කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේ දී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධව හම්බන්තොට දිස්ත්‍රික් ...
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේ දී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධව හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගිණුමට මුදල් බැර කළ බව කියන නිමල් හේමසිරි පෙරේරා යන අය ඇතුළු තිදෙනකුගේ රජයේ සහ පුද්ගලික බැංකුවල ඇති බැංකු ගිණුම් 14ක් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (03) අවසර ලබා දුන්නාය.
මේ සිද්ධියට අදාළව නිමල් හේමසිරි පෙරේරා, කිෂීන් රාමචාන්ඩ් බූටානි සහ නන්ද ජයදේව ලොකුවිතාන යන තිදෙනොගේ බැංකු ගිණුම් 14ක් පරීක්ෂා කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය මෙලෙස අවසර ලබා දුන්නාය.
විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය. සිද්ධියේ නඩු ගොනුව නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව මූල්‍ය අක්‍රමිකාවක් සිදුව ඇති බවට විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉහත අයවලුන්ගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවත් එම ප්‍රකාශවලට අනුව බැංකු ගිණුම් පරීක්ෂා කළ බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කියා සිටියේය.
නිමල් හේමසිරි පෙරේරා යන අය අවස්ථා දෙකක දී රුපියල් මිලියන 70ක් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගිණුමට බැර කර ඇති බවටත් විමර්ශන අනාවරණය කර ඇති අතර, අවස්ථා තුනක දී රුපියල් මිලියන 60ක්, 38ක් සහ 80ක් කිෂීන් රාමචාන්ඩ් බූටානි යන අයට නිමල් පෙරේරා යන අයගේ ගිණුමට බැර කර ඇති බවත් එම මුදල් බුටානි යන අයට අයත් ගල්කිස්සේ ඇති පර්චස් 26.3ක ඉඩම නිමල් පෙරේරාට අයත් එන් කැපිටල් ආයතනයට මිල දී ගැනීමට ලබා දුන් බවටත් ඔවුන් ප්‍රකාශවල දී දක්වා ඇත.
මේ ඉඩම එන් කැපිටල් සමාගම මගින් ප්ලාන්ට් ඒෂන් පී එල් සී සමාගමට බදු දී ඇති බවත් බදු ගිවිසුම අවසන් වූ පසුව රුපියල් මිලියන 325ට නන්ද ජයදේව ලොකුවිතාන යන අයට විකුණා ඇති බවටත් සිදු කළ විමර්ශන අනාවරණය කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කියා සිටි අතර, එම මුදල් හුවමාරු සිදුවීමේ දී මූල්‍ය අක්‍රමිකතාවන් සිදුවී ඇද්දැයි සෙවීම උදෙසා මේ අයගේ බැංකු ගිණුම පරීක්ෂා කිරීමට අවශ්‍ය බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කියා සිටියේය.
මේ සිද්ධියට සම්බන්ධව රුපියල් මිලියන 70ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.
COMMENTS