ශිරන්ති රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ ඇයගේ 'සිරිලිය සවිය' ව්‍යාපෘතිය සඳහා රතුකුරුස සංවිධානය විසි...
ශිරන්ති රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ ඇයගේ 'සිරිලිය සවිය' ව්‍යාපෘතිය සඳහා රතුකුරුස සංවිධානය විසින් ලබා දී තිබුණු ඩිෆෙන්ඩර් ජීප් රථයක් යෝශිත රාජපක්ෂගේ භාවිතයට ලබා දීම පිළිබඳව ප්‍රශ්න කිරීමටය. අද උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබිණි.
ඝාතනය දා මහ රෑ දුරකථන ඇමතුම් 46ක්
ශිරන්ති රාජපක්ෂ, වසීම් තාජුඩීන් ඝාතනය හා සම්බන්ධ වන්නේ මෙම ඩිෆෙන්ඩර් රථය හරහා පමණක් ම නොවේ. තාජුඩීන් ඝාතනය කෙරුණු දා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සිට ශිරන්ති රාජපක්ෂගේ පෞද්ගලික දුරකථනයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර ( නාමල් රාජපක්ෂගේ සුරතල් ඇමතුමට අනුව පුෂ්පෙ අයියා ), නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ඩේමියන්, මහින්ද රාජපක්ෂගේ සහ ශිරන්ති රාජපක්ෂගේ රියදුරෙකු ලෙස සේවය කළ කැප්ටන් තිස්ස යන අයට ගෙන ඇති ඇමතුම් සංඛ්‍යාව 46කි. වසීම් තාජුඩීන්ගේ පිළිස්සුණු මළසිරුර හමුවූයේ ද නාරාහේන්පිට ප්‍රදේශයෙනි. එදින මධ්‍යම රාතියේ ශිරන්ති ඇමතුම් 46ක් ගැනීමට තරම් ඉහත කී පුද්ගලයින් සමඟ කාර්යබහුලව කළේ කුමක්ද යන්න ද ප්‍රශ්නයකි.
අනුර සේනානායක කියූ 'සැබෑ මිනීමරුවන්' කෝ ?
එසේම මෙහි තවත් කොටසක් තිබේ. ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකව වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ සඳහා ඇප ලබා නොදී රඳවා ගෙන සිටියදී ඔහු විනිසුරුවරයා ඉදිරියේ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ "මම මේකට සම්බන්ධ නැහැ. මේ මිනීමැරුමේ සැබෑ මිනීමරුවන් තවමත් නිදැල්ලේ" යනුවෙනි. මෙයින් ගම්‍ය වන කරුණු දෙකක් තිබේ.
1. අනුර සේනානායකලාගේ ම පොලීසිය මෙම මිනීමැරුම සිදු වූ 2012 මැයි මාසයේ පටන් ප්‍රකාශ කළේ මෙය හදිසි අනතුරක් බවය. ඒ අනුව මෙම ප්‍රකාශයෙන් මෙය මිනීමැරුමක් බව අනුර සේනානායක පිළිගෙන තිබේ. අනුර සේනානායකට චෝදනා එල්ල වූයේ ද තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙනි.
2. මෙම ප්‍රකාශයෙන් ඔහු 'සැබෑ මිනීමරුවන් නිදැල්ලේ' බවත් පිළිගනී. ගැටළුව පවතින්නේ සැබෑ මිනීමරුවන් කොටුකර ගැනිමෙහි ය.
අනුර සේනානායක යනු ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරයෙකි. එනම් පොලිස්පති තනතුරට එක් පියවරක් පමණක් පහතින් පිහිටි ඉහළ ම තනතුරක් දැරූවෙකි. එසේම රාජපක්ෂ පාලන සමයේ ඉහළින් ම වැජඹුණ නිලධාරියෙකි. අධිකරණයට ගොස් නීතීඥවරුන්ට පැය ගණන් දේශන දුන් 'පොරකි'. මෙම ප්‍රකාශය ඉතා ම බැරෑරුම් වන්නේ එහෙයිනි.
70%ක් පමණ වැඩ අවසන්
මෙම නඩුව ඉතාම අසීරු එකකි. 'ඇස දුටු සාක්ෂි' කිසිවක් ම නොමැතිව තනිකර ම 'පරිවේෂණීය සාක්ෂි' මත මෙම නඩුව ගොඩ නැඟීමට සිදුව තිබේ. අපරාධ නීතියේ දී සාධාරණ සැකයෙන් ඔබ්බට සියළුම චෝදනා ඔප්පු කළ යුතුය. යම් සාධාරණ සැකයක් විත්තියේ නීතීඥවරුන් විසින් ගෙනහැර පෑවහොත් සැකයේ වාසිය අත්වන්නේ විත්ති පාර්ශ්වයට ය. පරිවේෂණීය සාක්ෂි යනු දම්වැලක් මෙන් බැඳී පවතින්නකි. එක් සාක්ෂියක් එක් පුරුකක් වැනිය. එක් පුරුකක් බිඳහෙළූ සැණින් දම්වැලක් බිඳවැටෙන්නක් මෙන් එක් පරිවේෂණීය සාක්ෂියක් බිඳහෙළීමෙන් මුළු නඩුවම බිඳවැටිය හැක. එසේ සැබෑ අපරාධකරුවන් නිදහස් වූ අවස්ථාද එමට තිබේ. එහෙයින් මෙවන් නඩු ගොඩනැංවීමේදී සුළු සැකයක් පවා විද්‍යාත්මකව සලකා බලමින් ඉතා සූක්ෂමව කටයුතු කළ යුතුව ඇත. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන්නේ වසීම් තාජුඩීන් ඝාතන නඩුවෙහි කටයුතු දැනට 70%ක් පමණ අවසන්ව ඇති බවය.
"අබ කෑ මිනිහාගේ නහය දනවා" කියා කතාවක් ජනවහරේ තිබේ. ශිරන්ති රාජපක්ෂ අද CIDයට නොපැමිණියේ ද ඒ අනුව විය හැක. හෙට (28) යෝෂිත රාජපක්ෂ CIDයට කැඳවා ඇත. ඩේසි ආච්චිගේ මැණික් මල්ලට පින් සිදුවන්නට බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) නම් යෝෂිත රාජපක්ෂට දැන් ගෙදර මෙන් හුරුපුරුදුය. එහෙත් ශිරන්ති සහ යෝෂිත දෙදෙනාම හතර වෙනි තට්ටුව ලෙසින් ප්‍රසිද්ධ රහස් පොලිස් මූලස්ථානයට මේ කැඳවෙන්නේ පළමු වතාවට ය.
COMMENTS