මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසිදු විමර්ශනයක් කර නොමැති බව එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්න...
මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසිදු විමර්ශනයක් කර නොමැති බව එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. රු. ලක්ෂ 2 ක් ගෙවීමෙන් අනතුරුව සංචාරක වීසා මත කාන්තාවන් මැද පෙරදිගට ගෙනගොස් එහිදී ගැණුම්කරුවන්ට ලක්ෂ 6 සිට ඉහළ මිල ගණන්වලට එම කාන්තාවන් අලෙවිකරන බව හදුන්නෙත්ති මහතා කියා සිටියි. වසර දෙකකට මුදල් ගෙවා ලබා ගන්නා එම කාන්තාවන් එම කාලයෙන් පසු තානාපති කාර්යාල වෙත ගෙනැවිත් දමන බවත් ඔවුන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කිසිදු වගකීමක් නොදරන බවත් හෙතෙම අනාවරණ කරයි.
කෙසේ වෙතත් ඉදිරියේදී කාන්තාවන් මැද පෙරදිග වහල් සේවයට යැවීම නතර කිරීමට පියවර ගත යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
"වෘත්තීයමය රැකියාවලට යැව්වට කමක් නැහැ. නමුත් වහල් සේවයට යවන්න එපා. එය රටටත් කරන අගෞරවයක්. අඩුම තරමේ මේ මිනිස්සුන්න්ට කිසිම සහනයක්වත් නැහැ. මැද පෙරදිග වහල් සේවය නිසා අපේ කාන්තාවන් ලිංගික අතවරවලට ලක් වෙනවා. මිනිස් ජාවාරම්වල ගොදුරු බවට පත් වෙනවා. අඩුම තරමේ අයවැයෙන් යෝජනා වුණ විශ්‍රාම වැටුප් ක්‍රමවේදයවත් හැදෙන්නේ නැහැ. ආණ්ඩුව මීට පෙර කිව්වා කුවේට් වන්දි අරමුදලේ ඉතිරි වී තිබෙන රු. බිලියන 4 ක මුදල විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් යොදවනවා කියලා. නමුත් මේ වනතෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැහැ.
තවත් කාරණයක් තමයි ඔවුන් එවන විදේශ විනිමයට සාපේක්ෂව තීරු බදු සහනයක් දෙන්න කියන එක.ඇමතිවරුන්ට 100% ක තීරු බදු සහනයක් දී ඇති තත්ත්වයක විදෙස් ශ්‍රමිකයෙකුට එම සහනය දීම වැදගත්. ඒ වගේම තමයි විදෙස් ගතවෙලා පැමිණෙන පුද්ගලයන්ගේ දරුවන් පාසලකට ඇතුළත් කර ගන්න තියෙන අපහසුව. මේවට කිසිම වැඩපිළිවෙලක් නැහැ."
එමෙන්ම 2015 වසරේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විගණන වාර්තාව පිළිබඳවද මන්ත්‍රීවරයා කරුණු අනාවරණ කරයි. එම විගණන වාර්තාවට අනුව මුදල් අක්‍රමිකතා රැසක් වාර්තාවන බව හදුන්නෙත්ති මහතා පවසයි. රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන්ගෙන් අය කර ගන්නා මුදල් මගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් තර වන අතර ඊට භාණ්ඩාගාරයේ සහයක් නොලැබෙන බව සඳහන්. කෙසේ නමුත් එවකට විෂය භාර ඇමති ලෙස කටයුතු කළ ඩිලාන් පෙරේරා මහතා රු. මිලියන 159කට අධික මුදලක් සිය දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගෙන ඇතැයි විගණන වාර්තාව අනාවරණ කරන බව හදුන්නෙත්ති මහතා සඳහන් කරයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS