පසුගිය සති කිහිපය පුරා බොදු බල සේනා සංවිධානය මෙන්ම ඉස්ලාම් ආගමික අන්තවාදීන් ද කරන ප්‍රකාශවලට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව කටයුතු නොකිරීම මේ...
පසුගිය සති කිහිපය පුරා බොදු බල සේනා සංවිධානය මෙන්ම ඉස්ලාම් ආගමික අන්තවාදීන් ද කරන ප්‍රකාශවලට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව කටයුතු නොකිරීම මේ තත්ත්වය වඩාත් අනතුරුදායක බවට පත්කිරීමට හේතු වී ඇතැයි ද ඔවුහු අවධාරණය කරති. විශේෂයෙන් ම මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතු බුද්ධි අංශ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ද බරපතළ කාරණයක් වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් පවසන්නේ වඩාත් සංවිධානගත හා ප්‍රබල බුද්ධි අංශයක් ලංකාවේ තිබුණ ද විවිධ හේතු මත ඔවුන් මේ වන විට අක්‍රිය තත්ත්වයට පත්වෙමින් සිටින බවයි. යුද හමුදා බුද්ධි අංශයේ නිල වශයෙන් 7,000 ක් සහ නොනිල වශයෙන් 14,000 ක් සිටින අතර, රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරීහු 4,000 ක් පමණ සිටිති. ඔවුන් මේ සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කර ඇතත්, අවශ්‍ය ප්‍රමාණයට ඊට අදාළ තොරතුරු ලැබීමේ ප්‍රමාදයක් පවතින බව ද ආරක්ෂක ක්ෂේත්‍රයේ අදාළ ප්‍රධානීහු සඳහන් කරති.
විශේෂයෙන් ම මේ තත්ත්වය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවල දී නම් ආරක්ෂක මණ්ඩලයේ දී මූලික අවධානය යොමු කළ බවත්, පසුගිය සති කිහිපයේ දී එය සිදු නොවූ බවත් පවසන ඔවුහු, වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම අගය කළ යුත්තක් බවයි. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය නම් ආයතනය මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන බවත්, ආණ්ඩුවට ඊට සූදානම් වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් උපදෙස් දෙන බවත් පැවසුව ද මෙවැනි බරපතළ කෝලාහලයක් සම්බන්ධයෙන් ඔවුන් කිසිදු අවධානයක් යොමු නොකිරීම බරපතළ ගැටලුවක් බවත් මුලින් සඳහන් කළ දේශපාලන සහ සමාජ විශ්ලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති. එම ආයතනය තුළ පසුගිය ආණ්ඩුවට හිතවත් පිරිස් ඔවුන්ට අවශ්‍ය අන්දමින් කටයුතු කරමින් සිටින බවට සත්හඬ මඟින් පළ කළ ප්‍රවෘත්තිය ද ඒ මඟින් තවදුරටත් තහවුරු වේ. පසුගිය ආණ්ඩුව නියෝජනය කරන මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට අවශ්‍ය වී ඇත්තේ මෙවැනි ජාතිවාදී කෝලාහලයක් හරහා රට අස්ථාවර කර බලය ලබා ගැනීම බව මීට පෙර බුද්ධි අංශ අනාවරණය කර තිබිණි. එහෙත් ඉන්පසු ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමට බුද්ධි අංශ ප්‍රමාණවත් අවධානයක් යොමු කර තිබුණේ නැත. බුද්ධි අංශ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ම පවසා තිබුණේ පසුගිය ආණ්ඩුව කාලයේ සිදු වූ පැහැරගැනීම් සහ ඝාතන සම්බන්ධයෙන් චෝදනා කරමින් බුද්ධි අංශ සාමාජිකයෝ අත්අඩංගුවට ගැනීම නිසා ඔවුන් කලකිරී සිටින බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ ආරක්ෂක අංශ ප්‍රධානීන් සඳහන් කරන්නේ එවැනි හේතු මත අපරාධ සඟවන්නට ඉඩ දිය නොහැකි බවත්, බුද්ධි අංශ අවශ්‍ය කාර්යයන් සඳහා මෙහෙයවීම පිළිබඳව ආණ්ඩුව පුළුල් ව අවධානය යොමු කළ යුතු බවත් ය.
පරාක්‍රම දිසානායක - සත්හඬ
COMMENTS