්දේශය යටතේ පාසල් අයැදුම්කරුවන් 414,694ක්ද පෞද්ගලික අයැදුම්කරුවන් 99,506ක් ලෙස විභාග අපේක්ෂකයෝ 514,200ක්ද මෙවර විභාගයට පෙනී සිටින අතර පැරැණි නිර්දේශය යටතේ පාසල් අයැදුම්කරුවන් 14,799ක්, පෞද්ගලික අයැදුම්කරුවන් 159,574ක් ලෙස විභාග අපේක්ෂකයන් 174,373ක් පෙනී සිටී.
නව නිර්දේශය යටතේ විභාග මධ්‍යස්ථාන 3762ක් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 536ක් සහ පැරැණි නිර්දේශ යටතේ විභාග මධ්‍යස්ථාන 1354ක් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 487ක්ද ක්‍රියාත්මක කෙරේ.
යහපත් විභාග වාතාවරණයක් විභාග අපේක්ෂකයන්ට ලබාදීම තම වගකීම බවත් යම් හෙයකින් විභාග වංචා කිරීම් ආදී වැරැදි ක්‍රියාවක් සිදුවුවහොත් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගවලට එළැඹීමට සූදානම් බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කළ විමසීමකදී පැවැසීය.
දුම්රිය ස්ථානවලට ලංගම බස් 1,000ක්
අද ඇරඹෙන අ.පො.ස (සා.පෙ) විභාගයට පෙනී සිටින පාසල් සිසු සිසුවියන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා ප්‍රධාන දුම්රිය ස්ථානවල සිට ශ්‍රී ලංගම විශේෂ බස් සේවා යොදා ඇති බැවින් තම විභාග මධ්‍යස්ථානවලට කල්වේලා ඇතිව යා හැකි පරිදි තම ගමන් පහසුව සලසා ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය උපදෙස් දෙයි.
දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටින දරු දැරියන්ගේ සහ මහජනතාවගේ ගමනාගමන අපහසුතාවයන් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පුළුල් වැඩ පිළිවෙළක් සකසා ඇතැයි එම අමාත්‍යාංශය කියයි.
ඒ අනුව ශ්‍රී ලංගමය විසින් දෛනිකව ධාවනය කරන 5700ක් පමණ වූ බස් ඇණියට අමතරව තවත් බස්රථ 1000ක් විශේෂ සේවා සඳහා ධාවනයට යොදා ඇත. තවත් අමතර බස් රථ 750ක් සහ සුඛෝපභෝගි බස්රථ 60ක් දුරගමන් සේවා සඳහා යොදවා තිබේ. ශ්‍රී ලංගමයේ රියැදුරු, කොන්‍ෙදාස්තර, කාර්මික ඇතුළු සියලුම ශේර්ණිවල සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇත.
දුම්රිය වාර ප්‍රවේශපත් හිමි සිසු සිසුවියන්ටද, දුම්රිය වාර ප්‍රවේශපත් හිමි රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ටද කිසිදු ගාස්තු ගෙවීමකින් තොරව මෙම බස් රථවලින් ගමන් පහසුකම් ලබාදී ඇතැයි ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි. මේ පිළිබඳ විශේෂ චක්‍ර ලේඛයක් සියලුම ඩිපෝ අධිකාරිවරුන් වෙත යවා ඇති අතර ඊට පටහැනිව කටයුතු කරන කොන්‍ෙදාස්තරවරුන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාකරන බවද හෙතෙම පවසයි.
ජාතික ගමනාගමන කොමිසම විසින් සියලුම පෞද්ගලික බස්රථ ධාවන සංගම්වලට උපදෙස් දී ඇත්තේ සා.පෙ. විභාගයට පෙනී සිටින දරුවන්ට දුම්රිය ප්‍රවේශ පත්‍ර ඉදිරිපත් කර පෞද්ගලික බස් රථවලින් ගමන් කිරීමට අවකාශ සලසන ලෙසයි.
ළමයි කලින් ගේන්න
දුම්රිය ප්‍රවාහන ගැටලු මතුවන්නේ නම් නියමිත වේලාවට තම දරුවා විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට මවුපියන් අවශ්‍ය පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
විභාගය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකොට ඇති නිසා විභාග නීතිරීති ප්‍රකාරව කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.
විභාග මධ්‍යස්ථාන 5,116කදී 6,88,573ක් වූ සමස්ත විභාග අපේක්ෂකයන්ට සාර්ථකව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී තම අනාගත කඩඉම ජය ගැනීමට හැකිවේවා යන්න අධ්‍යාපන අමාත්‍යවරයා සුබපැතුම් එක් කරයි.
COMMENTS