25 හැවිරිදි මෙම සුරූපී යුවතිය, පරානා නගර සභාවේ නියෝජිතවරියකි. ඇගේ මංගල උත්සවය පැවැත්වෙමින් තිබියදී සිය ගණනක් වූ දේශපාලන විරෝධතාකරුවන් විස...
25 හැවිරිදි මෙම සුරූපී යුවතිය, පරානා නගර සභාවේ නියෝජිතවරියකි. ඇගේ මංගල උත්සවය පැවැත්වෙමින් තිබියදී සිය ගණනක් වූ දේශපාලන විරෝධතාකරුවන් විසින් එම දේවස්ථානය වටලා තිබිණි. ඇගේ පියා වන සෞඛ්‍ය ඇමති රිකාඩෝ බැරස්, ඇගේ මව වන පරානා හි නියෝජ්‍ය ආණ්ඩුකාරවරියගේ සමීපතමයන් ඇතුලු රටේ විශාල ප්‍රභූ පිරිසක් මෙයට සහභාගි වෙමින් සිටියහ. බ්‍රසීල කොංග්‍රස් සභිකයන් 30 දෙනෙක් අගනුවර සිට මේ වෙනුවෙන්ම පරානා වෙත පැමිණ තිබිණි.
රෝසරි දෙව් මැදුරෙන් පිටත රැඳී සිටි උද්ඝෝෂකයන් ඇය සිය මනාලයා සමග දෙව්මැදුරෙන් පිටතට එමින් සිටියදී බිත්තර ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර, අවසානයේ නොසන්සුන්තාවය මර්දනය කිරීම සඳහා පොලිසිය කැඳවීමට ද සිදුවිය. මනාල යුවළ දේවස්ථානයෙන් පිටත් කෙරුණේ සන්නද්ධ රථයක නංවා ය.
නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ඇමතිවරයාගේ බිරිඳ, වාමාංශිකයන්ගේ සහාය ලබමින් ආණ්ඩුකාර ධුරය සඳහා තරගවැදීමට තීරණය කිරීම හේතුවෙන් මෙම පළිගැනීම සිදුවන්නට ඇති බවයි. වත්මන් බ්‍රසීල ජනපති ටෙමර්” පසුගිය වසරේ දෝෂාභියෝගයකින් බලයෙන් පහ කළ බ්‍රසීල නායිකා ඩිල්මා රුසෙෆ්ගේ සමීපතමයෙක් මෙන්ම ඇගේ පාලන සමයේ උප ජනාධිපතිවරයා ද විය. ඇයට එරෙහිව සිදුවූ දෝෂාභියෝගය දක්ෂිණාංශික කුමන්ත්‍රණයක් බව ඇය මුල පටන්ම කියා තිබේ. මේ අතර ඩිල්මාගේ කම්කරු පක්ෂයෙන් බිහිවූ තවත් ප්‍රබල දේශපාලකයෙක් වූ හිටපු ජනපති ලුයිස් ඉනාෂියෝ ලූලා ඩි සිල්වා, දූෂණ චෝදනාවලට වරදකරු වීම නිසා පසුගිය සතියේ ඔහුට වසර නවයහමාරක සිර දඬුවමක් නියම විය. නමුත් භෞතිකව ඔහු ට සිර දඬුවම් නියම නොකරන බවට ද මතයක් තිබේ.
මේ සියලුම කාරණා හේතුවෙන් මේ වන විට බ්‍රසීල දේශපාලනය තුළ හටගෙන තිබෙන්නේ අතිශය අවුල් සහගත තත්වයකි. යුවතියකගේ ජීවිතයේ ලස්සනම දිනය, බිත්තර සාරුවලින් බොඳ කරන්නට තරම් ඒ අවුල බලවත් ව තිබීම මගින් හෙළි කර සිටින්නේ බ්‍රසීල දේශපාලනයේ පිරිහීම පමණක් නොව, මිනිස්කම්වල පිරිහීම ද වේ.
මෙම රූපරාමු නැරඹීමෙන් පසු 'ඕකිට හොඳ වැඩේ’ යැයි ඔබට සිතුණා නම්, සමාවන්න, ඔබ නරුමයෙකි !
- ක්‍රිෂාන්ති රාජපක්ෂ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=EOn49mpeqKg[/youtube]
COMMENTS