ඉතා කෙටි කාලයක් තුළදී නව රජය යටතේ ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති වේගවත් සංවර්ධනය පිළිබඳව තමා ඉතා සතුටට පත්වන බව යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකාව සඳහා ...
ඉතා කෙටි කාලයක් තුළදී නව රජය යටතේ ශ‍්‍රී ලංකාව ලබාගෙන ඇති වේගවත් සංවර්ධනය පිළිබඳව තමා ඉතා සතුටට පත්වන බව යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකාව සඳහා වූ නව තානාපති Tung-Lai margue මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (14) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදීමෙන් අනතුරුවයි.
රට තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා ගෙන ඇති උත්සාහයන්ට යුරෝපා සංගමයේ පූර්ණ සහය පිරිනමන බව ද නව තානාපතිවරයා ජනාධිපතිතුමා හමුවේ ප‍්‍රකාශ කර තිබේ.
සංහිඳියාව, ආර්ථික, සමාජයීය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව කෙටි කලකදී ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව යුරෝපා සංගමයේ රටවල් විමතියෙන් පසුවන බව ඒ මහතා එහිදී පවසා ඇත.
එසේම අදාළ ක්ෂේත්‍රවල වර්ධනයට තවදුරටත් සම්පූර්ණය සහය ලබාදෙන බව එහිදී ඒ මහතා පවසා ඇති අතර මත්ස්‍ය තහනම ඉවත්කිරීම හා ජී.එස්.පී සහනය ලබාදීමට මැදිහත්වීම ගැන එහිදී ජනාධිපතිවරයා ද සිය ප්‍රසාදය පළ කර තිබේ.
යුරෝපා සංගමයේ සාමාජික රටවල් සමග ශ‍්‍රී ලංකාවේ ඇති සමීප සබඳතා සිහිපත් කළ ජනාධිපතිතුමා, යුරෝපා සංගමය සමග වෙළෙඳ සහ ආයෝජන ඇතුළු සියලු අංශයන්හි පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නව තානාපතිවරයා කටයුතු කරනු ඇතැයි තමා විශ්වාසය කරන බව ප්‍රකාශ කොට ඇත.
මෙයට වසර දෙකකට පෙර නිවාඩුවක් ගත කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙරට සුන්දරත්වය දැක තමා දැඩි ආකර්ෂණයට පත්වූ බවත් යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකාව සඳහා වූ නව තානාපතිවරයා ලෙස පත්වී ශ‍්‍රී ලංකාව සමග සබඳතා තහවුරු කර ගැනීමට හැකිවීම සතුටට කරුණක් බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
මේ අවස්ථාවට විදේශ අමාත්‍ය මංගල සමරවීර, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් එක්ව සිටියහ.
COMMENTS