අම්මප මොන බූරු කතාවක්ද මේ නඩුකාර උන්නාන්සෙලා කියල තියෙන්නෙ? පොලිසියේ රාජකාරිය නීතියේ යහ පැවැත්ම පවත්වාගෙන යෑම විතරයි සංස්කෘතිය සදාචාරය...
අම්මප මොන බූරු කතාවක්ද මේ නඩුකාර උන්නාන්සෙලා කියල තියෙන්නෙ? පොලිසියේ රාජකාරිය නීතියේ යහ පැවැත්ම පවත්වාගෙන යෑම විතරයි සංස්කෘතිය සදාචාරය සම්බන්ධයෙන් කටයුතු කිරීම නෙමෙයි කියල. එහෙනම් නඩුකාර තුමෝ පොලිසියේ ඈයො ධර්මචක්කරේ ගහගෙන ‘ධම්මො භවෙ රක්ඛති ධම්මචාරිං' කියල ගහගෙන ඉන්නෙ අහවල් කෙං ගෙඩියකටද? අපේ පොලිස්පති පූජිත උන්නැහෙ මෙච්චර මඩ කාගෙන පොලිසියට භාවනාව උගන්වන්නෙ සංස්කෘතිය සදාචාරය වැඩි දියුණු කිරීමට නෙමෙයිද? අද වෙන කොට පොලිසිය අධ්‍යාත්මික අතින් ලබල තියෙන දියුණුව පහුගිය අවුරුදු 150 ටම ලබා ගන්ඩ පුළුවන් උනාද? මේ ළගදි පොලිස් සාජන්ට් මහත්තයෙක් මාත් එක්ක කිව්වා පොලිසියට අල්ලං එන එවුංට ගහලා බැටන් පොල්ල එල්ලන්නෙත් සියළු සත්වයෝ නිදුක් වෙත්වා ... කියලලු. ඒ පිළිබඳව සම්පූර්ණ ගෞරවය හිමිවෙන්නෙ වත්මන් පොලිස්පති තුමාට.
අද උදැහැනැක්කෙ දිවයින පත්තරෙන් මේ නඩු තීන්දුව ගැන කියවද්දි මගේ සකල සරීරාංගයම වෙව්ලලා ගියා. අපේ සංස්කෘතියට කෝචොක් දාපු බටහිර කුමන්ත්‍රණකාරයින්ට මේවගේ වන්දි දෙන්න ගියොත් අපිට අය වැයෙන් වෙනම ප්‍රතිපාදනත් වෙන් කරන්ඩ වෙයි. ෂුවර් එකටම මේ තීන්දුව පිටිපස්සෙ පල්ලිය ඇති කියලයි මට හිතෙන්නෙ. මේ වෙනකොට දිවයිනේ දේශප්‍රේමී ලේඛකයො උප්පැන්න සහිතක පෙරළ පෙරළා නඩු කාරයින්ගෙ ජාතකය හොයනවා ඇති. හෙට අනිද්දා දිහාව වෙද්දි සමං ගමගේ, කීර්ති වර්ණකුලසූරිය උන්නැහැලා කට්ටිය තමන්ගේ පර්යේෂන වල ප්‍රතිඵල ලියාවි. බොදු බලය, රාවණා බලය, පිවිතුරු හෙළ උරුමය , හෙල උරුමය උන්නාන්සෙලාගෙ කටේ පිට්ටු හිරවෙලාද මේ පිළිබඳව කිසිත් නොකියන්නෙ?
මේ නිවුස් එක පත්තරෙන් දැක්ක ගමන් මං කතාකොරේ පර්සි මලයට. දියවන්නාවෙ බයිසිකල් පැදලා මලයගෙ බත් කෙණ්ඩියට කෙල වෙලා. මටත් ඒක නිකමට හිතුණා ‘ අද ද රෙණ ' ටී වී එකෙන් බයිසිකල් පැද්ද පැදිල්ල දකිද්දි. මං හිතන්නෙ එතනත් තියෙන්නෙ කුමන්ත්‍රණයක්. පර්සි මල්ලිට දීලා තියෙන්නෙ බල්ලො අහුවෙන්නැති බයිසිකලයක්. නාමල් බේබි ෂපාන් එකේ පදිද්දි පර්සි මලය හිටු කියල පදිනවා. ඊට වඩා හයියෙන් සිකියුරිටි කට්ටිය දුවනවා. ඒ පැද්ද පැදිල්ලට සරම චේන් එක අස්සෙ ගියානම් එහෙම ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයකින් තමයි විලි වහගන්න වෙන්නෙ. කවුරු මේවා යෝජනා කරනවද මන්දා .... මම ප්‍රවෘත්තිය ගැන පර්සි මල්ලිට කියද්දිම උන්නැහෙ කිව්වෙ තාම උනේ නෑ පියදාස අයියේ ..... මේ වෙන්ඩ පටන් ගත්තා විතරයි කියලා. දේශ හිතෛශී සංවිධාන ලව්වා විරෝධතාවයක් පවත්වන්ඩත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ලව්වා සදාචාරය ගැන දේශනයක් තියන්ඩත් අන්තිමට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ලව්වා නීතියේ පාලනය ගැන දේශනයක් තියන්ඩත් අදහස් කරන් ඉන්නවා කියල කිව්වා.
ඊට පස්සෙ මං කතාකොරේ ලොකු හිච්චා හෙවත් හැමෝම දන්නා අදුනන ගෝඨාභය මලයත් එක්ක. ලොකු හිච්චා උදේ පාන්දරින්ම හමුදාවෙ කට්ටියක් එක්ක වියත් මගේ වැඩකට යනවා. මං කියනකම්ම ලොකු හිච්චා නිවුස් එක දැනන් හිටියෙ නෑ. මිනිහට ඇඩුම වාව ගන්න බැරුව ළඟ හිටපු හාදයෙක්ට මොබයිල් එක දුන්නා. ඒ හාදයා ගත් කටටම කිව්වෙ ‘ මේ වගේ දේශද්‍රෝහී නඩු තීන්දු දීපු එක නඩු කාරයෙක්වත් පණ පිටින් තියන්න හොඳ නෑ. වෙඩි තියලා මරල දාලා මිනිය දණි හෙන් පල්ලෙහාට තියාගෙන යා යුතුයි කියල නියෝගයක් කරන්ඩ ඕනෙ කියල. ' මං අහන්ඩ ගියෙ නෑ ඔබ තුමා කවුද කතා කරන්නෙ කියල. ෂුවර් එකටම රෙණ මග ඔස්සේ නන්දිකඩාල් ලියපු හාදයා වෙන්ඩ ඇති.
මෙව්වා සේරමත් හරි අද උදෑහැනැක්කෙ මට වෙඩි තියන්ඩ හිතුණෙ අපේ රත්නපාල මස්සිනාට. ඒකා පත්තරේ අතට අරගෙන නිකං රට රාජ්ජෙක රජකම හම්බෙලා වගේ. ඌ කියනවා ‘ දැන් වත් අපේ රට ගෝත්‍රික රටක් නෙමෙයි කියල ලෝකයෙ ඈයො පිළිගනීවි' කියල. මං ඇහුවා කොහොමද බොල එහෙම වෙන්නෙ කියලා. මේකා කියපි ඔය නයෝමි කියන සුද්දි බුද්ධාගම වැළඳගෙන බුදු හාමුදුරුවන්ට තියෙන භක්තිය නිසා තමන්ගෙ අතේ උඩ බාහුවෙ බුදු පිළිමයක් පච්ච කොටා ගත්තෙ බුදුන්ට ගෞරව කරන්ඩ කියලලු. මොන බොරු කතාද? බුදුන්ට ගෞරව කරන්ඩ ඕන්නම් තෙල් මල් අරන් පන්සල් ගිහිල්ලා බුදුන්ගේ ජීවමාන සංකේතය වන බුද්ධ පුත්‍රයින් වහන්සේ කෙනෙක් ලව්වා පිරිත් නූළක් කාරිය ගැටගහගෙන පන්සලේ අලුතින් ඉදිකරන මොනව හරි ගොඩ නැගිල්ලකට දහ පහලොස්දාහක ආධාරයක් කරලා නිවන් යන්ඩ පිං එකතු කර ගන්ඩ එපෑ. සැබෑ බෞද්ධයො වන සිංහල අපිත් කොරන්නෙ ඒකනෙ. එහෙම නැතුව ඇගේ හැමතැනම බුදු පිලිම පච්ච කොටාගෙන පිස්සු කෙලලා හරියනවද? සැබෑ බෞද්ධයෙක් වෙන්නෙ කොහොම ද කියල අහ ගන්ඩ තියෙන්නෙ ලංකාවෙ හාමුදුරුකෙනෙක්ගෙන්. ටිකක් වියදම් කරන්ඩ සිද්ධ වුනත් ටක්කෙටම නිවන් යන හැටි උන්නාන්සෙලා කියලා දෙනවා.
ඒකාලෙ මට මතකයි ඔය එක එක තැන්වල ලියලා තිබ්බා දැන් ලංකාවෙ තියෙන්නෙ ‘තලේබාන් බුදුදහම ' කියල. කවුරු මක්ක කිව්වත් මම නම් තලේබාන් කාරයින්ට කැමතියි. ඒ මක්කද කියනව නම් උන් උන්ගෙ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන නිසා. අපිත් එහෙම වියත් මග, එළිය , බොදු බල සේනා, රාවණා බලය, පිවිතුරු හෙළ උරුමය ඔස්සේ ඒ වගේ ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන කණ්ඩායමක් හැදුවෙ නැත්තන් බුද්ධාගමේ හෙට දවස අනතුරේ. ආගම වෙනුවෙන් මැරෙන්න පුළුවන් මුස්ලිම් ඈයින්ට විතරක් නෙමෙයි සිංහල බෞද්ධ අපිටත් ඇහැකි කියල අපිත් වහාම පෙන්නුම් කළ යුතු වෙනවා. ඒකට ඉන්ඩ තිබ්බෙ මේ රනිල් හාමුලා වගේ ඈයො නෙමෙයි. රුහුණේ ගිරුවා පත්තුවෙ කුරහන් සුවඳ වෑහෙන නියම අව්‍යාජ දේශප්‍රේමී නායකකාරාදීන්. ඒ උත්තමයින්ගෙ මූණ දැක්කත් කුරහන් තලපයක් කෑවා වගේ බඩ පිරෙනවා.
වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව?
අවසාන වශයෙන් කියන්ඩ තියෙන්නෙ අගමැති තුමා මේ ළඟදි පින්ලන්තෙට ගිහිල්ලා එහේ තියෙන අධ්‍යාපන කරම මෙහේට ගේන්න යෝජනා කරලා තිබුණා. ඇයි අපේ අධ්‍යාපන ක්‍රමයට මක්ක වෙලාද? නලීන්ද සිල්වලා, ගුණදාස අමරසේකරලා, විමල් වීරවංසලා, ගෙවිදු කුමාරතුංගලා, නාමල් රාජපක්ෂලා වගේ ලෝකය පිලිගන්න උගතුන් වියතුන් මේ දක්වා බිහිවුනේ මේ අධ්‍යාපන ක්‍රමයෙන් නෙමෙයිද? ඒ අතින් බැලුවහම අපේ රට පිංන්ලන්තයක්. බහු ආගමික, බහු වාර්ගික, බහු ජාතික වගේ එක එක බහුබූත කියවල මේ පිං ලන්තය නැති කොරන්ඩ බටහිර ජාතීන් එදා ඉදලම වලි කනවා. ඉතිං අන්තිමට කියන්ඩ තියෙන්නෙ මේ එංගලන්තෙ සුද්දිට නඩුවෙන් වන්දි ගෙවන්ඩ සිද්ධ වෙච්ච එකත් අපේ පිං ලන්තෙට එරෙහිව කෙරෙන බටහිර කුමන්ත්‍රණයේ තවත් එක් අවස්ථාවක් විතරයි කියලා. පුළුවන් ඉක්මනට මේ පරහිත කාමීන්ගෙන් රට මුදෝගෙන දෑ හිතකාමීන්ට ආයිත් රට භාරදෙන එක අපි තමුන්නාන්සෙලාගෙ වගකීම බව නැවත නැවතත් මතක් කර දෙනවා.
මේ වගට
ඇම්. ඒ. පියදාස
මාතර ස්ටෝර්ස්
කොළඹ
ශාඛා
තංගල්ල
කුරුණෑගල
සබැඳි සටහන්
සිංහල බෞද්ධ අපිට ‘බුද්ධගයා' මිසක් ‘රොහින්ගයා' මක්කටෙයි
COMMENTS