අද (02 දා) පෙරවරු 10.00 ට භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම රැස්‌වන අතර හිටපු මුදල් ඇමැති සහ වත්මන් විදේශ ඇමැති රවි කරුණානායක මහතා එහිදී...
අද (02 දා) පෙරවරු 10.00 ට භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම රැස්‌වන අතර හිටපු මුදල් ඇමැති සහ වත්මන් විදේශ ඇමැති රවි කරුණානායක මහතා එහිදී සාක්‍ෂි දීමට නියමිතය.
ඇමැති රවි කරුණානායක මහතා හැර වෙනත් සාක්‍ෂිකරුවකු අද කොමිසම හමුවේ සාක්‍ෂියට කැඳවා නැති අතර අද පෙරවරුව වෙන් කර ඇත්තේ ඔහුගේ සාක්‍ෂි විමසීම සඳහායි.
මීට පෙර දින දෙකක එනම් ඉකුත් ජුලි 25 සහ 26 කොමිසම හමුවට පැමිණ සාක්‍ෂි දෙන ලෙස නොතීසියක් මගින් රවි කරුණානායක ඇමැතිවරයාට දැනුම් දෙනු ලැබූවත් ඔහු පැමිණියේ නැත.
ඇමැති මණ්‌ඩල රැස්‌වීමකට අනිවාර්යෙන්ම සහභාගි විය යුතුව ඇති බැවින් පැමිණිය නොහැකි බව නීතිඥවරයකු මගින් 25 දා කොමිසමට දැනුම් දුන් අතර 26 දා ආරක්‍ෂක මණ්‌ඩලයේ රැස්‌වීමට සහභාගි වීමට ජනාධිපතිවරයාගෙන් ඇරයුම් ලැබී ඇති බව ඔහුගේ නීතිඥවරු කොමිසමට දැනුම් දුන්හ.
අද ඇමැති කරුණානායක මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන 03 වැනි දිනයයි. මෙවර ඔහුට නොතීසියක් මගින් දැනුම් දීමක් නොකෙරූ බවත් නොවරදවාම ඔහු අද පැමිණිය යුතු බවත් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාට දැනුම් දුන්නේය.
ඉකුත් ජුලි 26 දා කොමිසම හමුවේ පෙනී නොසිටීම පිළිබඳව ඇතිවූ සාකච්ඡාවේදී නීතිපති පාර්ශවයෙන් රවි කරුණානායක මහතාගේ නොපැමිණීම ගැන කනස්‌සල්ල පළ කළ අතර ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා සඳහන් කළේ රවි කරුණානායක මහතා කොමිසමට පැමිණෙනවාද, නැද්ද යන්න ඔහුට ප්‍රශ්නයක් වී නැති බවයි. කොමිසම හමුවට පැමිණ සාක්‍ෂි දීමට ඔහු කැමැත්තෙන් සිටින බව අර්සකුලරත්න මහතා සඳහන් කළේය.
මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු අර්ථ සාධක අරමුදලේ අධිකාරි ජයලත් මහතා ඊයේ (1 දා) දෙවැනි දිනයට කොමිසමට පැමිණ මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ චානක සිල්වා මහතාගේ හරස් ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දුන්නේය.
ජයලත් මහතාගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න ඇසීමට අවශ්‍ය බව මහේන්ද්‍රන් මහතාගේ නීතිඥවරයා කොමිසමට දන්වා සිටි බැවින් උදේවරුවේ නැතිව අද සවස 12.30 ට කොමිසමට පැමිණෙන ලෙස කොමිසමේ සභාපති විනිසුරු චිත්‍රසිරි මහතා ඔහුට දැනුම් දුන්නේය.ඇමැති රවි කරුණානායක මහතා සාක්‍ෂියට කැඳවා ඇත්තේ කොමිසම බැවින් ඔහුගේ සාක්‍ෂිය මෙහෙයවීමේ කාර්යය නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥයකු විසින් කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
COMMENTS