ග්ලිච් GLITCH කියන්නෙ මොකක්ද? ඒක මේ 1960 ගණන් වලදි වගේ ආපු වචනය ක්. ඒක දැන් අපි ටී.වී. එකක් බලනකොට එකපාරටම ඒකේ කොටු යනවා පේනවා නම්, රූප ...
ග්ලිච් GLITCH කියන්නෙ මොකක්ද?
ඒක මේ 1960 ගණන් වලදි වගේ ආපු වචනය ක්. ඒක දැන් අපි ටී.වී. එකක් බලනකොට එකපාරටම ඒකේ කොටු යනවා පේනවා නම්, රූප විකෘති වෙනවා නම්, ඒක සිද්ද වෙන්නෙ නිශ්චිත විද්‍යුත් ශක්තිය මදි වුණහම අපිට නිශ්චිත රූපය නොපෙනී යනවා, ඒකේ රූප අපහැදිළි වුණාම. ඒ අර්ථයෙන් තමයි ග්ලිච් කියන වචනයට අර්ථයක් එන්නෙ. තාම අවාසනාවකට ඒකට සිංහල වචනය ක් නැහැ. ඉතිං ඒ නිසා ඒ නමින්ම පාවිච්චි කරනවා. ගිය සැරේ ග්ලිච් කළේ, මේ පාර ග්ලිච් ප්ලස් කියලා යෙදුමක් මේ ප්‍රදර්ශනයට එකතු කරළා තියෙනවා. ඒක තමා ගිය සැරේට වඩා මේක වෙනස් වෙන්න හේතුව.
ග්ලිච් කියන වචනයේ නිශ්චිත අර්ථය ක් මං ගන්නෙ නිශ්චිත රූපයක් පැහැදිළිව නිරවුල්ව නොපෙනීම කියන අන්දමින්.
මෙම ප්‍රදර්ශනයට 83 පදනම් කර ගැනීමට විශේෂ හේතුවක් තියෙනවද?
තියෙනවා. මොකද 83 සිදුවීම් මගේ ඇස් පනා පිට තමා සිදු වුණේ. යාපනයේ සිදුවීම හැර කොළඹ වෙච්ච දේවල්. වැල්ලවත්ත ආදී පැතිවල මම දවස පුරාම ඇවිද්දා. මම හිටියෙ පාරෙ අතරමඟ. ඒ නිසා මම දැක්කා ගොඩක් දේවල්. ඒවා මගේ මතකයෙන් තාමත් ඉවත් කරගන්න අමාරුයි. ඒවගෙන් සමහර කාරණා වලට තාම සාධාරණයක් ඉෂ්ඨ වෙලත් නෑ. ඒක තමයි ලංකාව පාරාදීසයක් සේ සැළකුවා නම් එතෙක්, ඒක ඉතිහාසයට එක් කළේ කළු පැල්ලමක්. මම දැන් 87 ඉඳන් දිගටම බැරන්වාදය ත් එක්ක ඒ වගේ ප්‍රදර්ශන තමයි කරන්නෙ. මුල් කාලයේදී ඉඳළම මම යුධ විරෝධියෙක් විඳියට හිටපු කෙනෙක්. මම අදටත් එහෙමයි.
නමුත් අපි කැමති වුණත් අකමැති වුණත් එය යුධමය විසදුමකින් අවසන් වුණා. නමුත් දේශපාලන විසඳුම් තමා වඩා හොඳ. විශේෂයෙන්ම ඒවා පිළිබඳව සොයා බැලීම පවා තවම සිදු වන්නේ ඉතා අඩුවෙන්. උදාහරණයක් වශයෙන් ඉඩම් ප්‍රශ්නය ගත හැකියි. උතුරේ සහ නැගෙනහිර. එහෙම නැතිනම් ඔවුන්ගේ ස්මාරකවලට මොකද වෙන්නෙ?. ඊළඟට සිංහල බෞද්ධ අන්තවාදය විසින් විවිධ ආකාරයට බුදුන්ගේ නොතිබුණ ධර්මය පවා ඇති කරමින් සිටිනවා. ඒ එක්කම බුද්ධාගමට තියෙන එරෙහිවීමක් හැටියට තමයි ජාතික ප්‍රශ්නයට එරෙහි වීමක් එන්නෙ. එක අතකින් රණ විරුවන්ගෙ ගැටළුවත් තියෙනවා. කිසියම් ආකාරයකින් අස්ථාවර දේශපාලන මානසිකත්වයක් ඇති වෙලා තියෙනවා. එයට හේතුව වශයෙන් තමයි මම උත්සාහ කරන්නෙ....., මෙවර ග්ලිච් තුළින් ඒ අපට පැහැදිළිව පොරොන්දු වූ සමහර කාරණා පවා අද අපැහැදිළි වෙමින් පවතිනවා. එතකොට අර හොඳ රූපවාහිනියක් අරන් ගිහින් රූපවාහිනිය කොයි තරම් හොඳ වුණත් පැහැදිළි රූප පෙනෙන්නෙ නැතිනම් එයින් ග්ලච් හෙවත් අද අපි විඳින ඒ දේශපාලන මානසික අස්ථාවර භාවය අර්ථවත් වෙනවා.
මොකද ඒක තමයි 83 කළු ජූලියෙන් පස්සෙ මේ මොහොත දක්වාම ගොඩ නැගුණ තත්වයන් පිළිබඳව මගේ ප්‍රතිචාරය තමයි ග්ලිච් තුළින් ප්‍රකාශ වෙන්නෙ.
83 හැරුණුකොට වෙනත් දේශපාලන සංසිද්ධීන් මුල්කොටගෙන මෙවන් චිත්‍ර ප්‍රදර්ශනයන් කිරීමටත් ඔබ බලාපොරොත්තු වෙනවද?
මගේ තේමාව වර්තමාන මොහොත සහ 83 කියන කාල පරාසය. යුද්ධයක් අවසන් වෙලා තියෙනවා. සාමය ගොඩනගනවා කියලා තියෙනවා. නමුත් ඒවායෙහි සමහර බාධාවන් ඇති වෙලා තියෙනවා. ඒ වගේ නිසියාකාර නැති මොහොතවල් තියෙන කොට නැවතත් අවිස්වාසය නැතිනම් යම් යම් පළුදු වීම් සිදු වෙන්න පුළුවන්.
මම හිතන්නෙ රජයන් වලට බැහැ මේ හැම දෙයක්ම කරන්න. පුරවැසියට ආදර්ශමත්වීමක් තියෙනවා මැදිහත් වීමක් කරන්න. අපි පුරවැසියන්ගේ වැඩි එකතුවකින් තමයි රජයක් පිහිටුවන්න පුළුවන්. එතකොට සුළුතරයක් හා බහුතරයක් නිර්මාණය වෙනවා. ඒ බහුතරය ඉතාම පැහැදිළි කැපවීමකින් ඒ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕන. ඒක රජයකට විතරක් භාර දීලා අත පිහදාගන්න බැහැ. ඒ නිසා තමයි මගේ ප්‍රදර්ශන මා බොහෝ වෙලාවට අවධානය යොමු කරන්නෙ, කිසියම් ආකාරයකින් මෙම ප්‍රශ්න ගැන යළි සිතා බලන්න. මං කියන අදහසට කෙනෙක් විරුද්ධ වෙන්නත් පුළුවන්.ඒ විරුද්ධ වීම යළි ප්‍රශ්න කිරීමක් හරහා එනවා නම් මා බලාපොරොත්තු විය හැකි තැනට යන්න හැකි වෙනවා.
මට කියන්න මේ ප්‍රදර්ශනය කවදා වෙනතුරු තියෙනවද?
අගෝස්තු 13 වෙනිදා දක්නා පැවැත්වෙනවා. පෙ.ව. 10 සිට ප.ව.06 දක්වා මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා.
ඔබ මෙම ප්‍රදර්ශනයට ඉදිිරිපත්කොට තිබෙන චිත්‍ර ප්‍රමාණය කොපමණද?
26ක් පමණ.
සාමාන්‍යයයෙන් චිත්‍රයක් නිම කිරීමට ඔබට කොයිතරම් කාලයක් වැය වෙනවද?
නිශ්චිත වශයෙන්ම අවුරුද්දක පමණ නිර්මාණ කෘති එකතුවක් තමයි මෙහි තියෙන්නෙ. මුල් කාලයේ මගේ චිත්‍ර වල වර්ණ භාවිතය අඩු වුණා.පස්සෙ තමයි ඒක එන්නෙ. සමාජයේ ඇති වුණ වෙනසත් එක්ක ඒක වුණා වෙන්න පුළුවන්. නමුක් වර්ණය තුළ සඟැවුණ ගැටළු තියෙනවා. ඒ නිසා තමයි සැඟවුණ කහ පොළු සහිත හා සැඟවුණ ආයුධ වැනි දේ නිරූපණය කොට තිබූ චිත්‍ර බිහි වන්නෙ. අත් අඩංගුවට නොගත් එම ආයුධ කැමෆ්ලාජ් චිත්‍රයක දැක්වෙනවා
ඊළඟට සිව්රු වරුණ යළි තැන තැන බබළනවා. ශුද්ධ වූ බෞද්ධ චිත්‍ර දෙකකුත් මෙතන තියෙනවා. ඒකේ පාවිච්චි කරලා තියෙන්නෙ බෞද්ධ කොඩියේ පාට පමණයි. එතකොට තාජුඩීන් ගැන චිත්‍රයක් තියෙනවා. ඒ ඒක්කම අත් අඩංගුවට පත් වෙලා දූෂණයට පත් වෙලා හානි පමණුවලා විනාශ කරපු ඉසිප්‍රියා ගැන සඳහන් වෙනවා. ඒවා අපේ හෘද සාක්ෂිය නිරවුල් කරගන්න ඉතාම වැදගත්. මොකද සත්‍යය දැන ගන්න එක විශාල වගකීමක්. සත්‍යය දැන ගත්තම තමයි අපිට එය යළි නොවීම කියන කාරණයට යන්න පුළුවන්. මොකද කලාවේදී විශේෂයෙන් වැදගත් වෙන්නෙ සත්‍යයක් සොයා යෑම. අනිත් පැත්තෙන් එවැනි කාර්යයක් යළි නොවන්න නීති පද්ධතියට භාරයි. සත්‍යය දැන ගැනීම හරහා එවැනි කළු පැහති පැල්ලම්, බිය ජනක මකකයන්, අමිහිරි අත්දැකීම් යළි සිදු නොවීමට.
2015 ඇති වූ දේශපාලන විප්ලවය සම්බන්ධයෙන් කටයුතු කළ ප්‍රධාන පෙළේ ක්‍රියාධරයෙකු වශයෙන් ඔබ දැන් ආණ්ඩුව ගැන ඉන්නෙ කොයි වගේ මතයකද?
මේක අපි සාපේක්ෂව බැලුවොත්, අපි බලාපොරොත්තු වුණ සමහර කාරණා සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ තරමක් දුරට ගෙන ඒම.
නමුත් ප්‍රධාන කාරණා වගයක් තියෙනවා තවමත් ඉෂ්ඨ වෙලා නෑ. විශේෂයෙන්ම ජනතාව 2015 පැවති රජය වෙනස් කළේ බඩ ගැන හිතලම නෙමේ. ඊට වඩා පැහැදිළි ලෙස නිදහසේ නීතිගරුකව වංචනික කාර්යන් වලින් තොරව ගෞරවනීය ලෙස ජීවත් වෙන්න පුළුවන් සමාජයක්. නමුත් ඒ කාරණය තුළ නිදහස් වාතාවරණය දැන් ලැබිලා තියෙනවා. නමුත් නිදහස්වාදය සමහරු අන්තවාදී තත්වයන්ට ගෙනහින් ගැටුම්කාරී තත්වයන් නිර්මාණය කරලා තියෙනවා. ඒක මං හිතන්නෙ පැහැදිළිවම ඒ ප්‍රශ්නයට වඩා එතැන තියෙන්නෙ වෙනත් දේශපාලන යාන්ත්‍රණ හස්තයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය. ඔවුන්ට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් පොරොන්දු වූ විශේෂ කාරණාව නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි එය ජනමත විචාරණයට ලක් විය යුතුයි කියන එක. මේක හැම තැනම පොරොන්දු වෙච්ච කාරණයක්.
ඒ නිසා තමයි මම කියන්නෙ සමහර සංවිධාන බලවේගයන් කියනවා මේ දින සියයේ මෛත්‍රී යුගයක් කියන පොතේ කියලා තියෙන්නෙ ජනමත විචාරණයකින් තොරව කරණ ව්‍යවස්ථා සංශෝධන කරනවා කියලයි. නමුත් ඒ අයට මතක නෑ ඒක දින සීයකට ලියපු පොතක් කියලා. ඊළඟට ඒ පොත කියවලා නෙමෙයි මිනිස්සු ඡන්දෙ දුන්නෙ. මිනිස්සුන්ට ඒ වෙනස අවශ්‍යය වුණා. කොළ කෑල්ලක් නොබෙදුවත් මිනිස්සු ඒක කළා. ඉතිං ඒ නිසා ඒ කොළයට එකඟ වෙලා නෙමෙයි මිනිස්සු ඡන්දය පාවිච්චි කළේ. මෛත්‍රීපාල සිරිසේන කියන පොදු අපේක්ෂකයා හැම තැනම කියපු ප්‍රධානම කතාව ඒක. දෙවැනි එක තමයි දඬුවම් පැනවීම කියන කාරණය. ඒකෙන් හුදෙක් හිරේට දැමීම හෝ මරණයට පත් කිරීම යන කාරණය නෙමෙයි ඒකෙන් අපිට ක්‍රියාවලියක් ලැබෙනවා. ඒ ක්‍රියාවලිය තුළින් අපිට ඉදිරියට එන අනාගතය එබඳු වංචා හා දූෂණ වලින් සමන්විත නොවන සමාජයක් ඇති කරගැනීමට හැකි වෙනවා. අධිකරණ ක්‍රියාවලියට යන්න පුළුවන්කම ලැබෙනවා.
ඒ වගේම ඒ දේශපාලනයට පිවිසෙන අයට අනිවාර්ය බැඳීමක් ඇති වෙනවා එබඳු ක්‍රියාවලියක් හරහා එවැනි චරිත වශයෙන් පෙනී සිටීමට. අපි දන්නවා මනාප ක්‍රමය තුළ තමයි මේ සියළු අශුද්ධ දේවල් තියෙන්නෙ. ඒ නිසා මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි. සමහර අය එනවා, නමුත් අදහස් තියෙන මුදල් නැතුව එන්න බැරි කට්ටියකුත් ඉන්නවා. සමාජය වෙනස් කරන්න ඒ අයට අවශ්‍යය වෙනවා. ඒ වගේම තමයි බලය බෙදා හැරීම කියන කරුණු. ඒක නිසා තමයි 83 ඉතා වැදගත් වෙන්නෙ. යළි 83ක් ඇති නොවන්නට නම් අපි අනිවාර්යෙන්ම බලය බෙදා හැරීමේ ක්‍රමවේදයකට යා යුතුයි. එයට බාධා කරන්නෙ සමහරු තමන්ගෙ පක්ෂය ගැන හිතලා ක්‍රියා කරනවා මිසක රට කියන පොදු සම්මුතියක් ඇතුව අපේ රට පවත්වාගෙන යනවා කියපු අයත් දැන් පක්ෂය රකින්න පටන් අරන් තියෙනවා. ඔවුන් තමයි ලොකුම අර්බුදය වෙලා තියෙන්නෙ. ඒ අර්බුදය නිසා තමයි නිල්, කොළ, රතු යන තමන්ගෙ පාට සුද්දකරගෙන යන ක්‍රියාවලිය තුළදි ඔවුන් මේ අර පොදු ගමනට, නිර්පාක්ෂිකයාගේ අපේක්ෂාවට එරෙහිව යෑමක් සිදු වෙන්නෙ අර පක්ෂය තුළ ඉන්න දූෂිතයන් ගේ වුවමනාවන් අනුවයි.
අර අනාගතයේ එන නීති ගරුක රාමුවට අප යා යුකුයි. හැබැයි අපි ආපසු යා යුතු නැහැ. අපි ටිකෙන් ටික බලපෑම් කළ යුතුයි. මොවුන්ම පොරාන්දු කරනගෙන කරන්න ඕන ඔබ මේ දේවල් කරන් නෑ කියලා පොරොන්දු වෙලා තියෙනවා කියලා. ඉතිං ඒ පොරොන්දු ඉෂ්ඨ කරන්න. ඒක තමයි අපි කියලා තියෙන්නෙ.
සාකච්ඡා හා සටහන
බාසුරු ජයවර්ධන
ඡායාරූප
අජිත් සෙනෙවිරත්න
COMMENTS