මෝල්ටාවේ දක්ෂතම ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වූ ඇය 53 හැවිරිදි ඩැෆ්නී කරුවානා ගලිෂියා ය. පැනමාවේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට ...
මෝල්ටාවේ දක්ෂතම ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වූ ඇය 53 හැවිරිදි ඩැෆ්නී කරුවානා ගලිෂියා ය. පැනමාවේ අග්‍රාමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට එරෙහිව දූෂණ චෝදනා නගමින් ඇය ලියූ ලිපියක් පළ වීමෙන් විනාඩි 30කට පසුව ඇගේ මෝටර් රිය මහමගදී පුපුරා කෑලි වලට වෙන් වුණේය. පසුව හෙළි වුණේ බෝම්බය කල් වේලා ඇතිව සහ මනා ලෙස සැලසුම් කර ඇගේ මෝටර් රියටම සවි කර තිබූ බවයි.
ඒ වන විට ඇය සිටියේ ගමේ යමිනි. ඉතා සරලව කියන්නේ නම් පිපුරුම සිදුවන විට ඇය සිටියේ උතුරු දිග මෝල්ටාවේ බිද්නිජා ගම්මානය අසලම ය. ඇගේ පුතු මැතිව්, ඒ වන විට සිටියේ ඒ අසලම ය. ගිනි ගන්නා මෝටර් රියෙන් සිය මව මුදාගන්නට ඔහු කම්පිතව වියරු වැටී වෙර දැරුවේය. නමුත් අවසානයේ ඔහුගේ ඇස් අබියසම ඇය යන්න ගියාය.
තිස් අවුරුද්දක් තිස්සේ ඈ මෝල්ටාව නමැති කුඩා රටේ ඉහළම පෙළේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වූවාය. ඇගේ මරණයෙන් සසල වී ඇති ‘මෝල්ටා ඉන්ඩිපෙන්ඩන්ස්’ යනාදී පුවත්පත්වල ප්‍රතිචාර එයට සාක්ෂි සපයයි.
“ඇය තමන්ගේ වෘත්තිය වෙනුවෙන්ම කැප වූ තැනැත්තියක්. ඇය සමාජ ජීවිතයේදී ඉතාම ලැජ්ජාශීලියි. නමුත් ඒ අතරම ඒ සියල්ල පරදවන මහා ධෛර්යයක් සහ නිර්භය කමක් ඇය වෙත තිබුණා” යැයි ඇගේ සමීපතම මිතුරියක් බීබීසී පුවත්සේවය අමතා කීවාය.
ඇගේ බ්ලොග් අඩවියේ නම වූයේ 'Running Commentary' ය. මුලින් ඇගේ නිවාස කුලිය ගෙවීමටවත් සෑහෙන ආදායමක් එයින් නොලැබුණත් පසුව මෝල්ටාවේ එදිනෙදා පුවත්පත්වලටත් වඩා පාඨක සමූහයක් එය වටා රොක් වන්නට පටන් ගත්හ. පසුගිය දිනෙක පොලිටිකෝ වෙබ් අඩවිය මගින් ඇයව හඳුන්වා දී තිබුණේ “විකිලීක්ස් තනි ගැහැනිය” යනුවෙනි. යුරෝපයේ කුඩාම සාමාජික රාජ්‍යය වන මෝල්ටාව වසා පැතිරගෙන තිබූ නිමක් නැති දූෂණ සහ වංචා ඇය නොබියව හෙළි කළාය. පැනමා පත්‍රිකාවලින් හෙළිදරව් වන මෝල්ටා දේශපාලකයන් පිළිබඳ ජාතික මට්ටමෙන් හඬ අවදි කළ පළමු චරිතය වූයේ ද ඇය ය. මේ නිසාම එම චූදිතයන්ට එරෙහිව විමර්ශන ආරම්භ කිරීමට ද බලධාරීන් ට සිදුව තිබිණි. ඝාතනයට පත්වන දිනයේ උදෑසන ඇය අවසන් වශයෙන් සිය බ්ලොග් අඩවියේ පළ කර තිබූ ශිර්ෂපාඨය, මෝලටාවේ හිටපු විපක්ෂ නායකයාට එරෙහි නඩු විභාගයක් පිළිබඳව ය. “ඒ වංචනික ෂිම්බ්රි තමන් වංචනික නැති බව අයදිමින් අද අධිකරණයේ” යැයි ඇය ශිර්ෂපාඨයක් ලියා තිබිණි.
ඇය අවසාන වශයෙන් හෙළිදරව් කර තිබූ දූෂණ සිද්ධිවලදී ඇඟිල්ල දිගු කර තිබුණේ රටේ අගමැති වන ජෝසප් මුස්කැට් සහ ඔහුගේ සමීපතම ආධාරකරුවන් හට ය. මොල්ටා පාස්පෝට් අඩු මිලට විකිණීම මෙන්ම අසර්බයිජාන රජය හරහා සිදුකරන නීති විරෝධී ගෙවීම් පිළිබඳව ද ඇය ඉතා රහසිගත කරුණු හෙළිදරව් කර තිබිණි. අසර්බයිජාන පාලකයාගේ පවුල හරහා අගමැති ජෝසප් මුස්කැට් ගේ බිරිඳ, පැනමාවේ මොසැයික් ෆොන්සේකා සමාගම හරහා කළු සල්ලි ආයෝජනය කර ඇති බවත්, අගමැති බිරිඳ එම ගනුදෙනුවේ අර්ථලාභියා බවත් මුලින්ම හෙළි කළේ ඇයයි. සිය බ්ලොග් අඩවියෙන් ඇය නිතරම පාලක ලේබර් පක්ෂ දේශපාලකයන්ව නොබියව විවේචනය කළාය. මධ්‍ය දක්ෂිණාංශික නැෂනලිස්ට් පක්ෂයේ අන්තවාදී හැසිරීම් ද ඇය තදින් හෙළා දුටුවාය.
මධ්‍යම පාන්තික පවුලක උපන් අති සාමාන්‍ය ගැහැනියක වූ ඇය පුද්ගලිකව දේශපාලනය සමග ඈඳී තිබුණා නම් ඒ, විදුලි සෝපාන ව්‍යාපාරයක් හිමි ව සිටි සහ පසුව ලිබරල්වාදියෙකු ලෙස දේශපාලනයට ප්‍රවිශ්ට වී සිටි ඇගේ පියා පමණි. කුඩා කල පටන්ම පොත් පත් කියැවීමට ඇබ්බැහි ව සිටි ඇගේ පළමු උපාධිය මෝල්ටා සරසවියෙන් ලද පුරාවිද්‍යා උපාධියකි. මෝල්ටාවේ ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘දි ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පතේ ද තීරු ලිපි රචිකාවක වූ ඇය, පසුව සිය බ්ලොග් අඩවිය ආරම්භ කළාය. බිය සැක නැතිව අත දිග හැර ලීවාය. තමන් සැබවින්ම ජීවත් වන්නේ එසේ ලිවිය හැකි රටක නොවන බව සහමුලින්ම අමතක කර ලීවාය.
යුරෝපය සහ උතුරු අප්‍රිකාව අතර ඉතාලියට නුදුරු සිසිලි දූපත අසල මධ්‍යධරණී මුහුදේ පිහිටා තිබෙන මෝල්ටාව ද ලංකාව මෙන්ම කොදෙව්වකි. සුන්දර රටකි. ලෝකයේ කුඩාම රටකි. ලංකාව මෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතියකි. ලංකාව මෙන්ම සංචාරක සුරපුරයකි. ලංකාව මෙන්ම ක්‍රමෝපායික නැව් මාර්ගයක් ආශ්‍රිතව පිහිටා තිබෙන්නකි. සියවස් ගණනාවක් තිස්සේ යුරෝපය සහ අප්‍රිකාව යා කරන වෙළඳ මාර්ගයක්ව එය පැවතියේය. ලංකාව මෙන්ම දූෂණයේ පරිසමාප්තිය භුක්ති විඳිමින් සිටියේය. මේ වන විට මෝල්ටාව කුප්‍රකටව ඇත්තේ ‘යුරෝපයේ බදු වංචා කරන මුහුදුකොල්ලකාරයා’ යන අන්වර්ථයෙනි.
මෙවැනි රටකට ඩැෆ්නී වැනි මාධ්‍යවේදීන්/මාධ්‍යවේදිනියන් අවශ්‍ය ද? දූෂිත පාලකයන්ට ඇය වැනි අය විසර ගෙඩි මෙන් වේදනාකාරී ප්‍රපංචයෝ වෙති. ඔවුන්ගේ කට වසාලන්නට මර්දනය හැර වෙනත් මගක් නැති බව දුටු විට ඔවුන්” විය හැකි නරකම දෙය බලාපොරොත්තුවෙන් ජීවත් විය යුතුය.
ඇගේම මෝටර් රථයට බෝම්බ සවි කර ඇය මරා දැමූ විට සාක්ෂි නැත. සියල්ල පිපිරී විනාශ වී ඇති නිසා නඩු භාණ්ඩ ද නැත. එනිසා දැන් මෙතැන කොහෙත්ම නඩුවක් නැති තරම් ය. නොඑසේ නම් ලංකාවේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේදී මෙන් ඔවුන්ට විමර්ශන පවත්වන්ට සිදුවනවා ඇත. ලසන්ත සිද්ධියේදී මෙන්ම ඒ විමර්ශන වසර ගණන් කල් ඇදෙනවා ද ඇත.
කිසිදු කණ්ඩායමක් මේ ම්ලේච්ඡ ඝාතනයේ වගකීම භාරගෙන නැතත්, බොහෝ විචාරකයන් මෙය හඳුන්වා දෙන්නේ “දේශපාලන ඝාතනයක්’ ලෙස ය. මේ අතර ඇගේ පුත්‍රයා සිය මවගේ මරණය පිළිබඳ හඬ අවදි කරමින් පවසන්නේ සිය මව ඝාතනය කරනු ලැබුවේ ඇය නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටි නිසා බව ය. “මේ රට මාෆියා රාජ්‍යයක්” යැයි ඔහු නොබියව කියයි.
මෝලටාවේ ජනාධිපතිනිය වන මරී-ලුයිස් කොලෙයිරෝ ප්‍රෙකා පවසා ඇත්තේ රට වැසියන්ට සන්සුන් වන ලෙසට ය. මෝල්ටා රාජ්‍යයේ මහ මැතිවරණය පවත්වනු ලැබුවේ ගතවූ ගිම්හානයේ ය. මෙම මාධ්‍යවේදිනියගේ ඝාතනයත් සමග රට තුළ උනුසුම් තත්වයක් නිර්මාණය වී ඇති අතර 1980 දශකයේ වාර්තා වූ ආකාරයේ දේශපාලන අස්ථාවරත්වයක් සහ නොසන්සුන්කාරී තත්වයක් රට තුළ නැවත ඇති විය හැකි බවට නිරීක්ෂකයෝ අනතුරු අඟවති.
ඇගේ මරණය ගැන අසා විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් නිවේදනය කළේ, එම ඝාතනය පිළිබඳ නිවැරදි තොරතුරක් සපයන්නෙකු හට පවුම් 20000 ක ත්‍යාගයක් තමන් පිරිනමන බව ය. ඇය “මෝල්ටාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදයේ පුරෝගාමිනියක’ බව පවසමින් යුරෝපා සංගමය මේ ඝාතනය දැඩි සේ හෙළා දුටුවේය. මේ අතර ‘ටයිම්ස් ඔෆ් මෝල්ටා’ පුවත්පතේ එක් වාර්තාවකට අනුව, එක් පොලිස් නිලධාරියෙක් ඇගේ මරණය ගැන මහත් සේ ප්‍රීති වෙමින් ප්‍රමෝදකාරී ෆේස්බුක් පෝස්ට් එකක් දමා තිබේ. මේ වන විට මෝල්ටා පොලිසිය අන් සියලු වැඩ නවතා, එම නිලධාරියා පිළිබඳ විමර්ශන පවත්වන්නට පටන් ගෙන තිබේ. සමහරවිට මෝල්ටා පොලිසිය ද ‘භාවනාවක කාරිය නියැළී’ ‘පීඩනය කාරිය අඩුකරගෙන’ වෙනම ‘ඈන්ගල්’ එකකින් මේ ප්‍රශ්නය ගැන බලන්නට තීරණය කර ඇතිවා විය හැකිය. මේ අතර මෝල්ටා රජය පවසන්නේ තමන් මෙම ඝාතනය පිළිබඳ විමර්ශනය සඳහා එෆ්බීඅයි සංවිධානය ද සම්බන්ධ කර ගන්නා බවයි. කොහොමටත් මෝල්ටාව වැනි රටවල ආණ්ඩු කරන්නෝ හොඳ කතාකාරයෝ ය.!
මේ මාධ්‍යවේදිනිය විශ්වාස කළේ ‘බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනු’ කියා ය. ‘සිහසුන ඉන්ට රට දැය පාවා දෙන එවුන්ව-කසයෙන් තළා කටු ඔටුනු හිස පළඳා -ජනයා අබිමුවේ උන් නිරුවත් කළ යුතුය’ කියා ය. ඇය විශ්වාස කළේ ‘රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු’ කියා ය. නමුත් මේ හැම අවස්ථාවකදීම ඇය අමතක කළේ දුදනන් වනාහී වේගයෙන් කේන්ති යන සත්ව කොට්ඨාසක් බව ය. බලය රැක ගැනීම වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් උන්ට ඇස් වසාගෙන-කට වසාගෙන කළ හැකි බව ය.
ඉතින් ඇය යන්න ගියාය. නමුත් ඇය මැකී ගියා නොවේ. ඉතිහාසය ලෙයින් ලියා තබා, පවිටු දනන්ගේ පව්කාර ඔලොගුව, තවත් බර කර තබා ඇය යන්න ගියාය. මරණය එක් නිමේෂයක් පමණි. නමුත් පව්කාරයන්ගේ ජීවිත, භව සසර තරමටම දිග ය.
- ක්‍රිෂාන්ති රාජපක්ෂ
COMMENTS