“ප්‍රේමය සියල්ල උසුලයි. ප්‍රේමයෙහි විශ්වාසයට ඉමක් නැත. බලාපොරොත්තුවට නිමක් නැත. ඉවසීමට අගක් නැත. ප්‍රේමය සදාතනිකය. “ (කොරෙන්ති 13:7...
“ප්‍රේමය සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි
විශ්වාසයට ඉමක් නැත.
බලාපොරොත්තුවට නිමක් නැත.
ඉවසීමට අගක් නැත.
ප්‍රේමය සදාතනිකය. “
(කොරෙන්ති 13:7 - 8)
උක්ත උපුටනය හා ගබ්‍රියෙලා මිස්ත්‍රාල් යන ලතින් ඇමෙරිකානු කිවිඳියගේ මෙම උපුටනය එකිනෙක සමෝධානයෙන් යුක්තව තරංගනී ගේ කෘතිය මනා ලෙස කියවා ගත හැක.
“ප්‍රේමය අසිරිමත් ය. එය මිහිමත වට දෙවියන්ගේ සෙවණැල්ල ය.“
බදියු පවසන අන්දමට ලැකාන් සඳහන් කරනුයේ ලිංගිකත්වයේ අඩුව ඌන පූරණය කිරීම සඳහා ප්‍රේමය උපයෝගී වන බවයි. තරංගනී ගේ කෘතිය තුළ ආදරය නිසියාකාරයෙන් ස්ථානගත වී ඇති අතර එහි ශෘංගාරාත්මක කව් සඳහන් නොවීමෙන් කෘතිය එක්තරා නිශේධනාත්මක ලක්ෂ්‍යය කට තල්ලු වී ඇත. එය හිතා මතා කරනු ලැබූවක් ද නැතිනම් පොතේ තේමාව ආරක්ෂා කරගත යුතු බැවින් නොකරන ලද්දක් ද යන්න මා හට සැක සහිතය. බොහෝ විට මගේ නිගමනයේ විරුද්ධාභාෂය, එනම් සහමුලින්ම ප්‍රේමය නම් වූ පාරිශුද්ධ ප්‍රපංචයට ලිංගිකත්වය අනවැසි බවට තරංගනී තුළ මුල් බැස ගත් මතයක් ඇති බවට කෘතිය සාදෘශ්‍යය ක් විය හැක. බයිබලයේ ප්‍රේම ගී හෙවත් සලොමොන්ගේ ගී යන කෘතිය රචනා වී තිබෙන්නේ මනාලියෙකු හා මනාලයෙකු අතර ඇති ප්‍රේමය විකසිත වී ඇති ආකාරය සම්බන්ධයෙනි. “ප්‍රේමයේ ප්‍රකාශනයක් වශයෙන් මේ පොත ජුදෙව් පාස්කු මංගලෝත්සව වලදී ප්‍රසිද්ධියේ කියවන ලදී“. තරංගනීගේ කෘතිය ප්‍රේම ගී වත්මන් පසුබිමක පිහිටුවා රචනා කර ඇති බව මගේ හැඟීමයි. එහිදී ඈ විරහවේ සහ හුදෙකලා භාවයේ උත්කෘෂ්ඨත්වය මැනවින් විඳහා පෙන්වයි. දැන් අපි ඇගේ කවිය ක ට පොළා පනිමු. මෙය සඳහන් වන්නේ කෘතියේ අවසාන පිටුවේය.
හදවත ම සුවිසල් අහසකි.
සියතින්ම සිඳ ගත්
පියපත් ය
පිය හඹන්නට
නිදහසේ
අහසක් නොවන සඳ
පියපත් කුමකට ද....
තනිකඩව වෙසෙන යුවතියක් ස්ව කැමැත්තෙන්ම තම විළිබිය නැති කර නොගනිමින් හුදෙකලාව දිවි ගෙවයි. අහස යනුවෙන් මෙහි සඳහන් වන්නේ ප්‍රේමයයි. ප්‍රේමයක් නොමැති තැන ලිංගිකත්වය කුමකටද? යන උත්ප්‍රාසය මේ පැදි තුළින් විශද වන බව මගේ හැඟීමයි.
හුදෙකලාවම
ඇවිද යමි හෙමිහිට
හිස ගිනි ඇවිළි
දන නගන මැසිවිලි
රැව් නැගෙන මාවතක...
මිනිසුන්ගේ නොයෙකුත් කයි කතන්දර මධ්‍යය යේ ඈ තම ගමන නිහඬවම ගමන් කරන්නී. කිසිඳු අනවසර සබැඳියාවකට ඇයගේ ජීවිතය තුළ ඉඩක් නොමැත. දනන් නඟන මැසිවිලි ඈ මායිම් නොකරන්නේ එබැවිනි.
නුරා ගිනිදැල් සඟවන
ප්‍රේමයේ උණුහුම ම
ඉඟි කරන
මී මැසි බඹර සමනල
විහඟ බලමුළු
පියපත් සිදුණු කිරිල්ලකැයි
මහත් කම්පාවෙන්
අත්තටු පළන්දන්නට
පෙළ ගැසෙන.....
ණයට ගත් පියාපත් කුමකටද මට
ඈ වෙනුවෙන් ව්‍යාජ අනුකම්පාවක් පාන පිරිමින් අතරින් බේරී ඈ අසන්නේ කුමකටද තමන්ට ණයට ගත් පියාපත් යනුවෙනි. මෙයින් පැහැදිළි වන්නේ ඈ ස්ත්‍රියකට මුහුණ දීමට සිදු වන සියලු දේවල් වලට මුහුණ දී තනිකඩව වෙසෙන බව විහඟ බල මුළු, එනම් පිරිමින් අනුමාන කරමින් කෙටි කාලීන සබැදියාවකට ඇයට ආරාධනා කරන බවයි. නමුත් ඈ එය ප්‍රතික්ෂේප කරන්නී.
හදවතම සුවිසල් අහසකි...
තනිකම ද මුනිවර සැනසුමකි..
ඇගේ මුළු හද ගැබම ආදරයෙන් පිරී තිබේ. එමෙන්ම තමන් හට නොගැළපෙන මිනිසෙකු සමඟ ජීවත් වීමට වඩා තමන්ට ගැළපෙන කෙනෙකු ලැබෙන තෙක් ඈ මුනිවරියක මෙන් තනිව එකලාව වාසය කරයි. බුදුන් වහන්සේ පවා දේශනා කළේ ඇසුරට ගැළපෙන මිනිසුන් නොමැති නම් හුදෙකලාව වාසය කරන ලෙසයි. එය නම් වන්නේ උත්තරීතර හුදෙකලාව යන නමිනි. තරංගනී ගේ ඉදිරි කෘතිය මිටත් වඩා කාව්‍ය අනූභූතින්ගෙන් පෝෂණය වූ කෘතියක් වනු දැකීම අපේ අභිලාෂය යි.
බාසුරු ජයවර්ධන
COMMENTS