43 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව අවසන් වනවිට ලකුණු 229 ක ඉලක්කයක් හඹායමින් සිටි ඉන්දියානු කාන්තාවෝ කඩුලු 6 ක් අතැතිව ජයග්‍රහණය ලකුණු 38...
43 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව අවසන් වනවිට ලකුණු 229 ක ඉලක්කයක් හඹායමින් සිටි ඉන්දියානු කාන්තාවෝ කඩුලු 6 ක් අතැතිව ජයග්‍රහණය ලකුණු 38 ක් මෙපිටින් සිටි අතර ඒ වනවිට ඉන්දීය ක්‍රීඩිකාවන් මෙන්ම ඉන්දීය ප්‍රේක්ෂකයන්ද සිටියේ ඉතිහාසයේ පළමු වතාවට කාන්තා එක්දින ලෝක කුසලානයේ උණුසුම හදවතින් විඳිමිනි.
ආරම්භක පිතිකාරිනී පූනම් රවුට් 43 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුව වනවිට ලකුණු 86 ක් ලබාගෙන සිටියේ කිසිදු අපහසුවකින් තොරව ඉලක්කය කරා සිය කණ්ඩායම කැඳවාගෙන යමිනි. පස්වැනි පන්දුව යැවූ ආන්යා ශ්‍රබ්සෝල් ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගේ නළලත රැළි ගන්වමින් පූනම් කඩුල්ල මුවාකිරීමේ වදරට හසුකර ගැනීමට සමත් වූ අතර ඉන් පසු ලෝක කුසලානය එංගලන්තය දෙසට දෝලනය විය. ඉතිරි කඩුලු හය ද ලකුණු 28 ක් තුළ දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නියන් සමත් වූ අතර පන්දුවාර 48.4 කදී ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 219 ක් පමණි.
ඒ අනුව එංගලන්ත කණ්ඩායමට අවසාන මහා තරගයෙන් ලකුණු 9 ක සියුම් ජයග්‍රහණයක් හිමිවිය.
ඉන්දීය කණ්ඩායමේ බලාපොරොත්තු සුන්කළ ක්‍රීඩිකාව වූ ආන්යා ශ්‍රබ්සෝල් පන්දුවාර 9.4 ක් යවමින් ලකුණු 46 කට කඩුලු 6 ක් දවාගත්තේ සිය ජාත්‍යන්තර දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කරමිනි.
තරගයේ මුලින් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 228 ක් ලබාගත් අතර නටාලි ශීවර් ලකුණු 51 ක් වාර්තා කළාය. මීට අමතරව සාරා ටේලර් (45) සහ කැතරින් බ්‍රන්ට් (34) පිත්තෙන් දස්කම් දැක්වූහ. ඉන්දියාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ජූලන් ගෝස්වාමි සිය පන්දුවාර 10 අවසන් කළේ නිළකුණු පන්දුවාර 3 ක් ද සමගින් ලකුණු 23 කට කඩුලු 3 ක් බිඳ හෙළමිනි.
ඉන්දීය පිළ වෙනුවෙන් හර්මන්ප්‍රීට් කෝර් ලකුණු 51 ක් ලබා ගත්තාය.
කඩුලු 6 ක් දවාගත් ආන්යා ශ්‍රබ්සෝල් තරගයේ වටිනාම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් අතර තරගාවලිය පුරා සාර්ථක වූ එංගලන්ත ආරම්භක පිතිකාරිනී ටමී බෞමන්ට් තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගැනීමට සමත් වූවාය.
දොළොස්වැනි කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය 2021 වසරේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිතය.
COMMENTS