සමස්ත ලංකා සෛව මහා සභාව විසින් ගොනු කරන ලද පෙත්සමක් ඊයේ (24) දින සලකා බැලීමෙන් පසුව යාපනය මහාධිකරණ විනිසුරු වරයා මෙම නියෝගය සිදු කළේය. මෙ...
සමස්ත ලංකා සෛව මහා සභාව විසින් ගොනු කරන ලද පෙත්සමක් ඊයේ (24) දින සලකා බැලීමෙන් පසුව යාපනය මහාධිකරණ විනිසුරු වරයා මෙම නියෝගය සිදු කළේය. මෙය කවුනාවත්තේ නරසිම්මර් කෝවිලෙහි වාර්ෂිකව පැවැත්වෙන බිලි පූජා කර්මයට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ පැවැති නඩු විභාගයක තීන්දුව ලබාදෙමින් සිදුකළ නියෝගයකි.
මිනිසුන් දහස් සංඛ්‍යාත පිරිසක් රැස්වන කෝවිලක් වැනි පොදු ස්ථානයක කුකුළන් හෝ එළුවන් තුන් සීයයක් හෝ පන්සියයක් ඝාතනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද එහිදී ඉලන්චේලියන් විනිසුරු කියා තිබේ.
මෙහිදී බිලි පූජාවට පක්ෂව කරුණු දක්වමින් අනෙක් පාර්ශවය පවසා ඇත්තේ මෙය වසර 300 ක් පමණ පැරණි චාරිත්‍රයක් වන හෙයින් එය අවලංගු කිරීම යුක්ති සහගත නොවන බවයි. මෙහිදී ඉලන්චේලියන් විනිසුරු පෙන්වා දී ඇත්තේ මෙම චාරිත්‍රගත නීතිය ‘‘මස්කඩ නීතිය‘‘ ක් වන බව සහ, යාපනයේ රාජකාරි කළ ප්‍රාදේශීය ලේකම්වරුන් ද වරින් වර අත්තනෝමතික ලෙසට මේ අන්දමින් සතුන් මැරීම සඳහා බලපත්‍ර ලබා දී තිබෙන බවයි. මෙහිදී තවදුරටත් කරුණු දක්වමින්, පොදු ස්ථානවල මස්කඩ නීතියට අනුව බිලි පූජා පැවැත්වීමට නොහැකි බවට වැඩි දුරටත් කරුණු දක්වා ඇති විනිසුරුවරයා පොදු බස් නැවතුමක, පාසල් භූමියක, දළදා මාළිගාවේ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පල්ලියේ හෝ යපනය නල්ලූර් කෝවිල වැනි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගැවසෙන ස්ථානවල ප්‍රසිද්ධියේ සතුන් මැරීමට පළාත් පාලන ආයතන අනුමැතිය ලබා දෙන්නේ දැයි ප්‍රශ්න කර තිබේ.
කිසියම් අයුරකින් ඉදිරියේදී යම් පුද්ගලයක් හෝ පුද්ගලයන් පිරිසක් මෙම නියෝගය කඩ කරමින් සත්ව බිලි පූජා සිදු කරන්නේ නම් එම පාර්ශවයන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද යාපනය මහාධිකරණ විනිසුරු වරයා විසින් උතුරු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මහාධිකරණ විනිසුරු ඉලංචේලියන් මහතා මෙහිදී නියෝගයක්ද කර තිබේ. පසුගිය යුද සමයේදී පවා යාපනයේ පිහිටි කෝවිල් තුළ එළුවන්,ගවයින් හා කුකුළන් ඇතුලු සතුන් විශාල සංඛ්‍යාවක් යොදා ගනිමින් බිලිපූජාවන් සිදු කළ අතර එම බිලි පූජාවන් නවත්වන ලෙසට විවිධ සත්ව අවිහිංසා සංවිධාන මගින් විරෝධතාවන් ද පවත්වා තිබිණි.
යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන්, නීතියේ ආධිපත්‍යය උත්ථම්භනය කරන විනිසුරුවරයෙකු වශයෙන් අධිකරණ ක්ෂේත්‍රය තුළ මහත් කීර්තියක් උසුළන්නෙකි. පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් විද්‍යා ඝාතන නඩුවේ දී ද කැපී පෙනෙන භූමිකාවක් ඔහු විසින් ඉටුකරනු ලැබීය. නඩු විභාගය අතරවාරයේ පසුගිය ජූලි මස යාපනය නල්ලූර් කෝවිල අසලදී ඉලන්චේලියන් විනිසුරු වෙඩි ප්‍රහාරයකට ද ලක්වූ අතර එහිදී ඔහු සමග වසර විස්සකට ආසන්න කාලයක් ඉතා සමීපව සේවය කළ සිංහල ජාතික පොලිස් සාජන්ට්වරයා මරණයට පත්විය. මේ සිද්ධියෙන් අනතුරුව ඉලන්චේලියන් විනිසුරු ඔහුගේ බිරිඳට දෑත් එක්කොට වඳිමින් හඬා වැටුණු අන්දම ඉලන්චේලියන් විනිසුරුගේ හෘද සාක්ෂිය පිළිබඳ කදිම සාක්ෂියක් බව විචාරකයන් විසින් පෙන්වා දී තිබිණි.
- වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS