කතානායකවරයාට ඔහුව පාර්ලිමේන්තුවෙන් ඉවත යැවීමට සිදුවී ඇත්තේ 9 වතාවක් දිගින් දිගට ම අවවාද කිරීමෙන් අනතුරුව එය ද නොතකා අවිනීත අයුරින් හැසිරී...
කතානායකවරයාට ඔහුව පාර්ලිමේන්තුවෙන් ඉවත යැවීමට සිදුවී ඇත්තේ 9 වතාවක් දිගින් දිගට ම අවවාද කිරීමෙන් අනතුරුව එය ද නොතකා අවිනීත අයුරින් හැසිරීම නිසාය. එසේම මන්ත්‍රීවරයා සභා ගර්භයෙන් ඉවත් කිරීම සඳහා ඡන්ද විමසීමක්ද සිදු කෙරුණු අතර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මැදමුලන අන්තවාදය වැපිරීමට උත්සාහ දැරීම හේතුවෙන් අවසානයේ සභා ගර්භයෙන් ඉවත ඇද දැමීමට සිදු වී තිබිණි.
රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගතව සිටින විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුව තුළ වෙනම පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස සැලකිය නොහැකි බවට අද (8) දින කතානායක කරූ ජයසූරිය මහතා විසින් තීන්දුව ප්‍රකාශ කරන ලදී. විමල් වීරවංශ ඇතුළු ඔහුගේ පක්ෂ නියෝජිතයින් මැතිවරණයට තරග කර තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේය. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන අනාථයින් නියෝජනය කරනා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම තීන්දුවත් සමඟ කුපිත වී කලහකාරී ලෙස හැසිරෙන්නට විය. පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදීව තම ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට 'බජාර් එකේ චණ්ඩින්' මෙන් දඟළමින් ඔවුන් උත්සාහ කළේ බලහත්කාරයෙන් තම අසාධාරණ ඉල්ලීම දිනා ගන්නටය.
කතානායකවරයාගේ තීන්දුවත් සමඟම දැඩි ලෙස කලහකාරී අන්දමින් හැසිරුණු දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කතානායකවරයා දෙසට ඇඟිල්ල දිගු කරමින් ඉතා අශෝභන ආකාරයෙන් බැණ වැදී තිබේ. එහිදී කතානායකවරයා ඔහුට අවවාද කොට ඇත්තේ ජ්‍යේෂ්ට මන්ත්‍රීවරයකු ලෙස සභාවට ගැලපෙන ආකාරයෙන් හැසිරෙන මෙන්ය. ඉන් පසුව විනාඩි 10කට පාර්ලිමේන්තුව කල්තබා ඇත. දෙවන වර සභාව කැඳවූ අවස්ථාවේදී ද පෙර මෙන් ම අවිනීත ලෙස කලහකාරී අන්දමින් හැසිරුණු දිනේශ්ට සභා ගර්භයෙන් පිටව යන ලෙස කතානායකවරයා ප්‍රකාශ කර තිබේ. එයද නොතකා හරිමින් දිනේශ් ඩෙඟා නටන විට කතානායකවරයා පවසා තිබුණේ "ඔබතුමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා" යනුවෙනි.
මෙසේ දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට කතානායකවරයා විසින් 9 වතාවක් අවවාද කර තිබේ. එහෙත් තමන් සිටින තැනත් අමතක කරගෙන සිටි දිනේශ් දිගින් දිගටම කෑකෝ ගසමින් සභාවට ම බාධාවන සේ හැසිරීම නැවැත්වූයේ නැත. කතානායකවරයා විසින් තෙවන වරටත් සභා ගර්භයෙන් ඉවත් වන මෙන් කෙරුණු අවවාදය ද උද්දච්ඡ දිනේශ් ගුණවර්ධන විසින් නොතකා හැරීම නිසා සභාගර්භය තුළට වේත්‍රධාරීන් සමඟ පොලිසිය ද කැඳවීමට සිදු විය.
ඊට ද අවනත නොවූ දිනේශ් සභා ගර්භයෙන් පිටව යා යුතු බවට සහ සතියක කාලයක් ඔහුට පාර්ලිමේන්තු කටයුතු තහනම් කළ යුතු බවට යෝජනාවක් සභානායකවරයා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී. එසේ චණ්ඩි දිනේශ් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්කිරීම සඳහා ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්ද 85ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 22ක් පමණි.
පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව - 85
විරුද්ධව ලැබුනු ඡන්ද සංඛ්‍යාව - 22
නොපැමිණි සංඛ්‍යාව - 114
ඡන්දය දීමෙන් වැලකී සිටි සංඛ්‍යාව - 03
මෙසේ බහුතරයගේ තීරණය අනුව දිනේශ් ගුණවර්ධනව සභාවෙන් ඉවත් කිරීම සිදුවිය. එම යෝජනාවට එරෙහි වූයේ නන්නත්තාර ඒකාබද්ධ විපක්ෂ කල්ලිය පමණි.
දිනේශ් මෙසේ එක වරම පිස්සුවෙන් වගේ යකා නටන්නට පටන් ගැනීමට ද හේතු තිබේ. දිනේශ් අද පාර්ලිමේන්තුවේ 'සිංහ පාට්' දැම්මාට පසුගිය දා හතරවෙනි තට්ටුවේ දී හෙවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී දැම්මේ කලන්තේය. ඒ, ඔහු නාගරික සංවර්ධන ඇමතිධුරය දරණ කාලයේ මහල් නිවාස ව්‍යාපෘතියක් සඳහා ශිවකුමාර් නමැත්තෙකුගෙන් කොමිස් ලෙස ලබාගත් රුපියල් මිලියන 20ක මුදලක් කාන්තාවකගේ බැංකු ගිණුමකින් පිටට පැනීම නිසාය. අප වෙත ලැබී ඇති තොරතුරු අනුව දිනේශ් ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍යවරයා ලෙස 2014 වසරේ දී පමණක් වංචා කර ඇති මුදල් ප්‍රමාණය බිලියන ගණනකි. ඒ ව්‍යාපෘති 12ක් හරහාය. දිනේශ් මෙසේ පාර්ලිමේන්තුවේ දහ අට පාලිය නටන්නට පටන්ගෙන ඇත්තේ අවධානය දිනා ගන්නටය. එවිට, තමන්ගේ හොරකම් පිළිබඳව නීතිය ක්‍රියාත්මක වන විට "මෙන්න පළිගන්නවෝ" කියා නහයෙන් ඇඬිය හැකි නිසාය.
'හොරු වෙනුවෙන් හොරු' හෙවත් ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය උසුළමින් මොන මොන අඩව් කස්තිරම් ඇල්ලුව ද මහජන මුදල් ගසා කෑම් හැමදා යට ගසන්නට බැරිය. පාර්ලිමේන්තුවේ දී 'බොරළුගොඩ සිංහ නාද' දමා සී. අයි. ඩී. යේදී 'බලු කෙඳිරියට' වැටෙන දිනේශ්ට අප අභියෝග කරන්නේ අප කියනා කිසිවක් හෝ අසත්‍ය නම් අධිකරණය හමුවට යන ලෙසය. ගිරිය පුප්පාන කොතෙක් කෑ ගැසුව ද හොරකම් එයින් වසා ගන්නට හැකි වන්නේ නැත. දිනේශ්ලාගේ රට, ජාතිය, ආගම ගැන කැක්කුම ඇවිළෙන්නේ හොරකම් එළිවෙනා ප්‍රමාණයට අනුලෝමව සමානුපාතීවය.
COMMENTS