2012 නොවැම්බර් 09 වනදා සහ 10 වනදා උදෑසන කාලය අතරතුර පොලිස් විශේෂකාර්ය බලකාය සහ හමුදාව යොදවා ඝාතනය කරවූ රැඳවියන් ගණන 27කි. බන්ධනාගාරයේ වාර...
2012 නොවැම්බර් 09 වනදා සහ 10 වනදා උදෑසන කාලය අතරතුර පොලිස් විශේෂකාර්ය බලකාය සහ හමුදාව යොදවා ඝාතනය කරවූ රැඳවියන් ගණන 27කි. බන්ධනාගාරයේ වාර්තාවන් පවා විනාශ වී තිබුණු හෙයින් ඝාතනය කෙරුණු මෙම 27 දෙනාට අමතරව තවත් රැඳවියන් බන්ධනාගාරයෙන් පිටතට ගෙන ගියාද යන්න පවා සැක සහිත වී තිබේ.
වැලිකඩ බන්ධනාගාරය තුළට කඩාවැදී ගැටුමක් ඇතිකරගෙන, එම ගැටුමට මුවා වෙමින් තෝරාබේරා ගත් රැඳවියන් පිරිසක් වෙන්කරගෙන තාප්ප අසල සිටුවා වෙඩි තබා ඝාතනය කළ ආකාරය පිළිබඳව බොහෝ සාක්ෂි ඇති නමුත් 'හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන් ම පේන අහනවා වැනි' වූ රාජපක්ෂ යුගයේ විමර්ශන වාර්තාවන්ට සිදුවූ දෙයක් කිසිවෙකුත් දන්නේ ද නැත. වත්මන් රජය විසින්ද 2015 ජනවාරි මාසයේ ම 'වැලිකඩ ඝාතනය' පිළිබඳ සොයාබැලීම සඳහා කමිටුවක් පත්කළ අතර 2015 ජුනි 9 වන දින එම කමිටුවේ අවසන් වාර්තාවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතාට භාරදුන් නමුත් ඉන් එහා යන ක්‍රියාමාර්ගයන් ගැනෙන බවක් පෙනෙන්නට නැත.
හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලෙකම් ගෝටාභය රාජපක්ෂ මෙම අපරාධයට සෘජුවම වගකිවයුතු නමුත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වත්මන් 'යහපාලන' රජයද ඉදිරිපත් නොවන බව මේ වන විට පැහැදිලිව ම පෙනෙන්නට තිබේ. යහපාලනයද එහි නමට ම විකෘතියක් වන පරිද්දෙන් 'වැලිකඩ ඝාතනය' පෙන්න පෙන්නා රාජපක්ෂ කඳවුර සමඟ දේශපාලන දෙනු-ගනු වලට යනු විනා යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ නැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගට ම වැලිකඩ ඝාතන සම්බන්ධ මරණ පරීක්ෂණ වාර්තාව පිළිබඳව විමසීම් කළද එය එළිනොදැක්වෙන්නේ මෙවන් වටපිටාවක් තුළය. අපට ඇති ගැටළුව වන්නේ මෙම වැලිකඩ ඝාතන සම්බන්ධ මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත්වීම වළක්වන්නේ කවුරුන් විසින්ද යන්න ය. ගෝටාභය රාජපක්ෂ, අනුර සේනානායක ඇතුළු අපරාධකරුවන් බේරා හැරීමට මැදිහත් වී සිටින්නේ කවුරුන්ද යන්න ය.
වින්දිතයන්ට යුක්තිය ඉටුවන තුරු අප නිරන්තර විමසිල්ලෙන්.................
COMMENTS